Naseem Shahගේ අම්මා ක්‍රිකට් වලට ආදරය කරපු කෙනෙක් නෙවෙයි, ඒත් පුතාට ආදරය කරපු නිසා ඇය තීරණය කරනවා පුතා ක්‍රිකට් ක්‍රීඩා කරනවා බලන්න. ඒත් දෛවයේ සරදමකට වගේ Naseem Shahට කවදාවත් ම බැරි වුනා අම්මාට පේන්න ක්‍රිකට් ක්‍රීඩා කරන්න.
පාකිස්තානයට මොන දෙයින් අඩුවක් තිබුනත් වේගපන්දු යවන්නන්ගේ අඩුවක් තිබිලා ම නැති තරම්. කාලයෙන් කාලයට වේගය සහ දෝලනය දෙකෙන් ම පරිපූර්ණ වුනු තරුණයින් පාකිස්තාන ක්‍රිකට්වලට එනවා. සමහරු කාලයක් කණ්ඩායමේ රැඳෙනවා, සමහරු අතර මැදින් හැලෙනවා. ඒ මොනවා වුනත් පාකිස්තාන වේගපන්දු බල ඇණියේ ප්‍රභලත්වය නම් කවදාවත්ම අඩු වුනේ නැහැ.
ඒ වගේ වේගපන්දු බල ඇණියකට වයස අවුරුදු 17ක් පිරෙන්නත් පෙර එකතු වෙන්න ලැබෙන්න තරම් හැකියාවක් Naseem Shah සතුව තිබුණා.
යොවුන් ක්‍රීඩකයකුට ලැබිය හැකි සිහින ආරම්භයක් ලබා ගත් Naseem
2003 පෙබරවාරි මාසේ 15 වැනිදා පාකිස්තානයේ Khyber Pakhtunkhwa හිදී උපත ලබන Naseem තමන්ගේ නව යොවුන් වියේ දී ම පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කරන්න වරම් ලබන්න සමත් වෙන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාව දීම ක්‍රීඩා කරමින්.
ඒ වෙද්දී Naseemගේ වයස සටහන් වෙලා තිබුණේ අවුරුදු 16යි දින 279ක් විදිහට. ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් හිමි කර ගත් 9 වැනි ළාබාලතම ක්‍රීඩකයා විදිහට වාර්තා අතරට තමන්ගේ නම එකතු කරන්නත් 2019 නොවැම්බර් 14 වැනිදා Naseem Shah සමත් වෙනවා.
ඒ තරගයේ දී තමන්ගේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් කඩුල්ල විදිහට Naseem විසින් Dawid Warnerව දවා ගන්න සමත් වෙනවා.
Naseemට වයස අවුරුදු 16යි දින 307ක් වෙද්දී ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානයේ කරච්චි වල දී කඩුලු පහක් බිඳ හෙළන්න සමත් වෙනවා.
ඒ කඩුලු 5 ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තවත් වාර්තා ලැයිස්තුවකට ඔහුගේ නම එකතු කරන්නේ ටෙස්ට් ඉනිමක කඩුලු පහක් බිඳ හෙලන්න සමත් වුන ලොව දෙවැනි ළාබාලතම ක්‍රීඩකයා (සහ ලොව ළාබාලතම වේගපන්දු යවන්නා) විදිහට.
ඊටත් අමතරව ඔහු 2020 වර්ෂයේ දී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගයක දී කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් එවැනි දස්කමක් පෑ ළාබාලතම ක්‍රීඩකයා බවට පත් වෙන්නත් සමත් වෙනවා.
තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය ආරම්භයේ දී ම, ඒ කියන්නේ අඩුම තරමේ තමන්ට වසය අවුරුදු 17ක් සම්පූර්ණ වෙන්නත් කලින් Naseem Shah තමන් කවුද, තමන්ගේ අනාගතය මොන වගේ වේවි ද කියලා මුළු ලෝකයට ම පෙන්වන්නේ ඒ විදිහට.
ඒත් ඔහු මේ දස්කම් දක්වන කාල සීමාව අපි නොදැන හිටියාට Naseem Shahට ඒ තරම් ම පහසු කාලයක් වුනේ නැහැ.
