තියුණු සටනකට පසුව සාන්ත සෙබස්තියන් අභිබවා මලියදේවය ඉදිරියට

356

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ අවසන් අර්ධ අවසන් පූර්ව වටයේ තරගය අද (30) මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල් පිටියේ දී අවසන් වුනා.

එම තරගයෙන් උණුසුම් සටනකට පසුව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගත් මලියදේව විද්‍යාලය සාන්ත සෙබස්තියන් විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වීම කැපී පෙනුණා.

තරගයේ දෙවැනි දිනය ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටි සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 137ක් ලබාගෙන ඉතාමත් හොඳ ස්ථාවරයක පසුවුනා.

නමුත් අද උදෑසනම ක්‍රියාත්මක වූ මලියදේව විද්‍යාලය සාන්ත සෙබස්තියන් කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 87ක් තුල දවා ගනිමින් පෙරළිකාර දස්කම් දැක්වීමට සමත් වීම නිසා, සාන්ත සෙබස්තියන් විද්‍යාලයට මලියදේව කණ්ඩායම ලබා ගත් ලකුණු 265 ඉලක්කය හඹා යාමට හැකියාවක් ලැබුණේ නැහැ.

එහි දී විමත් දින්සර සහ සන්දීෂ් ප්‍රනාන්දු අර්ධ ශතක ලබා ගත් අතර පන්දු යැවීමේ දී තේමිය මිස්සක සහ 15 හැවිරිදි වමතින් දඟපන්දු යවන දිමත් අබේසිංහ කඩුලු 3 බැගින් දවා ගත්තා.

ලකුණු 41ක පළමු ඉනිමේ වාසියක් සමඟ සිය දෙවැනි ඉනිම දියත් කළ මලියදේව විද්‍යාල ඉනිම ලකුණු 171කට සීමා කරමින් සුපිරි ගණයේ දස්කම් දැක්වීමට සාන්ත සෙබස්තියන් නායක සන්දීෂ් ප්‍රනාන්දු ඇතුළු සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයින් සමත් වුනා.

මලියදේව දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු අමේෂ් තෙන්නකෝන් නායකත්වයේ අර්ධ ශතකයක් ලබාගෙන ඔවුන්ගේ දෙවැනි ඉනිම ස්ථාවර කළා. ඒ අනුව ඉදිරි වටයට යාමට නම් සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 213ක ඉලක්කයක් හඹා ගොස් තරගය ජයග්‍රහණය කළ යුතුව තිබුණු අතර ඒ සඳහා ඔවුන්ට පැයක පමණ සුළු කාලවේලාවක් ඉතිරිව තිබුණා.

අවසානයේ දී ඔවුන් පන්දුවාර 14ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 106ක් ලබාගෙන සිටිය දී තරගයේ නියමිත කාලය සහ පන්දුවාර ප්‍රමාණය අවසන් වීම නිසාවෙන් මලියදේව විද්‍යාලය පළමු ඉනිමේ ජයක් සහිතව තරගය අවසන් කළා.

කෙසේ නමුත් සාන්ත සෙබස්තියන් කණ්ඩායම ද අවසන් මොහොත දක්වා හොඳ තරගයක් ලබා දෙමින් සිය ප්‍රතිවාදීන්ට හොඳ සටනක් ලබා දුන්නා.

ඒ අනුව වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ පළමු අවසන් පූර්ව තරගය සඳහා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය සුදුසුකම් ලබා ගන්නා විට එහි දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

  • මලියදේව විද්‍යාලය – 265 (72.5): පසිඳු මේනක 67, ජයමින් මුතුකුමාරණ 66, චමත්ක හෙට්ටිආරච්චි 62, මනුජ චන්තුක 6/72 & 171 (61.5): අමේෂ් තෙන්නකෝන් 59, ජයමින් මුතුකුමාරණ 48, සන්දීෂ් ප්‍රනාන්දු 7/62.
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 224 (63.3): විමත් දින්සර 86, සන්දීෂ් ප්‍රනාන්දු 57, තේමිය මිස්සක 3/15, දිමත් අබේසිංහ 3/54 & 105/6 (14): අදීශ අල්මේදා 26, මනුජ චන්තුක 23*, ගයන වීරසිංහ 2/36.

මලියදේව විද්‍යාලයට පළමු ඉනිමේජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<