මේසපන්දුවෙන් වැඩපෙන්වන “වරුෂවිතාන” පවුල

367

එරන්දි වරුෂවිතාන, සුපුන් වරුෂවිතාන සහ හිරුණ වරුෂවිතාන යනු ශ්‍රී ලාංකීය වර්තමාන මේසපන්දු ක්‍රීඩාවේ දී ඉහළින්ම කියැවෙන නම් ය. ඔවුන්ගේ පියා සේ ම පියාගේ පියා ද මේසපන්දු ක්‍රීඩාවේ නිරත වූවෝ ය. මේ ඔවුන්ගේ පරම්පරා තුනක කතාවයි. 

මැදි දුර පිටියේ දක්ෂතා දක්වන “උඩුදුම්බර අයිය – නගෝ”

එරන්දි වරුෂවිතාන යනු වරුෂවිතාන පවුලේ මේසපන්දු ක්‍රීඩාවෙන් ඉහළම ජයග්‍රහණය අත්කරගත් තැනැත්තිය ය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් අකුරු කළ එරන්දි මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණ අංශයේ ඉගැනුම ලබන්නීය. 2013 වසරේ ජාතික කනිෂ්ඨ ශූරිය වන ඇය 2014 සහ 2017 වසර ද්විත්වයේ ජාතික ශූරිය ලෙසින් අභිශේක ලබන්නීය. 

සුපුන වරුෂවිතාන ද අම්බලන්ගොඩ ධර්මාශෝකයේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා උසස් පෙළ හැදෑරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට සංක්‍රමණය වූවෙකි. මේ වන විට මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය හදාරන ඔහු මේසපන්දු ශ්‍රේණිගත කිරීමේ දී දෙවැනි ස්ථානයේ රැඳී සිටී. 

වරුෂවිතාන පවුලේ බඩපිස්සා, හිරුණ වරුෂවිතාන ද අම්බලන්ගොඩ ධර්මාශෝකයෙන් මූලික අධ්‍යාපනය ලබා උසස් පෙළ සඳහා කොළඹ ආනන්දයට පිවිසියෙකි. මේ වන විට වයස අවුරුදු 18න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කරන ඔහු එම කාණ්ඩයේ 5 වැනි ස්ථානයට ශ්‍රේණිගත වී ඇත. 

ඔවුන් අයත් වෙන්නේ වරුෂවිතාන පරපුරේ තෙවැනි පරම්පරාවට ය. මේ පවුලේ මුලින්ම මේසපන්දු ක්‍රීඩාවට පිවිසෙන්නේ චන්ද්‍රදේව වරුෂවිතාන ය. මහා ලොකුවට නොවුවත් ඔහු එකල මේසපන්දු පිටියේ කැපී පෙනෙන චරිතයක් විය. මෙකල මෙන් එකල දෙමාපියන් ක්‍රීඩාවන් හා බැදී සිටියේ නැත. චන්ද්‍රදේවලා ක්‍රීඩා කළේ තමන්ගේ උවමනාවට ය. නැත්නම් තමන්ගේ ඇගේ තිබුණ ඇම්මට ය. චන්ද්‍රදේව ද එවැන්නෙකි. 

කොච්චර ඇම්ම තිබුනත් චන්ද්‍රදේවලාට ක්‍රීඩාවේ වැඩි කාලයක් ගත කරන්නට ගෙදරින් ඉඩ ලැබෙන්නේ නැත. ඒ පරම්පරාගත ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට වූ නිසා ය. දෙමාපියන් චන්ද්‍රදේවගෙන් බලාපොරොත්තු වූයේ ක්‍රීඩාවට වඩා ව්‍යාපාරික ආයතනයේ දියුණුවයි.

