දෙවැනි පෙළ Tier A ශූරතාව කටුනේරියට රැගෙන ගිය අයුරු

19න් පහළ දෙවැනි පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

89
St. Sebastians College - Katuneriya

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ Tier A කොටසේ ශූරතාව දිනා ගැනීම කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය පසුගිය දා සමත් වුනා. ඔවුන් මෙම ශූරතාව දක්වා පැමිණියේ තරගාවලියේ අපරාජිතයන් සේ සිටිමින් වීම විශේෂත්වයක්.

තරගාවලියේ Y කාණ්ඩයෙන් තරග වැදුණ ඔවුන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 8ක ජයක්, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 9ක ජයක්, පාදුක්ක සිරි පියරතන විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 15ක ජයක්, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් සහ කළුතර සිරි කුරුස විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් පළමු වටය අවසන් කළා.

ඊට අමතර ව ඔවුන් තවත් තරග 9ක් ක්‍රීඩා කළ අතර ඒ සෑම තරගයක් ම ජයග්‍රහණය කිරීමට ද ඔවුන් සමත් වුනා.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ජයග්‍රාහී ගමන් මඟ
ප්‍රතිවාදීන් ප්‍රතිඵලය
1 සාන්ත අන්තෝනි විද්‍යාලය,

වත්තල.

තරගයේ විසඳුමක් නෑ.
2 මධ්‍ය මහා විද්‍යාලය,

අනුරාධපුරය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 8ක ජයක්.
3 සාන්ත තෝමස් විද්‍යාලය,

මාතලේ.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 7ක ජයක්.
4 සාන්ත මරියා විද්‍යාලය,

හලාවත.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 113ක ජයක්.
5 මධ්‍ය මහා විද්‍යාලය,

ගලහිටියාව.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 10ක ජයක්.
6 ශ්‍රී දේවානන්ද විද්‍යාලය,

අම්බලන්ගොඩ.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
7 සිරි කුරුස විද්‍යාලය,

කළුතර.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
8 සාන්ත ජෝසප් වාස් විද්‍යාලය,

වෙන්නප්පුව.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
9 තිස්ස මධ්‍ය මහා විද්‍යාලය,

කළුතර.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 9ක ජයක්.
10 සිරි පියරතන විද්‍යාලය,

පාදුක්ක.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 15ක ජයක්
11 සාන්ත මරියා විද්‍යාලය,

කෑගල්ල

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 272ක ජයක්.
12 දේවපතිරාජ විද්‍යාලය,

රත්ගම.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
13 සාන්ත තෝමස් විද්‍යාලය,

මාතර

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
14 ඩඩ්ලි සේනානායක විද්‍යාලය,

තෝලංගමුව.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 228ක ජයක්.
අවසන් පූර්ව තරගය
15 ශ්‍රී සුමංගල විද්‍යාලය,

පානදුර

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 3ක ජයක්.
අවසන් මහා තරගය
16 සිරිකුරුස විද්‍යාලය,

කළුතර.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

ඔවුන් වෙතින් අවසන් මහා තරගයේ දී පරාජයට පත් වූයේ කළුතර සිරි කුරුස විද්‍යාලයයි. දෙවිදුහල් අතර පැවති අවසන් මහා තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත් වූයේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි කර දෙමින්.

අවසන් මහා තරගයේ කෙටි ලකුණු පුවරුව

කාසියේ වාසිය – සිරි කුරුස විද්‍යාලය

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම සියලුම දෙනා දැවී 102 (44.0) චතුමාල් නිමේෂ් 20, රශේන් කේතක 6/06, පසිඳු විමංස 3/63
  • සිරි කුරුස විද්‍යාලය පළමු ඉනිම සියලුම දෙනා දැවී 93 (53.4) පසිඳු විමංස 20, තිසර මදුශාන් 4/33
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 135 (70) ගයාන් හර්ෂණ 42, හංසජ බ්‍රයන් 4/40
  • සිරි කුරුස විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 132 (19) සොනාල් අවදික නොදැවී 75

පළමු ඉනිමේ ජයග්‍රහණය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට.

