ශ්‍රී ලංකා රග්බි ආයතනයත්, පාසල් රග්බි සංගමයත් අත්වැල් බැඳගනියි

477
Sri Lanka Rugby & SLSRFA

ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාවේ අධිකාරීත්වය දරන ප්‍රමුඛතම ආයතන දෙක, වසර ගණනක සිට පැවත එන දුරස්ථභාවය ඉවතලමින් සහයෝගයෙන් ක්‍රියාකිරීමේ තීරණයකට එළඹීම මෙරට රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ගත් උද්යෝගිමත් පියවරකි. ශ්‍රී ලංකා රග්බි ආයතනය (පෙර – ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය, SLRFU ) සහ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය එක්ව, අනාගතය වෙනුවෙන් මෙරට රග්බි ක්‍රීඩාව ඔසවා තැබීම උදෙසා 10 දෙනෙකුගෙන් යුත් සම කමිටුවක් පත්කොට ඇත.

පසුගිය ලිපි: යලිත් ස්වර්ණමය යුගයක් වෙත නෙත් යොමන කන්ද උඩරට රග්බි බල කඳවුර

ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් පාසල් රග්බි තරඟාවලියේ අධිකාරීත්වය පැහැරගනු ඇති බවට පල වන අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා පසෙක තැබූ විට නිගමනය කළ හැකි වන්නේ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් පාසල් රග්බි තරඟාවලිය සංවිධානය කරනු ඇති බවත්, උක්ත කමිටුව විසින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ ජාත්‍යන්තර ප්‍රවර්ධනය වෙනුවෙන් දිගුකාලීන දැක්මක් සහිතව කටයුතු කරනු ඇති බවත් ය.

ගෙවුණු කාලයේදී අදාළ සංගම් දෙක අතර විවිධ කරුණු හේතුවෙන් කිහිපවතාවක්ම මතභේධාත්මක තත්වයන් ඇති විය.

මෑතකදී ශ්‍රී ලංකා රග්බි ආයතනයේ දක්ෂතා ප්‍රවර්ධන අධ්‍යක්ෂක විසින් පාසල් රග්බි සංගමයේ වෘත්තීය මට්ටම ගැන ප්‍රශ්න කරමින් චෝදනා එල්ල කරනු ලැබුවේ ආසියානු 20න් පහල ශූරතාවය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේ තරඟය පැවැත්වීම පිළිබඳව ඔවුන් දැක්වූ ඇල්මැරුණු ස්වභාවයෙන් පාසල් ක්‍රීඩකයන්ට අසාධාරණයක් වන බව පවසමිනි. මේ අතර පාසල් රග්බි පාපන්දු සංගමය විසින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව 18න් පහල සත්සාමාජික රග්බි තරඟාවලිය පැවැත්වීම ගැනද කතාබහක් නිර්මාණය විය.

ශ්‍රී ලංකා පාසල් රග්බි තරඟාවලි අතුරින් වැඩිම ප්‍රේක්ෂකාර්ෂණයට ලක්වන 19න් පහල ලීග් තරඟාවලියේ “B” කාණ්ඩයේ තරඟවලට පවා ඉහල ප්‍රතිචාර ලැබී තිබිණි. කෙසේ වෙතත් නොයෙක් පාසල් සමඟ විකල්ප ක්‍රියාමාර්ග වලට එළඹුණු පාසල් රග්බි සංගමයට අවසානයේදී නතරවන්නට සිදුවූයේ අධිකරණයෙනි. පාසල් රග්බි සංගමය මුහුණ පෑ නොයෙකුත් ගැටළු හමුවේ ශ්‍රී ලංකා රග්බි ආයතනය ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත්වී ඇත.

අදාළ අර්බුදයන් වෙනුවෙන් පිළියම් සෙවීමට සංගම් දෙකෙන් 5දෙනා බැගින් නියෝජනය වන 10 දෙනෙකුගෙන් යුත් කමිටුවට පැවරී ඇත. ඒ සමඟම 14න් පහල සහ 20න් පහල කණ්ඩායම් වල සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම ගැන ද ප්‍රමුඛතාවය දී කටයුතු කිරීමට ඔවුනට සිදු වී ඇත්තේ ශ්‍රී ලංකා සත්සාමාජික සහ පහළොස්දෙනාගෙන් යුත් ජාතික කණ්ඩායම් වලට ක්‍රීඩකයන් නිර්මාණය කරන ප්‍රධාන මූලයන් ඒවා වන බැවිනි. ජාතික කනිෂ්ඨ රග්බි ක්‍රීඩාවේ ගුණාත්මකභාවය ඉහලට ගෙන ඒම පිළිබඳවද නව සම කමිටුව විසින් අවධානය යොමුකරනු ඇත.

මෙවන් තීරණයන් කලකට පෙර ගත යුතුව තිබුණත් “පෙරළුණු පිට හොඳයි” කියන්නාක් මෙන් රග්බි ක්‍රීඩාවට පෙම්බඳින ඔබ/අප සියළු දෙනාම බලාපොරොත්තු වන පරිදි ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ජාත්‍යන්තර තලය වෙත ඔසවා තැබීම හා එහි මීළඟ මට්ටම වෙත ළඟාවීම සඳහා නව සම කමිටුව ක්‍රියා කරනු ඇතැයි විශ්වාසයෙන් පසුවෙමු.

තවත් රග්බි ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට