ඔලිම්පික් යන්න දොරට තට්ටු කරන ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු

2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල

523

ලොව ප්‍රධානතම ක්‍රීඩා සැණකෙළිය ලෙස සැලකෙන සිව් වසරකට වරක් පැවැත්වෙන ගිම්හාන ඔලිම්පික් තරගාවලියේ 32 වැනි අදියර ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වීමට ඇත්තේ තවත් මාස දෙකකට නොඅඩු කාලයකි. 

ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රධානතම සිහිනය ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කිරීම වන නමුත්, රටවල් 200කට අධික සංඛ්‍යාවක් සහභාගී වන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීම පහසු කටයුත්තක් නෙවෙයි.

මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට ක්‍රීඩකයන්ට හිමිව ඇත්තේ දින 50කටත් අඩු කාලයක් නිසාවෙන් සියලූම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ දිනවල දී තමන්ට හිමි වන අවස්ථාවල දී ඉහළම දස්කම් දැක්වීමට උත්සහ කරමින් සිටී.

දශක දෙකකට අධික කාලයක් ඔලිම්පික් පදක්කම් පිපාසයෙන් පෙළෙන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ දක්වා 2021 ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ඇත්තේ මැතිල්ඩා කාර්ල්සන්, ටෙහානි එගොඩවෙල, මිල්කා ගෙහානි සහ නිලූක කරුණාරත්න යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණයි.

මලල ක්‍රීඩාව නියෝජනය කරමින් මෑත කාලයේ දී මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් ඉහළ දස්කම් දැක්වීමට සමත් වීම නිසාවෙන් ඔලිම්පික් නියෝජනය පිළිබඳව තරමක බලාපොරොත්තුවක් මෙරට ක්‍රීඩාලෝලීන්ට ලැබී ඇති නමුත්, කොරෝනා වසංගතය නිසාවෙන් තරගාවලි හිඟ වීම නිසා ක්‍රීඩකයින්ට ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා ගැනීමට හිමි වන අවස්ථා ඉතා අවම වී තිබෙනවා.

දේශීය මලල ක්‍රීඩා පිටියේ ඔලිම්පික් උළෙලට පෙර පැවති අවසන් තරගාවලිය වන 99 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් බලාපොරොත්තු වූ දස්කම් මට්ටමට පැමිණීමට සමත් වුනේ නැහැ.

ඒ නිසාවෙන් මලල ක්‍රීඩාවේ ඔලිම්පික් බලාපොරොත්තු තරමක කඩවීමක් පෙන්නුම් කළත්, ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව අවසන් වීමට තවත් දින 26ක් ඇති නිසාවෙන් තවමත් එයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාවක් ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපයක් හඳුනා ගත හැකි.

කාන්තා 3,000m බාධක දිවීම – නිලානි රත්නායක 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2021 ඔලිම්පික් වරම් දිනා ගැනීමට ආසන්නතම ක්‍රීඩිකාව ලෙස නිලානි හඳුන්වන්න පුළුවන්. මීටර් 3,000 බාධක දිවීමේ ඉසව්වේ වර්තමානයේ ඉහළ දස්කම් දැක්වීමට සමත්ව ඇති නිලානි ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදයට අනුව ලකුණු 1190ක් ලබා ගනිමින් 34 වැනි ස්ථානයේ පසු වේ.

මෙම ඉසව්ව සඳහා ප්‍රසාද ලකුණු සටහනට අනුව ක්‍රීඩිකාවන් 45 දෙනෙකු තෝරාගැනීමට නියමිත අතර අවසන් ක්‍රීඩකයා ලබා ගත යුතු ප්‍රසාද ලකුණු ගණනට වඩා නිලානි ප්‍රසාද ලකුණු 24ක් ලබා ගනිමින් ඉදිරියේ පසුවනවා. 

නිමා වූ ජාතික ශූරතාවයේ දී දැක්වූ දස්කම් නිසාවෙන් නිලානි මෙම ලකුණු සටහනේ 32 වැනි තැනට පැමිණීමට සමත්වූවත් ජාත්‍යන්තර පිටියේ තරගාවලි ආරම්භ වී අනෙකුත් ක්‍රීඩිකාවන් දස්කම් දැක්වීමට සමත් වූ නිසා ඇයට නැවතත් 34 වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදු වුනා.

නමුත් ඇය තවමත් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය සීමාවේ රැඳී සිටීමට සමත්ව ඇති නමුත් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව අවසන් වීමට පෙර ඇයට තවත් තරගාවලියක් ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් බොහෝ විට හිමිවන්නේ නැහැ.