පාසල් කාලය අවසන් වීමත් සමඟින් චන්ද්‍රදේවගේ ක්‍රීඩාව ද අවසන් විය. මේසපන්දු පිත්ත පසෙක තැබූ ඔහු පියාගේ ව්‍යාපාරයට නැඹුරු විය. නමුත් ඔහුගේ සිතෙන් මේසපන්දු ක්‍රීඩාව ගිලිහෙන්නේ නැත. ඒ නිසාම නැවත ඔහුගේ ක්‍රීඩාව විවාහ වී දරුවන් ලැබූ පසුව ඇරඹෙන්නේ ය. ඔහු තම පුතුන් දෙදෙනා වූ කුමුදු සහ සුමුදු මේසපන්දු ක්‍රීඩාවට යොමු කරන්නේ ය. ඒ වෙනුවෙන් ගෙදරට මේසපන්දු ක්‍රීඩාවට අවශ්‍ය මේසයක් ද මිල දී ගන්නේ ය. 

දැන් ගෙදර කුඩා මේසපන්දු ක්‍රීඩාගාරයකි. ඔහු දන්නා දේ ද කියා දෙමින් දරුවන් දෙදෙනා සමඟ ඉඩ ලැබෙන සැම අවස්ථාවකම ක්‍රීඩාවේ නිරත වූහ. ඔවුන් අතරින් කුමුදු මේසපන්දු ක්‍රීඩාවේ ජාතික මට්ටමේ තරගවලට පවා සහභාගී විය. අවස්ථා ගණනාවක දී ඔහු අවසන් සිවු දෙනා අතරට පැමිණීමට සමත් වූ නමුත් ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූයේ නැත. කුමුදු ඒ ලෙසින් මේසපන්දු පිටියේ දක්ෂතා දැක් වූවද සුමුදුගෙන් මේසපන්දු ක්‍රීඩාව අතහැරුණි. ඒ හදිසියේ මිය ගිය සිය පියාගේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ඔහුට කාලය ගත කිරීමට සිදුවීම නිසා ය. 

තවත් විශේෂාංග ලිපි:

සුමුදුට දරුවන් තිදෙනෙකි. පළමුවැනියා එරන්දි ය. දෙවැන්නා සුපුන සහ තෙවැන්නා හිරුණ ය. ඔවුන් තිදෙනාම මේසපන්දු ක්‍රීඩාවට යොමු වෙන්නේ හෝඩි පොත හෝ කියවීමට ප්‍රථම ය. දැන් කතාව ඔවුන් ගැන ය. වරුෂවිතාන තෙවැනි පරම්පරාව ගැන ය. 

“එරන්දි ඉපදෙන්නේ අඩු මාසෙන්. ඉපදෙන කොටම එයා දුර්වල ළමයෙක්. මේ නිසා අපිට එරන්දි වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන්න වුනා. නිතරම වෛද්‍ය උපදෙස් ගන්න වුනා. ටික කාලයක් යද්දි දොස්තරවරු කිව්වේ එරන්දිව ගේම් එකකට පුරුදු කරන්න එතකොට හරියයි කියල. මේ වෙද්දිත් ගෙදර ටේබල් එකක් තිබුණා. තාත්තල බාප්පල ඉඳහිට ටේබල් ටෙනිස් ක්‍රීඩාවේ නිරත වුනා. ඒ නිසා එරන්දිත් ඉබේටම ඒකට යොමු වුණා” රටක් දිනූ මේසපන්දු ක්‍රීඩිකාවකගේ ආගමනය සිදු වෙන්නේ ඒ ආකාරයෙනි. එරන්දිගේ මව, නිපුනිකා ගුණසිංහ සිහිපත් කළා ය. 

බහ තෝරන්නටත් කලින් පිවිසි ක්‍රීඩාවේ දී එරන්දිට කප් ගහන්න නම් කාලයක් ගියා කියලයි, මව ThePapare.com වෙත පැවසුවේ. “එරන්දි ඉස්කෝලෙ යන්න ගත්ත දා සිටම මේසපන්දු තරගවලට සහභාගී වුනා. නමුත් එයාට 6 පංතිය වෙන තුරුම සහතිකයක් හෝ දිනා ගන්න බැරි වුනා.”

