මහනුවරින් දැවැන්ත ආරම්භයක්

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

2053

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු දිනය වූ අද (07) දිනය නිමා වන විට පළමුවෙන් පන්දුවට පහර දෙන මහනුවර ක්‍රීඩකයින් යාපනය කණ්ඩායමට එරෙහිව කඩුලු 2ක් දැවී ලකුණු 288ක් රැස් කරගෙන සිටියා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ අද පිටියට පිවිසි පිතිකරුවන් සිව්දෙනාම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනුණා.

  • මහනුවර කණ්ඩායම – කමිඳු මෙන්ඩිස් (නායක), කමිල් මිෂාර, කසුන් විදුර, ඕෂඳ ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා), ලහිරු උදාර, සහන් ආරච්චිගේ, අශේන් ඩැනියෙල්, පුලින තරංග, අසිත ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය.
  • යාපනය කණ්ඩායම – ධනංජය ද සිල්වා (නායක), නවෝද් පරණවිතාන, නිශාන් මධුශ්ක, සමින්ද ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, දිලුම් සුධීර, ජෙෆ්රි වැන්ඩර්සේ, ගීත් කුමාර, නිපුන් මාලිංග.

මහනුවර නායකත්වය දරන කමිඳු මෙන්ඩිස් තම පුරවරයේ ක්‍රීඩාංගණය ගැන වඩා හොඳින් දන්නා නිසාවෙන් කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව මහනුවර ඉනිම ආරම්භ කළේ කමිල් මිෂාර සහ කසුන් විදුර. මේ වමත් පිතිකරුවන් දෙදෙනා තම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 123ක සබඳතාවක් එක් කළා.

තම 10 වැනි පළමු පෙළ තරගයට ක්‍රීඩා කළ කමිල් ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් රැස් කරගෙන සිටියා. ඔහු මීට පෙර මෙම තරගාවලියේ දඹුල්ලට (74) සහ ගාල්ලට (63) එරෙහිව අර්ධ ශතක වාර්තා කරගෙන තිබුණා.

ඔහුගේ දැවී යෑමෙන් පසුව මහනුවර ඉනිමට ලකුණු 11ක් එක් වන විට කසුන් ද තම ඉනිම අවසන් කළා. මීට පෙර ගාල්ල (58) සහ යාපනය (67) කණ්ඩායම් වලට එරෙහිව අර්ධ ශතක වාර්තා කර තිබූ කසුන් අද තරගයේ දී පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් වාර්තා කරගත්තා. එය මෙම තරගාවලියේ ඔහුගේ හොඳම ඉනිමයි.

එතැන් සිට තරගය පාලනය කළේ ඕෂද ප්‍රනාන්දු සහ නායක කමිඳු. ඔවුන් දෙදෙනා මෙම තරගාවලියේ පිතිකරුවන් ලැයිස්තු ගත කිරීමේ දී පළමු ස්ථාන දෙක හිමි කරගෙන සිටීම ප්‍රතිවාදී පන්දු යවන්නන්ට එතරම් සුබදායි වූයේ නැහැ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය පළමු දිනයට නතර කරන විට ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට නොදැවුනු ලකුණු 154ක සබඳතාවක් එක් කර තිබුණා.

ඕෂද පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 91ක් රැස් කරගෙන සිටි අතර කමිඳු පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 57ක් වාර්තා කරගෙන සිටියා.

මහනුවර කණ්ඩායමේ දැවී ගිය කඩුලු දෙකේ හිමිකාරීත්වය යාපනය කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සතු වුනා. ඔහු පන්දුවාර 20ක් යවමින් ලකුණු 70කට කඩුලු 2ක් දවා ගත්තා.

ධනංජය මහනුවර ඉනිම පාලනය කිරීම සඳහා තමන්ට අමතරව තවත් පන්දු යවන්නන් හය දෙනෙකු යොදා ගත්ත ද, මේ දක්වා ඉන් ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකි වුනා.

ලකුණු පුවරුව;

මහනුවර – පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට) කඩුලු 2ක් දැවී 288 (83.1): ඕෂඳ ප්‍රනාන්දු නොදැවී 91, කසුන් විදුර 71, කමිඳු මෙන්ඩිස් නොදැවී 57, කමිල් මිෂාර 56, ධනංජය ද සිල්වා 2/70.

හෙට (08) තරගයේ දෙවැනි දිනයයි. තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<