නමුත්  මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව බොහෝ තරගාවලි සඳහා ඇතුළත් නොවීම නිසාවෙන් ඉදිරි දින කිහිපයේ දී ප්‍රසාද ලකුණු සටහනේ විශාල වෙනසක් සිදු නොවේ යැයි අපේක්ෂා කළ හැකියි.

ඒ අනුව ඉදිරි දින 26 දී අනෙකුත් ක්‍රීඩිකාවන් දක්වන දස්කම් මත නිලානිගේ ඔලිම්පික් සිහිනය රඳා පවතින අතර ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලසීමාව අවසන් වීමට පෙර නිලානි හට තවත් තරගයකට එක්වීමට අවස්ථාවක් ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට හැකිවුවහොත් නිලානිගේ ඔලිම්පික් අසුන තහවුරු කර ගැනීමට හැකියාව හිමිවනු ඇත. 

පිරිමි මීටර් 100 ඉසව්ව – යුපුන් අබේකෝන් 

පසුගිය මසදී මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව නැවතත් අලුත් කළ යුපුන් අබේකෝන් මෑත කාලයේ මෙරට කෙටිදුර ධාවන පිටියේ බිහි වූ ඔලිම්පික් බලාපොරොත්තුවක් ලෙස ද හඳුන්වන්න පුළුවන්.

අවසන් වරට ඔහු සහභාගී වූ තරගාවලියේ දී තත් 10.09ක දස්කමක් සමඟ මෙරට ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් වූ යුපුන් හට ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යෑමට නම් මීටර් 100 ඉසව්ව තත්පර 10.05ක කාලයකින් අවසන් කළ යුතු වෙනවා.

පසුගිය වසරේ සිටම යුපුන් මීටර් 100 ඉසව්වේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වුනත්, ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව ආරම්භ වුනේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට නිසාවෙන් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ප්‍රසාද ලකුණු සටහනේ ඔහුට හිමි වෙන්නේ 60 වැනි තැනයි.

අවසන් තරගාවලියේ දී දැක්වූ දස්කම් නිසා ඔලිම්පික් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ 57 වැනි ස්ථානය දක්වා පැමිණීමට යුපුන් සමත්වූවත්, ජාත්‍යන්තර පිටියේ තරග ආරම්භය නිසා ඔහුට 60 වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදු වුනා.

ප්‍රසාද ලකුණු මත ක්‍රීඩකයන් 56 දෙනෙකු ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිත අතර යුපුන් ප්‍රසාද ලකුණු 1175ක් ලබා සිටී. ප්‍රසාද ලකුණු සටහන අනුව සුදුසුකම් ලබන අවසන් ක්‍රීඩකයා සහ ඔහු අතර පරතරය ලකුණු 3ක් පමණි.

ඉතාලියේ වාසය කරමින් තරගාවලිවලට ඉදිරිපත් වීම නිසා යුපුන් හට මෙරට සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩා වැඩි තරගාවලි ගණනකට සහ ඉහළ පෙළේ තරගාවලි ප්‍රමාණයකට සහභාගී වීමට අවස්ථාව හිමි වීම වාසිදායක වේ.

එලෙස අවස්ථාව හිමි වන ඉහළ මට්ටමේ තරගාවලි ද්විතවයක දී තත්පර 10.15කට අඩු කාලයකින් අවසන් තරගය නිමා කිරීමට හෝ පරිසාධන මට්ටම වන තත්පර 10.05 ඉක්මවා යාමට යුපුන්ට හැකිවුවහොත් වසර ගණනාවකට පසු කෙටිදුර ධාවනයෙන් ඔලිම්පික් සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමට යුපුන්ට හැකි වේ.

කාන්තා මීටර් 800 ඉසව්ව – ඩිල්ෂි, නිමාලි සහ ගයන්තිකා 

මලල ක්‍රීඩා පිටියේ වඩාත්ම තරගකාරී ඉසව්වක් වන කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් දිනා ගැනීම පහසු කටයුත්තක් නෙවේ. නමුත් මෑත කාලයේ දී එම ඉසව්වේ මෙරට ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් නිසාවෙන් එක් අයෙකු හෝ එම ඉසව්වෙන් ඔලිම්පික් වරම් දිනා ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි.

එමෙන්ම වර්තමානයේ දී මීටර් 800 කාන්තා ඉසව්වේ ඉහළ දස්කම් දක්වන ජාතික ශූරියන් වන ගයන්තිකා අබේරත්නට සහ නිමාලි ලියනආරච්චිට ඔලිම්පික් ක්‍රීඩක වර්ගීකරණය ඔස්සේ ද සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව තවමත් ඉතිරිව තිබීම විශේෂත්වයක්. 