කුඩා එරන්දි එවකට පුහුණුවීම්වල නිරත වූයේ අනුරලාල් අලගියාවඩු මහතා යටතේ ය. මේ කාලයේ දී ඉන්දීය පුහුණු ඇකඩමි තරගාවලියක් සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් යුත් ආරාධිත කණ්ඩායමක් සහභාගී වූ අතර එරන්දි ද ඊට ඇතුළත් කර ගත්තේ ය. මේ තරග සංචාරය එරන්දිගේ හැරවුම් ලක්ෂය විය. 

“එරන්දි ඒ තරගවල දී හරි උනන්දුවෙන් ක්‍රීඩා කළා. මතක විදිහට ජයග්‍රහණය කරන්න නොලැබුණත්, සහභාගීත්වය වෙනුවෙන් එරන්දිට සහතිකයක් ලැබුණා. දුවට ඒක ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සෙ තමයි එරන්දි මේසපන්දු ක්‍රීඩාවේ කැපී පෙනෙන චරිතයක් වුනේ” එරන්දිගේ මව නැවත පැවසුවා ය. 

ඒ අනුව මේසපන්දු කරළියේ පෙරළි කළ එරන්දි 2013 වසරේ ජාතික කනිෂ්ඨ ශූරිය ලෙසින් ද, 2014 සහ 2017 වසර ද්විත්වයේ ජාතික ශූරිය ලෙසින් ද අභිශේක ලබන්නීය. මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග සංචාර 40කට වැඩි සංඛ්‍යාවකට සහභාගී වී වූවා ය. 

ඒ අනුව 2010, 2016 සහ 2019 වසරවල දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, 2015 සහ 2017 ආසියානු ක්‍රීඩා උළෙල, 2014 සහ 2018 වසරවල පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය, 2014, 2015, 2016, 2017 සහ 2018 ලෝක කුසලාන තරගාවලිය සහ 2017 සහ 2019 ලෝක විශ්වවිද්‍යාලයීය තරගාවලිය නියෝජනය කිරීමට ඇය සමත් වන්නීය. 

එම තරග අතරින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලවල 2013 වසරේ දී රිදී, 2010 වසරේ දී රිදී, 2016 වසරේ දී රිදී සහ ලෝකඩ පදක්කම් 2ක් ද සහ 2019 වසරේ දී රිදී සහ ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට ඇය සමත් වූවා ය. ඊට අමතරව ලුසෆෝනියා ක්‍රීඩා උළෙලේ දී රිදි පදක්කමක් දිනා ගැනීමට ද ඇය සමත් වූවා ය. 

වරුෂවිතාන පවුලේ දෙවැනියා වන සුපුන වරුෂවිතාන, අක්කාගේ අතේ එල්ලී මේසපන්දු ක්‍රීඩාවට පිවිසෙන්නේ හරි හැටි ඇවිදගන්නටවත් බැරි අවදියේ සිට ය. අක්කා මෙන් නොව කුඩා කාලයේ දී ම ක්‍රියාශීලී ක්‍රීඩකයෙක් වු සුපුන පළමුවරට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩා කරන අවදියේය. ඒ 2013 වසරේ ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙනි. එම තරගාවලියේ දී ඔහු කණ්ඩායම් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. 

අනතුරුව 2014 වසරේ දී පාකිස්තානයේ පැවති දකුණු ආසියානු තරගාවලියේ දී කණ්ඩායම් තරගවල දී රිදී පදක්කම දිනා ගන්නා සුපුන, පිරිමි යුගල ඉසව්වේ දී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ප්‍රසාද් ද සිල්වා සමඟ එක්වෙමින් ලෝකඩ පදක්කම දිනා ගන්නේ ය. නැවත වතාවක් පාකිස්තානයේ 2016 වසරේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී කණ්ඩායම් තරගාවලියේ දී රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙන්නේ ය. 

එම තරගවලට අමතරව සුපුන 2016 වසරේ තායිලන්තයේ පැවති ආසියානු තරගාවලිය, පසුගිය වසරේ දී සිංගප්පූරුවේ පැවති ආසියානු පාසල් මේසපන්දු තරගාවලිය නියෝජනය කළ කණ්ඩායමේ නායකයා ලෙසින් ද, ඉන්දුනීසියානු විවෘත මේසපන්දු තරගාවලිය සහ ලෝක විශ්වවිද්‍යාලයීය තරගාවලිය ද නියෝජනය කළේය.

