මුල්පෙළ බිඳ වැටීමෙන් අනතුරුව රිච්මන්ඩ් විද්‍යාලය නැවතත් සටනට

1754
Richmond College Vs Ananda College

අවිඳු තීක්ෂණ සහ සඳුන් මෙන්ඩිස් පිතිකරණයේ දී දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ආරම්භක දිනයේ වැඩි ගෞරවය අද (08) ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට හිමි විය. ඔවුන් තරග වැදුණේ සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ අවසන් මහා තරගය වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලය සමඟිනි. තරගය කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

අවිඳුගේ දඟ පන්දුව නිසා ශූරතාවය දකුණු පළාතට

දිවයින පුරා විසිරී පැතිරී සිටි වයස අවුරුදු 19න් පහළ දක්ෂ යොවුන් ක්‍රීඩකයින් රැසක් එකම තරගාවලියකට කැටි කොට ගනිමින් පැවැත්වුණු අන්තර් පළාත් එක්දින තරගාවලිය අද (07) දකුණු පළාතට ශූරතාවය හිමි කර දෙමින් නිමාවට පත්විය.

කාසියේ වාසිය රිච්මන්ඩ් නායක කමිඳු මෙන්ඩිස්ට හිමි වූ අතර තරමක් වියළිව පැවති තණතීරුවේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔහු තීරණය කළේය. නමුත් මෙම තීරණය අභියෝගයට ලක් කළ ආනන්ද විද්‍යාලයීය පන්දු යැවීමේ බලඇණිය රිච්මන්ඩ් ලකුණු පුවරුවට ලකුණු 22ක් වන විට ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් සිව් දෙනෙකුම නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූහ. ඒ අතරට ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායමේ ද නායකත්වය හොබවන කමිඳු මෙන්ඩිස්ගේ සහ ධනංජය ලක්ෂාන්ගේ ද කඩුලු ඇතුළත් වීම කැපී පෙනෙන කරුණක් විය.

කෙසේ වෙතත් බිඳ වැටුණු රිච්මන්ඩ් ඉනිමට නැවතත් ජීවයක් එක් කළ අවිඳු තීක්ෂණ සහ තවීෂ අභිෂේක් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක සාර්ථක සබඳතාවයක් පිහිටුවමින් විද්‍යාලයීය මුළු ලකුණු සංඛ්‍යාව 98ක් දක්වා ඉහළ දැමීමට සමත් වූහ. කෙසේ වෙතත් තරගයේ තීරණාත්මක මොහොතක දී අගනා ලකුණු 46ක් ලබා සිටි තවීෂට තම අර්ධ ශතකය අහිමි විය. පන්දු 81ක් තුල දී වාර්තා වුනු ඔහුගේ ඉනිම නිමා වූයේ දිවා විවේකයට සුළු මොහොතකට පෙරයි.

ඊයේ දිනයේ දී වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් එක්දින තරගාවලියේ ශූරතාවය දකුණු පළාතට හිමි කර දීම වෙනුවෙන් පන්දු යැවීමෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළ අවිඳු තීක්ෂණ අද තම පිතිකරණයෙන් සුපිරි දක්ෂතා පෙන්වමින් රිච්මන්ඩ් විද්‍යාලයීය පළමු ඉනිම ඉහළ දැමීමට දායක විය. ඒ අද දිවා විවේකයෙන් අනතුරුව විශිෂ්ට අර්ධ ශතකයක් රැස්කර ගනිමිනි. ඔහු රවිශ්ක විජේසිරි සමඟ එක්වී සයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක සබඳතාවයක් ගොඩ නැංවීමට ද සමත් විය. එම මොහොතේ ක්‍රියාත්මක වුනු පිට දඟ පන්දු යවන ක්‍රීඩක සුපුන් වරාගොඩ ලකුණු 21ක් ලබා සිටි රවිශ්කව දවා ගනිමින් මෙම කෙටි ලකුණු සබඳතාවයට නැවතීමේ තිත තැබීය.

>> ඡායාරූප ඇල්බමය <<

ඉන් අනතුරුව වමත් පිතිකරු අවිඳු තීක්ෂණ සමඟ එක්වුණු කසුන් තාරක 7 වැනි කඩුල්ල වෙනුවෙන් ඉක්මන් ලකුණු සබඳතාවයක් ගොඩ නගමින් රිච්මන්ඩ් ලකුණු පුවරුව ලකුණු 200 සීමාව දක්වා ගෙන යාමට සමත් විය. කෙසේ වෙතත් තේ විවේකයෙන් අනතුරුව නැවතත් තරගයට අවතීර්ණ වුන ආනන්ද විද්‍යාලය අවිඳුගේ කඩුල්ල ද සමඟින් රිච්මන්ඩ් විද්‍යාලයේ කඩුලු 2ක් ඉක්මනින්ම බිඳ දැමූහ. හතරේ පහර 10ක් සමඟින් පන්දු 160ක දී විශිෂ්ට ලකුණු 80ක් රැස්කළ අවිඳු තීක්ෂණගේ කඩුල්ලේ අයිතිය සුපුන් වරාගොඩට හිමි විය.

අද සන්ධ්‍යා කාලයේ දී රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් වැදගත්ම ලකුණු සබඳතාවය වූයේ කමිඳුගේ බාල සොහොයුරු මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන සඳුන් මෙන්ඩිස් සහ කඩුලු රකින පිතිකරු දුවීන් කළංසූරිය අතර 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු සබඳතාවයයි. ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගුණු නොබිඳුනු ලකුණු 105ක සබඳතාවය රිච්මන්ඩ් විද්‍යාලයට මුල් දිනයේ වැඩි වාසිය ලබා ගැනීමට අතිශයින්ම වැදගත් විය. ඒ අනුව ප්‍රථම දිනය සඳහා තරගය නතර කරන විට රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 307ක් ලබා සිටියි.

සඳුන් මෙන්ඩිස් අද පන්දු 99කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 64ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ පිතිකරණ සහායක දුවීන් කළංසූරිය මේ වන විට නොදැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 36කි. ආනන්ද විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ලකුණු 91ට කඩුලු 4ක් දවාගත් සුපුන් වරාගොඩ සමත් විය. මීට අමතරව වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අසේල් සිගේරා රිච්මන්ඩ් කඩුලු 2කට හිමිකම් කීවේය.

මේ වන විටත් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගී ඇති ශතක සබඳතාවය හෙට දිනයේ දී රිච්මන්ඩ් විද්‍යාලයේ ජයග්‍රහණය වෙනුවෙන් ආධාර විය හැකි නිසා ආනන්ද විද්‍යාලයීය පන්දු යවන්නන්ට දෙවැනි දිනයේදීත් භාර වී ඇති වගකීම සුළුපටු නොවේ. කෙසේ වෙතත් හෙට දිනයේ දී ආනන්ද විද්‍යාලය පිතිකරණයේ දී දක්වන දක්ෂතා මත මෙම තරගයේ අවසන් ප්‍රතිඵලය බොහෝ දුරට තීරණය වනු ඇත.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 307 (පන්දුවාර 95): අවිඳු තීක්ෂණ 80, සඳුන් මෙන්ඩිස් 64*, තවීශ අභිෂේක් 46, දුවීන් කළංසූරිය 36*, කසුන් තාරක 25, සුපුන් වරාගොඩ 4/91, අසේල් සිගේරා 2/80.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට