දෙවැනි තේරීම් තරගාවලියේ දී කඩඉම් පසු කළ දක්ෂයින්

314

2022 ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තේරීම සඳහා පැවති දෙවැනි ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය පසුගිය බ්‍රහස්පතින්දා (10) සහ සිකුරාදා (11) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

දියගම ක්‍රීඩාංගණය නවීකරණය කිරීමෙන් පසුව පැවති පළමු තරගාවලිය මෙය වූ අතර අලුත් ධාවන පථයක් සහ ක්‍රීඩාංගණයේ පැවති සුළං තත්වය නිසාවෙන් සිය උපරිම දස්කම් දැක්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

නමුත් මෙම තරගාවලියේ දී එක් ජාතික වාර්තාවක් සහ කනිෂ්ඨ වාර්තා දෙකක් බිඳ වැටුණු අතර තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ පරිසාධන මට්ටම් ඉක්මවා යෑමට සමත් වීම විශේෂත්වයක්.

සචිනි පෙරේරා – රිටි පැනීම

දෙවැනි තේරීම් තරගාවලියේ වාර්තා වූ පළමු සහ එකම ජාතික වාර්තාව පිහිටුවීමට සමත් වුනේ සචිනි පෙරේරායි.

කාන්තා රිටි පැනීම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන සචිනි මෙම තරගයේ දී මීටර් 3.70ක දස්කමක් පෙන්නුම් කරමින් බිඳ හෙලුවේ ඇය විසින්ම පසුගිය මාසයේ දී මීටර් 3.65ක දස්කමක් දක්වමින් පිහිටුවා තිබූ වාර්තාවයි.

කාන්තා රිටි පැනීම ඉසව්වේ දිගු කාලීන ජාතික ශූරිය වන ඇය අවසන් වරට සහභාගී වූ තරගාවලි සියල්ලේ දී ම සිය ජාතික වාර්තාව අලුත් කිරීමට සමත් වීම විශේෂත්වයක්.

අමේෂා හෙට්ටිආරච්චි – කාන්තා 400m කඩුලු පැනීම

කාන්තා මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව මිනිත්තු 1:00.49ක කාලයකින් අවසන් කරමින් එහි කනිෂ්ඨ ජාතික වාර්තාව බිඳ හෙළීමට අමේෂා සමත් වුනා.

එම තරගය දෙවැන්නා ලෙස ද අවසන් කිරීමට ඇයට හැකි වූ අතර එම කාලය නිසාවෙන් ඇයට මෙම වසරේ පැවැත්වීමට නියමිත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව ලැබීම ද විශේෂත්වයක්.

නිහන්සා මන්දිනි – කාන්තා මිටිය විසි කිරීම

කාන්තා මිටිය විසිකිරීම ඉසව්ව සඳහා සහභාගී වූ යොවුන් ක්‍රීඩිකා නිහන්සා මන්දිනි එම ඉසව්වේ කනිෂ්ඨ ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.

ඇය එහි දී මීටර් 39.57ක දුරක් වාර්තා කරමින් එම වාර්තාව පිහිටුවීමට සමත් වූ අතර එම ඉසව්වේ සිව්වැනි ස්ථානය ඇයට හිමි වුනා.

තරුෂි කරුණාරත්න – මීටර් 400 සහ 800

කාන්තා මීටර් 400 සහ 800 ඉසව් නියෝජනය කළ කනිෂ්ඨ ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙවර තරගාවලියේ වැඩිම අවධානයක් දිනා ගත් ක්‍රීඩිකාව ලෙස හැඳින්විය හැකි.

කාන්තා මීටර් 400 ඉසව්වේ මූලික තරගයේ දී තත්පර 54.36ක කාලයකින් අවසන් කළ තරුෂි ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ සුදුසුකම් සපුරාලීමට සමත් වූ අතර එහි අවසන් තරගයේ දී ඇය හිටපු ජාතික ශූරියක වන නදීෂා රාමනායක පරදවමින් එම ඉසව්වේ පළමු තැන දිනා ගත්තා.

මීටර් 800 ඉසව්වේ ද ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ තරුෂි එම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන ඩිල්ෂි කුමාරසිංහ පරදවමින් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වීම කැපී පෙනුණා.

සිතුම් ජයසුන්දර – පිරිමි මීටර් 400

සිතුම් ජයසුන්දර (1276)

තේරීම් තරගාවලියේ පිරිමි මීටර් 400 ඉසව්ව සඳහා සහභාගී වූ කනිෂ්ඨ ක්‍රීඩක සිතුම් ජයසුන්දර එම ඉසව්වෙන් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ පරිසාධන සීමාව පසුකිරීමට සමත් වුනා.

මීටර් 400 ඉසව්වේ අවසන් තරගය නියෝජනය කළ සිතුම් තත්පර 47.39ක කාලයකින් දෙවැන්නා ලෙස තරගය අවසන් කරමින් මෙම කඩඉම පසු කිරීමට සමත් වීම විශේෂත්වයක්.

ජයේෂි උත්තරා – කාන්තා මීටර් 400

තරගාවලියේ කාන්තා මීටර් 400 නියෝජනය කළ ජයේෂි උත්තරා එහි අවසන් තරගයේ දී ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ සුදුසුකම් සපුරාලීමට සමත් වුනා.

එම අවසන් තරගය තත්පර 55.19ක කාලයකින් අවසන් කරමින් එම සුදුසුකම් සපුරාලීමට ඇයට හැකි වූ අතර ඇයට එම ඉසව්වේ තෙවැනි ස්ථානය හිමි වුනා.

මීට අමතරව මෙම තරගාවලියේ දී හිටපු මීටර් 100 ජාතික ශූරියක වූ රුමේෂිකා රත්නායකගේ නැවත පැමිණීම දක්නට ලැබුණු අතර කාන්තා මීටර් 100 අවසන් තරගයේ දී ඇය විසින් තියුණු සටනකින් පසුව එහි වත්මන් ජාතික ශූරී අමාෂා ද සිල්වා පරාජය කිරීමට සමත් වුනා.

තරගාවලිය සඳහා ආබාධ සහ විවිධ හේතූන් නිසාවෙන් ප්‍රධාන පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපයක් සහභාගී නොවූ නමුත් සාර්ථක තරගාවලියක් අවසන් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට හැකි වුනා.

දේශීය මලල ක්‍රීඩා පිටියේ මීළඟ තරගාවලිය සහ ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තේරීම සඳහා වන අවසන් තරගාවලිය ලෙස 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය ලබන මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<