“පසුගිය වසරේ දී මේසපන්දු ජාතික ශූරතාවලියේ අනුශූරතාව දිනා ගත්තා. ඊට පෙර කනිෂ්ඨ ජාතික අනුශූරතාව ද දිනා ගෙන තිබෙනවා. මේසපන්දු ක්ෂේත්‍රයේ මීට වඩා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. දකුණු ආසියානු මට්ටමෙන් අපට ඉහළින් ඉන්නේ ඉන්දියාව පමණයි. නමුත් අපි ඔවුන් විවිධ අවස්ථාවල දී පසු කරල තිබෙනවා. ඉන්දීය ක්‍රීඩකයෝ ලොකු ටාගට් එකකට සෙල්ලම් කරන්නේ. ටූනමන්ට් එකක් ළං වෙද්දී ඔවුන් වෙනම සංචිත ගත වෙලා මාස ගණනක් පුහුණු වෙනවා. නමුත් අපිට ඒ වගේ අවස්ථා ලැබෙන්නේ නැහැ. අපිට එක්ව පුහුණුවීමට ලැබෙන්නේ කෙටි කාලයක් පමණයි. මේ තත්ත්වයේ වෙනසක් වෙනව නම් අපිට වාසිදායක වට පිටාවක් හදාගන්න බැරි වෙන එකක් නැහැ” සුපුන පැවැසුවේ ය.  

වරුෂවිතාන පවුලේ බාලයා හිරුණ වරුෂවිතාන, මේ වන විට විවෘත අංශයේ ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ දී අංක 18ට ශ්‍රේණිගතව ඇත. ඔහු 2018 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් මාලදිවයිනේ පැවති දකුණු ආසියානු තරගාවලිය නියෝජනය කරමින් රිදී පදක්කමක් දිනා ගත්තේය. ඊට අමතර ව මියන්මාරයේ පැවති ආසියානු තරගාවලිය ද නියෝජනය කළේය. 

අක්ක-මලෝවරුන් සමඟ පුහුණුකරු නිශාන් පෙරේරා මහතා.

“දරුවන් තිදෙනාම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම ගැන නිහතමානීව සතුටු වෙනවා. ඔවුන් තිදෙනාම පුහුණුවීම් ලැබුවේ එකට. අදටත් ඔවුන් නිශාන් පෙරේරා මහතා යටතේ එකට පුහුණුවීම් ලබනවා. තිදෙනාම එකට සෙල්ලම් කිරීම නිසා අපිට අනෙකුත් වැඩ කළමනාකරණය කර ගැනීමට විශාල පහසුවක් වුනා. ගොඩක් වෙලාවට පුහුණුවීම් තිබුණේ රාත්‍රී කාලයේ. මේ නිසා පාසල් වැඩත් බාහිර පංතිවල වැඩත් අතපසු වුනේ නැහැ. ඔවුන් මේ තරමින් ඉදිරියට ගෙන ඒමට උදව් කළ සෑම දෙනෙක්ටම ස්තූතිවන්ත වෙනවා” එරන්දි, සුපුන සහ හිරුණගේ ආදරණීය මෑණියන් නිපුනිකා ගුණසිංහ මහත්මිය පැවසුවා ය. 

“මමත්, මගේ වැඩිමල් මල්ලි සුපුනත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දුනීසියාවේ පැවති ආසියානු ශූරතාවලියට සහභාගී වුනා. ඒ වගේම ඔහුත් සමඟ ලෝක විශ්වවිද්‍යාලයීය තරගාවලිය ද නියෝජනය කළා. මගේ පොඩි මල්ලි, හිරුණ ද දැන් දක්ෂතා අතර ඉන්නේ. මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා, අපි තිදෙනාටම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියක් සංචාරය කරන්න” එරන්දි පැවසුවා ය. 

ඔවුන්ගේ එම බලාපොරොත්තුව සඵල වේවායි ThePapare.com හී අප ද සුබ පැතුම් එක් කරමු. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<