පිට පිට ශතක ත්‍රිත්වයක් වාර්තා කළ වේල්ස් කුමරුවා

1632

මේ වන විට ක්‍රියාත්මක වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පිට පිට තරග ත්‍රිත්වයක දී ශතක 3ක් වාර්තා කිරීමට මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ තරිඳු අමරසිංහ සමත් වුනා.

වමතින් පිත්ත හසුරුවන තරිඳුගේ ශතක ත්‍රිත්වය වාර්තා වෙන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට, කොළඹ නාලන්දා විද්‍යාලයට සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිවයි.

ගොඩක් සතුටු වෙනවා ඒ වගේ දක්ෂතාවක් අතරට එන්න ලැබීම ගැන. පසුගිය කාලයේ පුහුණුවීම්වල දී ගොඩක් මහන්සි වුනා. පුහුණුකරුවන්, සහෝදර ක්‍රීඩකයන් අපි හැමෝම එක වගේ වෙහෙසුණා. ඒත් එක්ක ම විද්‍යාලය පැත්තෙන් වගේ ම අපේ ක්‍රීඩකයන්ගේ දෙමාපියන්, හිතවතුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඔවුන් දැක්වූ සහයෝගයට ස්තුතිවන්ත වෙනවා. මම තනිව මේ දක්ෂතාව කළත්, ඔවුන් සියලු දෙනා ම ඒ පිටුපස සිටිනවා,” තරිඳු අමරසිංහ මෙම කඩඉමට ළඟා වීම සම්බන්ධයෙන් ThePapare.com සමඟ පැවසුවා.

රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී තරිඳු පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 123ක් ලබා ගත් අතර නාලන්දා විද්‍යාලය සමඟ නාලන්දා විද්‍යාලයීය පිටියේ දී පැවති තරගයේ දී තරිඳු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 152ක්. ඒ සඳහා ඔහු පන්දු 108කට මුහුණ දුන් අතර හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් ඊට ඇතුළත්.

අනතුරු ව ඩී. එස්. සේනානායක විද්‍යාලය සමඟ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය පිටියේ දී පැවති තරගයේ දී පන්දු 171කට මුහුණ දුන් තරිඳු හතරේ පහර 22ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 174ක් ලබා ගත්තා.

මෙම ශතක ත්‍රිත්වයට අමතරව, තරිඳු කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව ලකුණු 86ක්, කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහිව ලකුණු 61ක් සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 50ක් ඇතුළත් ව මේ දක්වා මෙම තරග සමයේ දී තරග 6ක  ඉනිම් 11ක දී ලකුණු 704ක් වාර්තා කරගනිමින් සිටිනවා. එහි සාමාන්‍ය 70.4ක්.

කණ්ඩායමේ නායක ඔමේෂ් මෙන්ඩිස් ඇතුළු සෑම කෙනෙක්ගේ ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේ ම කණ්ඩායම පුහුණු කිරීමේ සිට පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ගෙන යන සෑම කෙනෙක්ගේ ම සහයෝගයත් උපරිමයෙන් ම මට ලැබෙනවා. ඒ සහයෝගයත් සමඟින් මෙවර තරගාවලියේ දී ඉතා ඉක්මනින් ම ලකුණු 1000 වාර්තා කරමින් පාසලට ගෞරවයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා,” තරිඳු පවසනවා.

තරිඳුගේ ගම පිළියන්දල. පිළියන්දල සිට මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලය වෙත තරිඳු යොමු කරන්නේ ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් කිරීමේ අභිලාශයෙන් බැව් තරිඳුගේ පියා චාමර අමරසිංහ පවසනවා.

පුතාව පුංචි කාලේ සිට ම ක්‍රිකට් ක්‍රීඩාව යොමු කරන්න ඕන කියන ආසාව තිබුණා. ඒත් පවතින ආර්ථික තත්ත්වයත් සමඟ ඒක දිනෙන් දින ම පසුබැස්සා. එහෙම වුනත් පුතා ගෙදරත්, ගමේ සම වයසේ අය සමඟත් දිනපතා ටෙනිස් බෝල් ක්‍රිකට් සෙල්ලම් කළා. මමත් ඒ ගොඩක් වෙලාවට සහභාගී වෙලා මම දන්න කියන දේ යාන්තම් කියලා දෙනවා,” තරිඳුගේ පියා ThePapare.com සමඟ පැවසුවා.

තරිඳුලාගේ ගෙදර සිව්දෙනෙක්. පියා වෘත්තියෙන් මිකැනික්වරයෙක්. මව එම්. ඩබ්ලිව්. ලසන්ති, ගෘහණියක් ලෙස කුටුම්භයේ වැඩ කටයුතු නොපිරිහෙළා ඉටු කරනවා. නැගණිය රනිති අමරසිංහ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගනුම ලබනවා.

