ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු 8ක් 2021 ඔලිම්පික් යවන්න සැලසුම්

201

මෙම වසරේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරුවන්, කළමනාකරුවන් ඇතුළු උපරිම පහළොස් දෙනෙකුගෙන් යුත් ශක්තිමත් කණ්ඩායම් සහභාගී කරවීමට ජාතික ඔලිම්පික් කමිටුව සූදානමින් පසුවනවා.

එම ක්‍රීඩක ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ අශ්වාරෝහක ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් සුදුසුකම් ලැබූ Mathilda Karlsson ය. පසුගිය වසරේ දී ඇයට හිමි වූ ඔලිම්පික් වරම තාක්ෂණික හේතුවක් මත අහිමිව ගිය බව වාර්තා වූවත් නීති මාර්ගය ඔස්සේ සටන් වැද සිය ඔලිම්පික් අසුන රැකගැනීමට ඇය සමත් වුනා.

මෙරට නියෝජනය කරමින් දෙවැන්නා ලෙස ඔලිම්පික් වරම් ලබා ගන්නට ජිම්නාස්ටික් ක්‍රීඩික මිල්කා ගෙහානි සමත් වූ අතර එම ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ඔලිම්පික් වරම් දිනා ගත් මුල්ම අවස්ථාව මෙයයි. 

ඒ අනුව දීර්ඝ කාලයක් ඔස්සේ ක්‍රීඩාවේ නිරතව සිටියත් ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ ක්‍රීඩාවකින් ඔලිම්පික් වරම් ලබා ගැනීමට ජාතික ඔලිම්පික් කමිටුවට හැකි වූ අතර මිල්කා ඉන්දියානු ක්‍රීඩිකා Pranati Nayak අභිබවා ආසියානු කලාපයේ පෙරමුණ ගනිමින් මෙලෙස ඔලිම්පික් වරම් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන් අධ්‍යාපනය ආරම්භ කළ මිල්කා පසුව කොළඹ Methodist විද්‍යාලයට යෑමට කටයුතු කළා. පසුව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ලද ශිෂ්‍යත්වයක් නිසාවෙන් ජපානයේ පුහුණුවකට යෑමට ඇයට වරම් ලැබූ අතර එහි දී ලැබූ පුහුණුව සහ ඇගේ සහජ දස්කම් නිසාවෙන් මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට ඇයට හැකි වුනා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලි කිහිපයකට ද සහභාගී වූ මිල්කා ගෙහානි දේශීය පිටියේ ද ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩිකාවක්. වයස අවුරුදු 08 දී ජාතික කනිෂ්ඨ ශූරිය බවට පත්වූ ඇය (2011 වර්ෂයේ දී) 2014 දක්වා සිය කිරුළ රැකගැනීමට සමත් වුනා.

තවත් ක්‍රීඩා පුවත්:

2016 වසරේ පැවති කනිෂ්ඨ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් හයවැනි ස්ථානය දිනා ගත් ඇය 2017 සහ 2018 වසරවල ජාතික ශූරිය වීමට ද සමත් වුනා. එමෙන්ම 2018 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ද සහභාගී වූ ඇය අටවැන්නා ලෙස තරගාවලිය නිමා කළේ එවැනි දස්කමක් පෑ පළමු ශ්‍රී ලාංකිකයා බවට ද පත්වෙමින්.

එමෙන්ම මෙරට නියෝජනය කරමින් 2018 යොවුන් ඔලිම්පික් උළෙල නියෝජනය කළ ඇය එහි දී කලාපීය වාර්තාවක් ද පිහිටුවීමට සමත් වුනා.

මෙවර ඔලිම්පික් උළෙල සඳහා තෙවැනි වරට සුදුසුකම් ලබා ගත්තේ ස්ථානීය වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල විසිනි.

ජාතික ඔලිම්පික් කමිටුව විසින් මේ පිළිබඳව ජාතික වෙඩිතැබීමේ සම්මේලනයේ සභාපති සමඟින් සාකච්ඡා කර වෙඩි තැබීම වෙනුවෙන් ඔලිම්පික් ස්ථානයක් ශ්‍රී ලංකාවට ඇති බව තහවුරු කර තිබෙනවා.

නායකකන්ද Good Sheppard’s Convent හී ආදි ශිෂ්‍යාවක් වන ටෙහානි එගොඩවෙල වර්තමානයේ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරයි.

මීට අමතරව පිහිනුම් ඉසව්වෙන් ද ස්ථාන ද්විත්වයක් මෙරටට හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර එය එක් ක්‍රීඩකයෙකුට සහ ක්‍රීඩිකාවකට හිමි වීමට ඉඩ තිබෙනවා. 

පිරිමි ස්ථානය මෙරට ප්‍රමුඛ පෙළේ පිහිනුම් ක්‍රීඩකයෙකු වන මැතිව් අබේසිංහ හටත්, කාන්තා ස්ථානය ක්‍රීඩිකා Aniquh Gaffoor හටත් හිමි වීමටත් බොහෝ ඉඩක් ඇත. එනමුත් පිහිනුම් ඉසව්වෙන් තවමත් කිසිවෙකු ඔලිම්පික් සුදුසුකම් ලබා නොමැත.

ඉහත ක්‍රීඩාවලට අමතරව ජූඩෝ/ මල්ලවපොර/ බැඩ්මින්ටන්/ මලල ක්‍රීඩා සහ බර ඉසිලීම වැනි ක්‍රීඩාවන්ගෙන් තවත් ස්ථාන දෙකක් හෝ තුනක් සමඟින් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සකසා ගැනීමට සැලසුම් කර ඇති අතර එයට අශ්වාරෝහක ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබී Mathilda Karlsson ද ඇතුළත් වේ.

ජාතික ඔලිම්පික් කමිටු වෙබ් අඩවියේ පළවූ ලිපියක් ඇසුරෙනි.

>> තවත් ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<