ශ්‍රී සුමංගලයින් නොකඩවා 5 වැනි වරටත් එක්දින ශූරයින් වෙයි

රන් මහා සටන - එක්දින ක්‍රිකට් තරගය

388

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර පැවැත්වෙන රන් මහා සටන ක්‍රිකට් තරගාවලියේ 29 වැනි එක්දින මහා තරගය ඊයේ (31) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා.

එම තරගයෙන් ලකුණු 99ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් මොරටු මහා විද්‍යාලයේ නායක මදුර ගිම්හාන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී සුමංගල විද්‍යාලය පන්දුවාර 49කුත් පන්දු 4ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 218ක් ලබාගැනීමට සමත් වුනා.

එහි දී සුමංගල ආරම්භක පිතිකරු දුරංක සිල්වා (ලකුණු 45) ඔවුන්ගේ ඉනිමට හොඳ ස්ථාවර ආරම්භයක් ලබා දුන්නා. පන්දු 38ක් තුල වාර්තා වුනු දුරංකගේ වේගවත් ඉනිමට 4 පහර 7ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනු අතර සෙනිර ලෙත්මින් සහ ප්‍රභාෂ් ජයසේකර පිළිවෙළින් ලකුණු 42ක් සහ ලකුණු 38ක් ලබාගෙන ඔවුන්ගේ ලකුණු සටහන සවිමත් කළා. හේෂාන් ජයලත් ලකුණු 35යි.

පන්දු යැවීමේ දී ශ්‍රී සුමංගල විද්‍යාලයට යම් මට්ටමක හෝ අභියෝගයක් ලබා දුන් මදුර ගිම්හාන් සහ මලිත් රූපසිංහ කඩුලු 3 බැගින් දවාගෙන දස්කම් අතරට පැමිණියා.

ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය මොරටු මහා විද්‍යාල ඉනිම පන්දුවාර 39කුත් පන්දු 2ක් තුල ලකුණු 119කට සීමා කිරීමට මන්මිත දුල්රන් ඇතුළු සුමංගල පන්දු යවන්නන් සමත් වුනා.

මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් යම් මට්ටමකින් හෝ පිතිකරණයෙන් සාර්ථක වුනු ඉසුරු නිදර්ශන, සුකිත දෙව්තිලින සහ මලිත් රූපසිංහ පිළිවෙළින් ලකුණු 28ක්, ලකුණු 26ක් සහ ලකුණු 26ක් ලබා ගත්තා.

දුල්රන්ගේ දස්කම්වලට අමතරව විදූශ පීරිස් සහ විශ්ව ලහිරු කඩුලු 2ක බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.

ඒ අනුව 29 වැනි වරට පැවැත්වුණු මේ රන් මහා සටනේ එක්දින තරගය නොකඩවා 5 වැනි වරටත් ජය ගැනීමට ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් සමත් වුනා.

ශ්‍රී සුමංගල විද්‍යාලය – 218 (49.4): දුරංක සිල්වා 45, සෙනිර ලෙත්මින් 42, ප්‍රභාෂ් ජයසේකර 38, හේෂාන් ජයලත් 35, මදුර ගිම්හාන් 3/42, මලිත් රූපසිංහ 3/43, සුකිත දෙව්තිලින 2/19, මහිත් මෙත්දිනු 2/48.

මොරටු මහා විද්‍යාලය – 119 (39.2): ඉසුරු නිදර්ශන 28, සුකිත දෙව්තිලින 26, මලිත් රූපසිංහ 26, මන්මිත දුල්රන් 5/29, විදූශ පීරිස් 2/17, විශ්ව ලහිරු 2/26.

ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 99ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<