අවශ්‍ය ම තැනදියි ඔහුට අම්මාව මග හැරෙන්නේ
මොකද Naseem ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලබන්න ඔන්න මෙන්න තිබුණු මොහොතේ දී ඔහුගේ මව හදිසියේ ම මිය යනවා.
2019 වර්ෂයේ දී සිදු වෙන මෙම කණගාටුදායක සිදුවීම පිළිබඳව තමන්ගේ අත්දැකීම Naseem Shah විසින් Nasser Hussain සමඟ මේ විදිහට බෙදා ගන්නවා.
“මම මගේ අම්මට ගොඩක් ළඟින් හිටපු කෙනෙක්. නමුත් වයස අවුරුදු 12 දී මම ක්‍රිකට් නිසා ගෙදරින් පිටවෙලා ලාහෝර් වෙත ආවා.
පසුව මගේ මංගල තරගයට කැඳවීම් ලැබුණා (අවුරුදු 16 දී), ඇය (අම්මා) මට තරගයට පෙර දවසේ දුරකථන ඇමතුමක් දුන්නා. මම එයාට කිවුවා ‘හෙට මගේ මංගල තරගය (පාකිස්තානය වෙනුවෙන්).’ එයා ටීවී බලන කෙනෙක් නෙවෙයි. එයාට ක්‍රිකට් ගැන තේරුමකුත් නැහැ. ඒත් මම එයාට කිවුවා ‘ඔයා හෙට තරගය බලන්න ඕන, මොකද මම හෙට ටීවී එකේ ඉන්නවා’ කියලා.
එයාට ගොඩක් සතුටු හිතුණා, එයා කිව්වා එයා මැච් එක බලන්න ලාහෝර් වලට එන්නම් කියලා. පසුවදා උදේ මම නින්දෙන් ඇහැරෙද්දී, කණ්ඩායමේ කළමණාකාරවරයා ඇවිත් මට කිවුවා ‘ ඔබේ මව මිය ගිහින්’ කියලා.”
(ඒ වෙද්දී Naseem Shah ඔහුගේ සහෝදරයා එක්ක ලාහෝර් වල ජීවත් වුනේ, මැච් එක රූපවාහිනියෙන් සජීවී ව බලන්න තමයි අම්මා ලාහෝර් වලට එන්නම් කියලා කියන්නේ)
ඔහුගේ මව මිය යන්නේ ලාහෝර් වෙත එන ගමන අතරතුර බවයි මාධ්‍ය වාර්තාවල සටහන් වෙලා තියෙන්නේ.
මේ සිදුවීම වෙන්නේ 2019 දී. Naseem Shah විසින් මේ සිදුවීම ගැන මාධ්‍ය හමු කිහිපයක දී ම අදහස් දක්වලා තියෙනවා. ඒ සමහර තැන්වල දී ඔහු කියන්නේ තමන්ගේ මංගල ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරන්න පෙර දිනයේ මේ අභාග්‍ය සම්පන්න සිදුවීම වුනා කියලා. නමුත් සිදුවීමට අදාළ කාලයේ මාධ්‍ය වාර්තා එක්ක හොයලා බලද්දී හිතෙන්නේ Naseem මේ කියන දේ වැරදි විදිහට අර්ථ ගැන්විලාවත් ද කියලා.
මොකද සිදුවීමට අදාළ කාලයේ ESPN වෙබ් අඩවිය මගින් මේ සිද්ධිය ගැන වාර්තාවක් පළ කරනවා. ඒ ලිපියේ සඳහන් වෙන විදිහට නම් Naseemගේ මව මිය යන්නේ ඔහුගේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට පෙර නෙවෙයි, ඒ තරගය ආරම්භ වෙන්න සතියකට පමණ පෙර පැවැත්වුණු පුහුණු තරගයකට පෙර දවසේ.
ඒ වෙද්දී ඔහු ඕස්ට්‍රේලියාව වෙත ගිහිනුයි හිටියේ, ඔහු තමන්ගේ පළමු පුහුණු තරගයට සූදානම් වෙමිනුයි ඉඳලා තියෙන්නේ.
