කටුනේරිය සාන්ත සෙබස්තියන් දෙවැනි පෙළ Tier A ශූරතාවය උසුලයි

19න් පහළ දෙවැනි පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

196

කළුතර සිරි කුරුස විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (31) ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

එහි දී කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිමේ ජයක් සමඟ මෙහි ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් මේ පාසල් කණ්ඩායම් දෙකම එළඹෙන වසරේ පැවැත්වෙන තරගාවලියේ දී පළමු පෙළ Tier B කොටස දක්වා උසස් වීම් හිමිකරගෙන අවසන්.

අද කාසියේ වාසිය දිනා ගත් සිරි කුරුස විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 102ක් ලබා ගත් අතර එහි දී චතුමාල් නිමේෂ් හට හැරෙන්නට අනෙක් එකඳු හෝ පිතිකරුවෙක් හට ලකුණු 20 සීමාව අභිබවා යන්නට කඩුලු 6ක් දවා ගත් රශේන් කේතක ඇතුළු සිරි කුරුස විද්‍යාලයීය පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමෙන් ද කඩුලු 3ක් දවා ගත් පසිඳු විමංස ලකුණු 20ක් ලබාගෙන සිරි කුරුස පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනා. එහි දී තිසර මදුශාන් ලකුණු 33කට කඩුලු 4ක් දවාගෙන සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූවා.

ලකුණු 9කින් පළමු ඉනිමේ වැඩි වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාල දෙවැනි ඉනිම ලකුණු 135කට සීමා කරමින් තරග ජයග්‍රහණයක් පිළිබඳව යම් බලාපොරොත්තුවක් සිරි කුරුස විද්‍යාලයට තබා ගැනීමට හැකියාව ලැබුණා.

ඒ අනුව සිරි කුරුස විද්‍යාලයට සිය ජයග්‍රහණය සඳහා දෙවැනි ඉනිම තුල ලකුණු 145ක් ලබා ගැනීමට අවශ්‍යව තිබුණු නමුත්, දිනයේ නියමිත පන්දුවාර ප්‍රමාණය තුල ඔවුන්ට කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 132ක් පමණයි.

එහි දී අවසන් පන්දුවාර කිහිපය දක්වා සිරි කුරුස බලාපොරොත්තු ඉහළ නංවමින් පෙරළිකාර ඉනිමක් දියත් කිරීමට උත්සහ කළ සොනාල් අවදික පන්දු 50ක් තුල 4 පහර 6ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් නොදැවී එම සුපිරි ලකුණු 75*ලබා ගත්තා .

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 102 (44): චතුමාල් නිමේෂ් 20, රශේන් කේතක 6/06, පසිඳු විමංස 3/63 & 135 (70): ගයාන් හර්ෂණ 42, හංසජ බ්‍රයන් 4/40
  • සිරි කුරුස විද්‍යාලය – 93 (53.4): පසිඳු විමංස 20, තිසර මදුශාන් 4/33 & 132/7 (19): සොනාල් අවදික 75*

තරගය ජය පරාජයෙන් තොරව අවසන් (පළමු ඉනිමේ ජය ලබා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ශූරතාවය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<