ශානික්‍යගේ නායකත්වයේ ඉනිම අපතේ යයි; T20 ජය ඉසිපතනයට!

585

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමඟ 16 වැනි වරටත් පැවැත්වුනු වාර්ෂික විස්සයි විස්ස ක්‍රිකට් ගැටුම මෙවර ජය ගන්නට කොළඹ ඉසිපතන විද්‍යාලයට හැකි වුනා. ඒ ඊයේ (25) තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩා පිටියේ දී ම පැවති තරගය ලකුණු 16කින් ජය ගනිමින්.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඉසිපතන විද්‍යාලය පන්දුවාර 19ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 120ක් ලබා ගැනීමට සමත් වුනා. එහි දී ඉනිම ඇරඹූ තරූෂ නෙත්සර පන්දු 28කින් ලකුණු 28ක් ලබා ගත්තා. පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 25ක්. නායක නවීන් කණිෂ්ක ලකුණු 5කට දැවී යාමෙන් පසු නෙත්සර සහ තේමිය නෙත්මික එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 35ක් එකතු කළා.

තේමිය තම ලකුණු 28 වෙනුවෙන් වැය කළේ පන්දු 18ක් පමණයි. ඔහුගේ වේගවත් ඉනිමට හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා. ඉසිපතන මැදපෙළ පිතිකරුවන් බොහෝ දෙනෙකු අසමත් වෙද්දී, කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේ යුනෙත් සෙනෙවිරත්න පමණයි. ඔහු පන්දු 26කින් ලකුණු 20ක් ලබා ගත්තා. වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව ඉක්මවා ගියේ නැහැ.

ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් විශාල ලකුණු සබඳතා කිසිවක් වාර්තා නොවුනත්, එක ළඟ කඩුලු කිහිපයක් බිඳ නොවැටෙන්නට ඔවුන් වග බලාගත් නිසා ප්‍රමාණවත් ලකුණු පුවරුවක් ගොඩනගන්නට ඔවුන්ට හැකි වුනා. පන්දු යැවීමේ දී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් අසීම් මොහොමඩ්, කවින්ද ප්‍රභාත්, හරිත් ශාලක සහ තනුග පලිහවඩන කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

පන්දු ගණනට සමාන ලකුණු ගණනක් ලබා ගැනීමේ අටියෙන් පිටියට පිවිසි තර්ස්ටන් විද්‍යාලයට පන්දුවාර 19.2ක් අවසානයේ ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 104ක් පමණයි. තර්ස්ටන් ඉනිම ඇරඹූ දිනාල් ඉඳුවර සහ තනූජ රාජපක්ෂ දෙදෙනාම ලකුණු 5කට දැවී යාම ඔවුන්ව මුල සිටම පසුපාදයට ඇද දමන්නට හේතු වුනා.

තර්ස්ටන් ඉනිම දුරකථන අංකයක් මෙන් දිස් වෙද්දී නායක ශානික්‍ය දේශප්‍රිය තම විද්‍යාලය ජය කණුව වෙත ගෙන යාමට දැඩි සටනක් ලබා දුන්නා. පන්දු 40ක් තුල දී ඔහු ලකුණු 54ක් ලබා ගත්තේ තරගයේ පළමු සහ එකම අර්ධ ශතක ලාභියා බවට පත්වෙමින්. නමුත් වෙනත් කිසිදු පිතිකරුවෙකුගෙන් සහයක් නොලද ශානික්‍යට තම ප්‍රයත්නය අත්හැර දැමීමට සිදු වුනා.

9 වැනි කඩුල්ල ලෙස ඔහු සිතුක ගුණවර්ධනගේ පන්දුවක් කඩුල්ලේ ගැටී දැවී යාමත් සමඟ ඉසිපතන විද්‍යාලයේ ජය තහවුරු වුනා. සිතුක ගුණවර්ධන අද තර්ස්ටන් ඉනිමේ වටිනාම කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. මැදපෙළ සම්පූර්ණයෙන්ම පාහේ බිඳ දැමීමට කබිලේෂ්වරන් ලබා ගත් කඩුලු 3 වැදගත් වුනා.

සහන් විරාජ් ලකුණු 16කට කඩුලු 4ක් දවා ගත්තේ තරගයේ වැඩිම කඩුලු ලාභියා ලෙසයි. තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි වුනා.

මේ අනුව විද්‍යාල දෙක අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමෙන් පසු එක්දින ක්‍රිකට් තරග ජය තර්ස්ටන් විද්‍යාලයටත්, විස්සයි විස්ස ජයග්‍රහණය ඉසිපතන විද්‍යාලයටත් හිමිකර දෙමින් මෙවර වාර්ෂික ක්‍රිකට් තරග වාරය නිමාවට පත්වුනා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ තවත් තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<