මෙම ජයග්‍රහණයේ පෙර ගමන්කරුවන් අතරින් චතුමල් නිමේෂ් තම කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක නිරත වූවා. ඔහු පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 612ක් ලබා ගත් අතර පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 101ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඔහු ඉනිමක කඩුලු 5කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 7ක් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනුණා. ඒ අතරින් ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වූයේ මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලකුණු 48කට ලබා ගත් කඩුලු 7යි.

එම තරගයේ දෙවැනි ඉනිමේ දී ද ඔහු ලකුණු 60කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. ඒ අනුව තරගයක දී කඩුලු 10ක් වාර්තා කළ සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ එක ම පන්දු යවන්නා බවට ද ඔහු පත් වුනා.

ඉන්පසුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ජයග්‍රාහී ගමනේ ගෞරවය හිමි වෙන්නේ තිසර මධුශාන් වෙතයි. ඔහු ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 780ක් ලබා ගත් අතර කඩුලු 49ක් දවා ගැනීමට ද සමත් වෙනවා.

පිතිකරුවෙක් ලෙසින් ඔහුගේ හොඳම දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 117යි. පන්දු යැවීමේ දී ඔහුගේ හොඳම දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව ලකුණු 46කට ලබා ගත් කඩුලු 6යි.

මේ අතර නිමේෂ් මධුසංක ද තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ජයග්‍රහණයට වැඩි දායකත්වයක් එක්ක කළා. ඔහු පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 412ක් සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 32ක් දවා ගත්තා.

ඊට අමතර ව හසිත කාවින්ද පිතිකරුවෙක් ලෙසින් සහ කඩුල්ල පිටුපස සිටිමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූවා. ඔහු අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 627ක් ලබා ගත් අතර කඩුලු රකිමින් දවා ගැනීම් 64කට දායක වී සිටිනවා.

මේ අතර ගයාන් හර්ෂණ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 622ක් සහ කඩුලු 10ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා. එමෙන් ම අශේන් රන්දික අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 471ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

පන්දු යැවීමේ දී තාරුක මනරම් ඉනිමක කඩුලු 5කට වඩා වැඩියෙන් ලබා ගත් අවස්ථාවන් 3ක් වාර්තා කරමින් කඩුලු 51ක් ලබා ගැනීමට සමත් වූවා. ඔහුගේ හොඳම දක්ෂතාව ලෙසින් සටහන් වෙන්නේ මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලකුණු 51කට දවා ගත් කඩුලු 7යි.

ඊට අමතර ව  මලිඳු දහම් ද කඩුලු 36ක් ලබා ගනිමින් සාන්ත සෙබස්තියන් ජයග්‍රහණයට උර දුන්නා. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 18කට ලබා ගත් කඩුලු 5යි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රිකට් සංචිතය: විරාජ් මෙනුර ප්‍රනාන්දු, අශේන් දිනුක, වෙනුත් කෞමිර, නිමේෂ් මධුශංක, මහීෂ සිතුම් අප්පුහාමි, චතුමල් නිමේෂ් ප්‍රනාන්දු, තිසර මධුශාන්, ගයාන් හර්ෂණ අප්පුහාමි, හසිත් කාවින්ද ප්‍රනාන්දු, විහඟ තීක්ෂණ අප්පුහාමි, මලිඳු දහම් ජයසිරි, නිසල් රශ්මික ප්‍රනාන්දු, තාරුක මනරම් ප්‍රනාන්දු, දිනුක සඳුන්, දිනිඳු ඩිලාන් ප්‍රනාන්දු, නවීන් නෙත්සර, ඔෂාන් ආසිරි, විශ්ව තාරුක ප්‍රනාන්දු

නිලධාරීන්: විරාජ් එරංග පියතුමා (විදුහල්පති), මුදිත් සනුශ්ක සහෝදරතුමා (ක්‍රිකට් භාර ආචාර්ය), ඩබ්ලිව්. එස්. පී. කොස්තා (ප්‍රධාන පුහුණුකරු), ෂෙවෝන් යොනතන් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු)

මෙම දක්ෂතාත් සමඟින් ඔවුන් එළඹෙන වසරේ දී පළමු පෙළ Tier B කොටසෙන් තරග වැදීමට සුදුසුකම් ලැබුවා.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ Tier A කාණ්ඩයේ ශූරයන් වූ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය කණ්ඩායමට ThePapare.com හී සුබ පැතුම්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<