මේ සියලු දෙනාගේ ජීවිත සරි වෙන්නේ තරිඳුලාගේ පියාගේ රැකියාවෙන්. වත්තේ කොනකට වෙන්න තියෙන ඒ පුංචි ගරාජ් ඒකෙ ආදායම අස්ථාවරයි. ලැබෙන විදිහට තමයි ජීවන ගමන සරි කරන්න වෙන්නේ. ඒකයි පුංචි  දවස්වල සිට ම තරිඳු ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන්න තිබුණ බලාපොරොත්තුව දිනෙන් දින ම පසුබසින්නේ.

තරිඳු කවදහරි දවසක දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන එක තමයි තරිඳුගේ පියාගේ එක ම ආසාව වුනේ. ඒකට ගොඩක් බලපාන්නේ ඔහු පාසල් කාලයේ දී මෙන් ම ඊට පසුවත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම.

එහෙත් තරිඳුගේ පියාගේ ක්‍රිකට් කතාව ආර්ථිකයත් සමඟ ඔට්ටු ඇල්ලීමෙන් අහෝසි වෙනවා. දරු දෙදෙනෙක් සමඟ ගෙදර දොරේ අඩු-පාඩුත් පිරිමහගෙන ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන්න තරම් හැකියාවක් නැති බව තේරුම් ගත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නවා. ඒත් තරග නැරඹීමට දැක්වූ දැඩි ලොල් බවේ නම් අඩුවක් වුනේ නැහැ. ඒකට ම හරියන්න කුඩා තරිඳුත් එක් වෙනවා.

හය හතර නොතේරෙන වයසේ සිට ම එහෙන් මෙහෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ තරිඳු ක්‍රිකට් ක්‍රීඩාව අධ්‍යයනය කරමින් නිසි පරිදි පිටියට පිවිසෙන්නේ 2015 වසරේ දී වේල්ස් කුමාර විද්‍යාලයේ ක්‍රිකට් ඇකඩමියත් සමඟ එකතු වෙමින්.

එම අවුරුද්දේ ම තරිඳු වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමට දකුණත් වේගපන්දු යවන්නෙක් ලෙසින් එකතු වෙනවා. ඒත් ඒ අවුරුද්දේ මතක හිටින යමක් කරන්න ඔහුට හැකි වෙන්නේ නැහැ.

දෙවැනි වසරේ දී ආරම්භක තරග කිහිපයේ දී පන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායම හා එක් වෙන තරිඳු හිටි හැටියේ ම ආරම්භක පිතිකරුවෙක් ලෙසින් උසස් වීමක් ලබා ගන්නවා.

කණ්ඩායමේ ආරම්භක පිතිකරු ආබාධයකට ලක් වීම නිසයි මට ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කරන්න ලැබෙන්නේ. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සමඟ පැවති එම තරගයේ දී මම අර්ධ ශතකයක් ලබා ගන්නවා. ඒ අවුරුද්ද ඉවර වෙද්දී මම ලකුණු 300ක් විතර ගහනවා.”

ඉන් අනතුරුව තරිඳුගේ පන්දු යැවීම හැළී පිතිකරු භූමිකාව ඉදිරියට පැමිණෙනවා. ඒ සමඟින් ම 2017 අවුරුද්දේ දී වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ නායකත්වය ද තරිඳුට හිමි වෙනවා.

එම වගකීමත් සමඟ ඔහු මීගමුව ක්‍රිස්තු රාජ විද්‍යාලයට එරෙහිව ලකුණු 171ක්, කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහිව ලකුණු 113ක්, කළුතර විද්‍යාලයට එරෙහිව ලකුණු 128ක් සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට එරෙහිව ලකුණු 101ක් සමඟින් තරගාවලියේ දී ලකුණු 810ක් ලබා ගන්නවා. ඉන් නොනැවතෙන ඔහු තම කණ්ඩායම අනුශූරතා දිනූ කණ්ඩායම දක්වා ද රැගෙන ඒමට සමත් වෙනවා.

වයස අවුරුදු 15න් පහළ පළමු අවුරුද්දේ දී තරිඳු ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 128ත් සමඟින් පාසල් තරගාවලියේ දී ලකුණු 395ක් ලබා ගැනීමට සමත් වෙනවා. එම දක්ෂතා හේතුවෙන් ඔහුට වේල්ස් කුමර – සාන්ත සෙබස්තියන් විද්‍යාලාන්තර රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව පැවැත්වෙන Mini Battle තරගයට ද එක්වීමේ වරම් ලැබෙනවා. එහි දී ඔහු ලකුණු 38ක් ලබා ගන්නවා.

අනතුරුව තරිඳු 2018 වසරේ දී වයස අවුරුදු 15න් පහළ දෙවැනි වසරට ක්‍රීඩා කරමින් කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට එරෙහිව ලකුණු 101ක්, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට එරෙහිව ලකුණු 100ක් සහ කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහිව ලකුණු 115ක් සමඟින් තරගාවලියේ දී ලකුණු 790ක් වාර්තා කරනවා.