නිමා වූ ජාතික ශූරතාවයේ දී අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක්වීම නිසාවෙන් මීටර් 800 ජාතික වාර්තාවට හිමිකම් කියන ඩිල්ෂි කුමාරසිංහ හට ප්‍රසාද ලකුණු සටහනේ පසුබෑමකට ලක්වීමට සිදුවීම නිසාවෙන් ඇයට ප්‍රසාද ලකුණු මත ඔලිම්පික් වරම් ලබා ගැනීම එතරම් පහසු දෙයක් නොවනු ඇත.

එමෙන්ම ගයන්තික අබේරත්න ද නිමා වූ තරගාවලියට සහභාගී නොවූ නිසාවෙන් ඇයට ද ස්ථාන කිහිපයක් පිටුපසට යෑමට සිදු වූ නමුත් ඇය තවමත් පළමු ක්‍රීඩිකාවන් 70 අතර රැඳී සිටීමට සමත්ව තිබෙනවා.

ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ක්‍රීඩිකාවන් 48 දෙනෙකුට ඔලිම්පික් වරම් හිමි වීමට නියමිත අතර ජාතික ශූරතාවයේ දී ලද ජයග්‍රහණයත් සමඟ නිමාලි ලියනආරච්චි එහි 55 වැනි තැන දක්වා ඉහළට පැමිණීමට සමත් වුනා. ප්‍රසාද ලකුණු සටහන මත ඔලිම්පික් සුදුසුකම් ලබන අවසන් ක්‍රීඩිකාව සහ ඇය අතර ඇති පරතරය 17ක් (48 වැනි ක්‍රීඩිකාවගේ ප්‍රසාද ලකුණු ගණන – 1173).

ගයන්තිකා අබේරත්න ප්‍රසාද ලකුණු 1140ක් ලබා ගනිමින් 68 වැනි ස්ථානයේ පසුවන අතර ඩිල්ෂි කුමාරසිංහ ප්‍රසාද ලකුණු 1133ක් ලබා සිටී. ප්‍රසාද ලකුණු සටහන මත සුදුසුකම් ලබන ක්‍රීඩක ගොන්නට ඇතුළත් වීමට ඩිල්ෂිට තවත් ලකුණු 33ක් ලබා ගැනීමට අවශ්‍ය වේ.

නමුත් ශ්‍රී ලාංකීක ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ කාලය අවසන් වීමට පෙර තවත් තරගාවලි පිළිබඳව බලාපොරොත්තුවක් තබා ගැනීමට නොහැකිව ඇති නිසා ප්‍රසාද ලකුණු මත සුදුසුකම් ලැබීමට තරමක හෝ අවස්ථාවක් ඇත්තේ නිමාලි ලියනආරච්චි හට පමණි.

ජාත්‍යන්තර පිටියේ ඉහළ පෙළේ තරගාවලි ආරම්භ වී ඇති නිසාවෙන් මෙම ප්‍රසාද ලකුණු සටහන ශීඝ්‍රයෙන් වෙනස් වන නිසාවෙන් මෙම ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකියාවක් පවතින්නේ ඉතා අවම වශයෙනි.

එනමුත් ඔලිම්පික් පරිසාධන සීමාව වන මිනිත්තු 1:59.5ක කඩඉම පසුකරමින් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට මෙම ක්‍රීඩිකාවන්ට හැකියාවක් ඇති නමුත් පරිසාධන කාලය අවසන් වීමට පෙර මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තවත් තරගාවලියට එක්වීමට අවස්ථාවක් හිමි වේ දැයි ප්‍රශ්නාර්ථයකි.

සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව අවසන් වීමට පෙර ක්‍රීඩා තරගාවලි ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට හැකිවුවහොත් මීටර් 800 කාන්තා ඉසව්වේ ඔලිම්පික් අසුනක් පිළිබඳව බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකියාවක් ඇත.

කාන්තා මීටර් 400 – නදීෂා රාමනායක 

2020 දෙසැම්බර් මස නැවත ක්‍රීඩා පිටියට පැමිණීමෙන් පසු නදීෂා රාමනායක අවසන් ජාතික මලල ක්‍රීඩා ශූරතාවයන් ද්විත්වයේම මීටර් 400 ඉසව්වේ ජාතික කිරුළ දිනා ගැනීමට සමත් වුනා.