“එම සිදුවීම පිළිබඳ දැන ගැනීමත් සමගම Naseem බිඳ වැටුණා, ඔහුට නැවත ගෙදර බලා යන්න අවශ්‍ය වුනා. නමුත් ඒ ගමනට පැය 48කටත් වඩා ගත වෙනවා. නමුත් මරණ ගෙදරට අවසන් කටයුතු පැය 24කට වඩා ප්‍රමාද කරන්න බැහැ. Naseemගේ සොහොයුරන් ඔහුට ඒත්තු ගන්වලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ ඉඳලා රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න කියලා.”
ESPN cricinfo (2019/11/19)
- පිට පිට ශතක ත්‍රිත්වයක් වාර්තා කළ වේල්ස් කුමරුවා
- ගෙවී ගිය 2022 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සොඳුරු මතකයන්
- අවිශ්ක, සදීර, වියස්කාන්ත්, ශෙවෝන් තරු බවට පත් වූ 2022 LPL
- ඇඟිල්ලට වඩා ක්‍රීඩාවට පෙම් කළ ස්ටෝක්ස්!
- අභියෝග හඹා යන නිහඬ ප්‍රහාරකයා “සූරි”
ඒ අනුව දිගටම ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින්න තීරණය කරපු Naseemව එදා උදෑසන ආරම්භ වුන පුහුණු තරගයේ (ඕස්ට්‍රේලියා A කණ්ඩායම සමඟ) පළමු ඉනිමේ පන්දු යැවීමෙන් නිදහස් කරලා තියෙනවා.
නමුත් දෙවෙනි ඉනිමේ දී පන්දුව අතට ගත්තු Naseem එහි දී පන්දුවාර 8 යවමින් එක කඩුල්ලක් බිඳ හෙලන්නත් සමත් වෙලා තියෙනවා.
කොහොම හරි Naseem ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගනිද්දී එදා දුරකතනයෙන් කතා කරද්දී පුතා ව ටීවී එකෙන් බලන්න පොරොන්දු කර ගත්තු අම්මා සදහටම ජීවිතය හැර ගිහින්.
තමන්ගේ ජීවිතයේ වැදගත් ම අවස්ථාවක, තමන්ගේ ජීවිතයේ වැදගත් ම කෙනා තව දුරටත් තමන් වෙනුවෙන් නැහැ කියන හැඟීම දරා ගන්න පුළුවන් මට්ටමේ එකක් නෙවෙයි.
එහෙම වෙලත් Naseem Shah විසින් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය වෙනුවෙන්, රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ හීනය වෙනුවෙන් ඒ හැමදෙයක් ම දරා ගන්නවා.
මෙය කියවන බොහෝ දෙනෙකුට මතක ඇති ඔහු නිමා වුන ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග තරගයේ දී ආබාධයක් සමඟ තමන්ගේ අවසන් පන්දුවාරය නිමා කරන්න ඔහු දරපු වෙහෙස. ඔහුගේ දරා ගැනීමට ඇති හැකියාව මොන තරම් ද කියලා අපිට සරල අධ්‍යනයක් කරන්න ඒ පන්දුවාරයත් ප්‍රමාණවත්.
Naseemගේ හීනයට ඔහුගේ පවුලේ අය පවා සිනහ වෙනවා
Naseem ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයකු වේවි කියලා කිසිම කෙනෙක් විශ්වාස කළේ නැහැ, අඩුම තරමේ ඔහුගේ පවුලේ සාමාජිකයින් වත්.
Naseemගේ පියා මෑත කාලයේ මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙලා තමන්ගෙන් Naseemට දඬුවම් කිරීම් හැර වෙන කිසිම ආකාරයක සහයක් නොලැබුණු බවට ස්වයං විවේචනයක් කර ගන්නවා.
“ක්‍රිකට් සෙල්ලම් කරනවා වෙනුවට අධ්‍යාපනයට අවධානය යොමු කරන්න කියලා මම ඔහුට සෑහෙන්න පහර දීලා තියෙනවා. අපි කවුරුවත් ඔහුට උදව් කළේ නැහැ. ඔහුගේ සහෝදරයා විතරයි රහසින් මුදල් දෙමින් ඔහුට උදව් කළේ.