එම දක්ෂතාත් සමඟින් ඔහු එම වසරේ දී ද වාර්ෂික Mini Battle තරගයට එක් වෙන අතර එහි දී පළමු ඉනිමේ දී ලකුණු 51ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වෙනවා.

මේ දක්ෂතාත් සමඟින් මට වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වෙමින් මැලේසියා සංචාරයට එක් වීමට වරම් ලැබෙනවා. ඒත් එහි දී මට එතරම් සාර්ථක වෙන්න ලැබුණේ නැහැ. නමුත් කණ්ඩායමක් ලෙස අපි තරගාවලිය ජයග්‍රහණය කළා.”

එම අවුරුද්දේ වේල්ස් කුමාර විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක් වීමට වරම් ලබා ගන්නා තරිඳු, තරග 5ක දී ලකුණු 120ක් පමණ වාර්තා කරනවා.

“2018/19 වසරේ දී තමයි මට වයස අවුරුදු 19න් පහළ තරගාවලිය හරියට Set වුනේ. එම තරගාවලියේ දී මම කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහිව ලකුණු 120ක් ලබා ගනිමින් තරගාවලියේ දී ලකුණු 690ක් ලබා ගන්නවා. එම අවුරුද්දේ ම පළමු වරට රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට වරම් ලබා ගත්තත් සාර්ථක වීමට හැකි වුනේ නැහැ. ඒ ගැන අදටත් ලොකු කනගාටුවක් තියෙනවා,” තරිඳු පවසනවා.

ඉන් අනතුරුව 2019/20 වසරේ දී කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 144ක් සමඟින් තරගාවලියේ දී ලකුණු 600කට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමට තරිඳු සමත් වෙනවා.

එම වසරේ දී රටේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය නොපැවති අතර ඊට පසු වසරේ දී පාසල ක්‍රිකට් තරගාවලියේ පැවතියේ එක්දින තරගාවලිය පමණයි. එහි දී ඔහු තරග 6ක දී ලකුණු 210ක් ලබා ගැනීමට සමත් වෙනවා.

අනතුරුව එළඹෙන්නේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ තරිඳු නායකත්වය දැරූ වසරයි. එහි දී ද පාසල් ක්‍රිකට් තරගාවලිය බාධා මැද පැවති අතර තරිඳු ගේ දක්ෂතා කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව වාර්තා වූ ලකුණු 177කින් සමන්විත ලකුණු 550ක් ඉක්මවා ගියා.

“72 වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී නායකත්වයත් සමඟ ලොකු දෙයක් කරන්න ඕන කියන හැඟීමෙන් හිටියේ. ඒත් පළමු ඉනිමේ දී ලකුණු 66කුත්, දෙවැනි ඉනිමේ දී ලකුණු 24කුත් පමණයි මට ලබා ගන්න හැකි වුනේ. එහෙම වුනත් එක්දින තරගාවලියේ දී ලකුණු 104ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය ද මට දිනා ගැනීමට හැකි වුනා. නායකයෙක් ලෙසින් මා ලැබූ එම කුසලානය මට ගොඩක් වටිනවා.”

තරිඳුගේ පාසල් දක්ෂතා සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිවල 2021 සහ 2022 වසර ද්විත්වයේ දී ම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා ගැනීමට ද ඔහු සමත් වෙනවා.

ඉන් අනතුරුව ඔහුගේ දක්ෂතා යොමු අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලි වෙතයි. එහි දී ගාල්ල ක්‍රිකට් සමාජය නියෝජනය කරන තරිඳු පළමු පෙළ තරග 4ක ඉනිම් 6ක දී ලකුණු 40ක්, List A තරග 11ක දී ලකුණු 321ක් සහ විස්සයි විස්ස තරග 7ක දී ලකුණු 61ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කිරීම මගින් විශාල අත්දැකීම් ලබා ගත්තා. මම හිතනවා, මේ දවස්වල මගේ දක්ෂතාවලට එහි යම් බලපෑමක් ලැබෙන්නත් ඇති කියලා. කොහොම වුනත් දිගින් දිගට ම ආරම්භක පිතිකරුවෙක් ලෙසින් ලකුණු අතර සිටින්නයි මගේ බලාපොරොත්තුව. ඒ මගින් ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර තිබෙන ප්‍රමුඛතම බලාපොරොත්තුව වන්නේ ජාතික කණ්ඩායමට එක් වීම. ඒ වෙනුවෙන් හැකි සෑම උත්සාහක් ම දරනවා,” තරිඳු අමරසිංහ ThePapare.com සමඟ පැවසුවා.

පාසල් පිටියේ දක්ෂතා දක්වන මේ යොවුන් ක්‍රීඩකයාට තවතවත් පැහැබර අනාගතයකට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<