එම දස්කම් නිසාවෙන් ඇය ඔලිම්පික් ක්‍රීඩක වර්ගීකරණයේ ප්‍රසාද ලකුණු 1156ක් ලබා ගනිමින් 55 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති අතර ක්‍රීඩිකාවන් 48 දෙනෙකුට අවස්ථාව හිමි වන එම වර්ගීකරණයේ 48 වැනි ක්‍රීඩිකාව සහ ඇය අතර පරතරය ප්‍රසාද ලකුණු 17ක්.

එම ඉසව්වේ ඔලිම්පික් පරිසාධන සීමාව තත්පර 51.35ක් වන අතර නදීෂා රාමනායක නිමා වූ ජාතික ශූරතාවයේ දී දැක්වූ දක්ෂතාවය තත්පර 53.32ක්. 

අවසාන කාලසීමාවේ දී දැක්වූ දස්කම් මත නදීෂා හට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට තරමක අවස්ථාවක් පැවතියත්, ඇයට ද පරිසාධන කාලසීමාව අවසන් වීමට පෙර තවත් තරගාවලියකට එක්වීමට ඇති හැකියාව ඉතා අඩුය.

පිරිමි උස පැනීම ඉසව්ව – උෂාන් තිවංක 

ලාංකීය මලල ක්‍රීඩා පිටියේ වර්තමානයේ දී වැඩිම අවධානයක් දිනා ගත් ක්‍රීඩකයා උෂාන් තිවංකයි. උස පැනීම ඉසව්වෙන් දකුණු ආසියානු වාර්තාවක් ද බිඳ හෙළමින් ආසියාවේ පෙරමුණට පැමිණි උෂාන් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට සමත්වෙතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් පසුවේ.

ඇමරිකාවේ පුහුණුවීම් සිදු කරමින් තරගාවලිවලට සහභාගී වන උෂාන් තිවංක වර්තමානයේ දැක්වූ දස්කම් වෙත අවධානය යොමු කරන විට ඔහු ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවමින් ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ද වැඩි ඉඩක් ඇත. මෙවර පරිසාධන මට්ටම දැක්වෙන්නේ මීටර් 2.33ක් ලෙසයි.

සිය අවසාන තරගාවලියේ දී කාලගුණයෙන් එල්ල වූ පීඩනය නිසාවෙන් උෂාන් හට පසුකිරීමට හැකි වූයේ මීටර් 2.17ක උසක් පමණි. නමුත් මීටර් 2.30ක උසක් සාර්ථකව තරණය කිරීමට උෂාන් මීට පෙර සමත්ව ඇති නිසාවෙන් ඔහුට ඔලිම්පික් කඩඉම පසුකිරීමට ඇත්තේ තවත් මීටර් 0.30ක් පමණයි. නමුත් එය එතරම් පහසු දෙයක් නම් නෙවේ.

පරිසධාන මට්ටම ඉක්මවා නොයා ප්‍රසාද ලකුණු සටහනෙන් සුදුසුකම් ලබා ගැනීමට උෂාන්ට ඇති හැකියාව පිළිබඳව බැලීමේ දී වර්තමානයේ දැක්වූ දස්කම් මත ඔහු තවමත් සිටින්නේ 49 වැනි තැනයි.

එම ලකුණු සටහනට අනුව ක්‍රීඩකයන් 32 දෙනෙකුට ඔලිම්පික් වරම් හිමි වන අතර එහි අවසන් ස්ථානයට පැමිණීමට ද උෂාන් තවත් ලකුණු 33ක් ලබා ගත යුතු නමුත් ඇමරිකාවේ ඔහු සහභාගී වූ තරගාවලිය අවසන් වීම නිසාවෙන් උෂාන්ට නැවතත් තරගයක් සඳහා සහභාගී වීමට අවස්ථාවක් හිමි වීමට ඇති අවස්ථාව ඉතාමත් අවමයි. 

99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ උස පැනීමේ තරග තවමත් පවත්වා නොමැති නිසාවෙන් ජුනි 29ට ඉතා ආසන්න දිනයක දී එම තරගය පවත්වා උෂාන් හට එයට සහභාගී වීමට අවශ්‍ය කටයුතු සැලසීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට හැකි වේ නම් එය උෂාන් හට ලැබෙන විශාල අවස්ථාවකි.

ජාතික ශූරතාවයේ දී ක්‍රීඩකයෙකුට හිමි වන ප්‍රසාද ලකුණු ගණන වැඩි වීමත්, එමගින් උෂාන් හට පරිසාධන මට්ටම ඉක්මවා යාමට තවත් අවස්ථාවක් හිමි වීමත් නිසා ඔහු වෙනුවෙන් අවස්ථාවක් සැකසීමට මලල ක්‍රීඩා සංගමයට හැකි වේ නම් උස පැනීම ඉසව්වේ ඔලිම්පික් අසුනක් වෙන් කරවා ගැනීමට මෙරටට හැකි වනු ඇත.

 පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව – සුමේධ රණසිංහ 

ඔලිම්පික් පිළිබඳව කතා කිරීමේ දී සුමේධ රණසිංහගේ නාමය ශ්‍රී ලාංකිකයින්ට එතරම් නුහුරු එකක් නෙවෙයි. ඒ ඔහු 2016 රියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වූ නිසයි.

මෙවර ඔලිම්පික් උළෙලේ හෙල්ල විසි කිරීම ඉසව්වේ පරිසාධන මට්ටම මීටර් 85.00ක් ලෙස දැක්වෙන අතර සුමේධගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය ලෙස දැක්වෙන්නේ 2015 දී වාර්තා කළ මීටර් 83.04ක දුරයි.

නමුත් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදය යටතේ සුමේධ හට දෙවැනි වරටත් ඔලිම්පික් සඳහා සහභාගී වීමට විශාල සම්භාවිතාවක් පවතිනවා. ඔලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීම සඳහා සුදුසුකම් ලැබීමේ ප්‍රසාද ලකුණු මත ක්‍රීඩකයන් 32 දෙනෙකුට අවස්ථාව හිමි වන අතර සුමේධ මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 43 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

සුමේධ මීට පෙර එම සටහනේ 41 වැනි ස්ථානයේ පසුවූවත් නිමා වූ ජාතික ශූරතාවයේ දී දෙවැනි ස්ථානය දක්වා පසුබෑමට ලක්වීම (මීටර් 74.51) සහ ජාත්‍යන්තර තරගාවලි ආරම්භය නිසා ස්ථාන ද්විත්වයක් පසුබැසීමට ඔහුට සිදුව ඇත.

ප්‍රසාද ලකුණු මත සුදුසුකම් ලබා ගන්නා ක්‍රීඩකයන් තුළට පැමිණීමට සුමේධ හට තවත් ප්‍රසාද ලකුණු 26ක් ලබා ගත යුතු නමුත් ඉදිරියේ තරගාවලි නොමැති වීම ඔහුට ද ඇති ගැටලුවයි.

ප්‍රසාද ලකුණු මත සුමේධ හට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට නම් ඉදිරි තරගාවලි ද්විත්වයක අවම මීටර් 82ක දක්ෂතාවයක් දැක්වීමට සුමේධට හැකි විය යුතු අතර එය සුමේධගේ පෞද්ගලික දක්ෂතාවයට වඩා අඩු වන නිසාවෙන් ඔහුට එම කඩඉම පසු කිරීමට ද හැකියාවක් ඇත.

එම නිසාවෙන් ජුනි 29 වැනිදාට පෙර සුමේධ හට තරග වැදීමට අවස්ථාවන් ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට හැකිවුවහොත් සිය දෙවැනි ඔලිම්පික් වරම ලබා ගැනීමට සුමේධ විශාල අවස්ථාවක් හිමි වනු ඇත.

මීට අමතරව නදීකා ලක්මාලි, ශ්‍රේෂාන් ධනංජය, විදූෂා ලක්ෂානි, වරුණ ලක්ෂාන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුටම ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් තවමත් ඉතිරිව පවතිනවා.

විදේශයේ වාසයේ කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැරුණු කොට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් පරිසාධන කාලය අවසන් වීමට පෙර එකදු තරගාවලියක් හෝ හිමි වීම පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ අවිනිශ්චිතව පවතිනවා.

රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ සිට පැමිණීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර ඇති නිසාවෙන් විදෙස් තරගාවලිවලට සහභාගි වීමේ අවස්ථාව ද මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවන්නේ ඉතාමත් අවම වශයෙන්.

එනමුත් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩාවේ ඔලිම්පික් බලාපොරොත්තුව කොරෝනා වසංගතය හමුවේ බොඳ වීමට ඉඩ නොදී ජාත්‍යන්තරයේ පැවැත්වෙන ශ්‍රේණිගත කිරීම් හී පහළ තරගාවලියක් සඳහා හෝ සහභාගී වීමේ අවස්ථාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දීමට මලල ක්‍රීඩා සංගමයට හැකිවුවහොත් මලල ක්‍රීඩාවෙන් ඔලිම්පික් අසුන් ගණන වැඩි කර ගැනීමට හැකි වනු ඇත.

ලිපියෙහි අඩංගු යම් තොරතුරු මාධව සෙනරත් මහතාගේ Facebook පිටුවෙන් උපුටා ගත්තකි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<