ඔහුගේ මව ජීවතුන් අතර ඉඳිද්දී ඔහු ඇයට නිතරම කිවුවා ‘මම පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කරනවා’ කියලා. අපි ඔහුට හිනා වුනා කොහොමද Dir වල ඉන්න කෙනෙක් (ඔවුන්ගේ උපන්ගම) පාකිස්තාන කණ්ඩායමට එකතු වෙන්නේ කියලා.
ඔහු ඇය ගැන හිතමින් ගොඩක් අඬනවා. ඔහු කියනවා ‘අම්මා හිටියා නම් මම පාකිස්තානයට ක්‍රීඩා කරනවා බලලා ගොඩක් සතුටු වේවි’ කියලා.”
Naseemට ඔහුගේ මවගේ වියෝව විශාල බලපෑමක් එල්ල කරනවා. ඒක මුල් කාලයේ ඔහුගේ ක්‍රීඩා ජීවිතයට පවා බලපෑමක් එල්ල කරනවා.
ඔහු තමන්ගේ මවගේ වියෝවෙන් පසුව ගෙවුන කාලය පිළිබඳ මතකය මේ විදිහට අවදි කරනවා.
“ඊළඟ මාස හයත් – අටත් අතර කාලයේ මම ගොඩක් පීඩා වින්දා. කවුරු වත් ඔබ ඇතුලාන්තයෙන් විඳින දේවල් ගැන හිතන්නේ නැහැ. මම ගොඩක් බෙහෙත් ගන්න පුරුදු වුනා.
මම මගේ අම්මාව හැම තැනකම දකින්න පටන් ගත්තා!
මම ඇය ගැන ගොඩක් හිතන්න ගත්තා.
ඔබ පාකිස්තානයට ක්‍රීඩා කරද්දී හැමෝම ඔබෙන් දක්ෂතා බලාපොරොත්තු වෙනවා. ඒ කාලය ඇතුළේ මම ගොඩක් ආබාධවලට ලක් වුනා. ඒක ගොඩක් අමාරු කාලයක් වුනා. නමුත් මම ඒකෙන් දේවල් ඉගෙන ගත්තා. දැන් මම ශක්තිමත්.
පාකිස්තානය වෙනුවෙන් මගේ මංගල තරගය ක්‍රීඩා කරපු දවස තමයි මගේ ජීවිතයේ අසීරුතම දවස. දැන් මම හොඳින් ක්‍රීඩා නො කරනවා නම් මට ඒක කළමනාකරණය කර ගන්න පුළුවන් මොකද මම දන්නවා ඒක කරන විදිහ.”
Naseem තමන්ගේ අතීත මතකයන් ආවර්ජනය කරන්නේ ඒ විදිහට.
ඔහුට තමන්ගේ ජීවිතයේ අසීරුතම දවස් ගත කරන්න සිද්ධ වෙලා ඉවරයි, දැන් ඔහුට ආයෙත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා නම් වෙන්නේ තමන් පුරුදු වුන අසීරු පරිසරයක කාලය ගත කරන්න විතරයි.
අවුරුදු 19ක් වෙද්දී මනුස්සයෙකුට ජීවිතයේ ලැබෙන්න අවශ්‍ය කටුකම අත්දැකීම්වලින් ප්‍රමාණයක් විඳින්න වුන Naseem Shahගෙන් අපට අනාගතයේ පාකිස්තානය බිහි කළ තවත් විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකු දකින්න පුළුවන් වේවී සමහර විට.
අපි ප්‍රාර්ථනා කරමු තව කාලයක් පුරාවට පාකිස්තාන වේගපන්දුවේ පුරුකක් වෙලා ඉන්න ඔහුට පුළුවන් වෙන්න කියලා.
අපේ ප්‍රාර්ථනය වගේම, ඊටත් ඉහළින් ඔහුට හැමදාටම ඔහුගේ “අම්මා”ගේ ආශීර්වාදය හිමි වේවි!
මවකගේ ආශීර්වාදය කියන්නේ ඔබේ ජීවිතයේ ලැබිය හැකි ඉහළම උරුමයක්!
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<