2020 ඔලිම්පික් තරගාවලිය අත්හැර දැමිය යුතු ද?

210

2019 අග භාගයේ සිට මේ දක්වා ‘Coronavirus’ වසංගත තත්වය ජීවිත මිලියන 3.5කට ආසන්න සංඛ්‍යාවක් බිළිගනිමින් සමාජයන් මෙන්ම ලෝක ආර්ථිකය ද දැඩි අර්බුදයකට පත්කර ඇත. 

පසුගිය 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය මෙම වසර දක්වා කල්දැමුනත් මෙවන් පසුබිමක් තුළ ඒ පිළිබඳව තවමත් නිළ ප්‍රකාශයක් නිකුත්ව නොමැත. මේ වන විට පවතින තත්වය අනුව එය සැලසුම් කර තිබූ පරිදි පැවැත්වෙන සේයාවක් දිස්වුනත් සැබවින් ම එය එසේ සිදු කළ යුතු ද?

‘Coronavirus’ වසංගතයට අදාළව ජපානය ද මේ වන විට අර්බුදකාරී තත්වයකට මුහුණ පා සිටින අතර එය පසුගිය සති කිහිපය තුළ තවදුරටත් උත්සන්න වීමත් සමඟ එරට අගනුවර ටෝකියෝ නගරය මෙන්ම තවත් නගර කිහිපයක ම හදිසි තත්වයක් ද මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව ඔලිම්පික් විරෝධී උද්ඝෝෂණ ද  සංවිධානය වෙමින් මෙවර ඔලිම්පික් තරගාවලිය අවලංගු කිරීමට හඬ නගන එරට ජනකාය මේ වන විට දිනෙන් දින ඉහළ යමින් පවතී. 

ජපානයේ ඔලිම්පික් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර ©Getty Images

2019 අග භාගයේ සිට මේ දක්වා ජපානය තුළ වයිරසය ආසාදිත වීමෙන් පුද්ගලයින් 11,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්‍ෂයට පත්ව ඇති පසුබිමක එරට බොහෝ දෙනා ඔවුන්ගේ එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ද දැඩි විරෝධතා එල්ල කර සිටින්නේ එය ලෝකයේ සංවර්ධිත රටවල් අතර සිදු කරමින් පවතින මන්දගාමී ම එන්නත්කරණ වැඩපිළිවෙළවල් අතරින් එකක් ලෙස ප්‍රකාශ කරමිනි. 

තරගාවලිය පැවැත්වීම කෙරෙහි විරෝධතා එල්ල කරමින් සිටින සංවිධාන අතරට ටෝකියෝ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඇතුළත්ව ඇති අතර ඔවුන් අවස්ථා රැසක දීම එරට රජයට බලපෑම් එල්ල කර සිටියේ තරගාවලිය සැලසුම් කර තිබෙන පරිදි පැවැත්වීමට අදාළ ඔවුන්ගේ තීරණය පිළිබඳව යළිත් සලකා බලන ලෙසයි. 

අනෙක් පසින් පසුගිය මාසයක කාලය ඇතුළත ඔලිම්පික් තරගාවලිය කෙරෙහි එරට මහජන මතය ද ඉතා දැඩි ලෙස පහත බැස ඇත. ඒ අනුව පසුගිය දා ඊට අදාළව සිදු කරනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල වලට අනුව 83%ක ජනකායක් ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලි මෙම වත්මන් තත්වය යටතේ පැවැත්වීම කෙරෙහි සිය විරෝධතාවය ප්‍රකාශ කොට ඇත. එම අගය පසුගිය අප්‍රේල් මාසයේ දැක්වුණේ 69% ලෙසයි. 

ආරක්‍ෂාකාරීව තරගාවලිය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ජපාන බලධාරීන් මීට පෙර සිය විශ්වාසය පළකර තිබුනත්, මෑතක දී වසංගත තත්වය තවදුරටත් උත්සන්න වීම හමුවේ එරට අග්‍රාමාත්‍ය Yoshihide Suga මහතා ජනතාව හමුවේ ප්‍රකාශ කර සිටියේ සිය රජය අනෙක් සියල්ල පසෙකලා ඔලිම්පික් තරගාවලිය පැවැත්වීම කෙරෙහි ප්‍රමුඛතාවයක් ලබා නොදෙන බවයි.

නමුත් තරගාවලිය අවලංගු කිරීම තීරණය කිරීමේ බලය ජපාන බලධාරීන් සතු එකක් ද?

ඊට පිළිතුර ඔබ බලාපොරොත්තු වන තරමට සරල හෝ සෘජු එකක් නොවනු ඇත. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ජපාන සංවිධායකයින් අතර පවතින ගිවිසුමට අනුව තරගාවලිය පිළිබඳව තීරණයක් ගැනීමේ බලය පවතින්නේ ඔලිම්පික් කමිටුව සතුව පමණි. 

BBC මාධ්‍ය ජාලය වෙත මේ පිළිබඳව අදහස් දක්වමින් වෘත්තියෙන් ක්‍රීඩා නීතිඥවරයෙකු වන Alexander Miguel Mestre ප්‍රකාශ කර සිටියේ ඊට හේතුව ඔලිම්පික් තරගාවලියේ තනි හිමිකාරිත්වය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සතුව පමණක් පැවතීම බවයි.

අදාළ පාර්ශව දෙක අතර එළඹ ඇති මෙම ගිවිසුම ඉතා සාමාන්‍ය එකක් වුවත් ලෝකය වසංගත තත්වයක් හමුවේ මෙවන් අර්බුදකාරී තත්වයකට මුහුණ පානු ඇතැයි කිසිවෙකු සිතන්නට නැත. ඒ අනුව මෙම ගිවිසුම කඩ කිරීමක් සිදුවීම අනුමාන කළ නොහැකි අතර තරගාවලිය අවලංගු කිරීමට තීරණය කෙරෙන්නේ නම් එය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ජපාන බලධාරීන් අතර ඇතිකරගනු ලබන එකඟතාවයක් හරහා සිදු විය යුතුය. 

කෙසේ නමුත් එවන් තරගාවලිය අවලංගු කිරීමක් හෝ කල් දැමීමක් හරහා එල්ල වන බලපෑම ඉතා ප්‍රබල ය. මන්දයත් ඔලිම්පික් කමිටුවට මෙන්ම ජපාන බලධාරීන්ට ද ඒ හරහා ඩොලර් බිලියන ගණනක සුවිසල් පාඩුවක් අත්විඳීමට සිදු වනු ඇති අතර ඉන් කොටසක් රක්ෂණාවරණ හරහා ආවරණය වුනත් එරට සංචරණ හා සත්කාරක සේවා කර්මාන්තය වැනි අංශයන්ට ඒ හරහා එල්ල වන බලපෑම සුළුපටු නොවේ. 

නමුත් සමස්තයක් ලෙස මේ වන විටත් මෙවර ඔලිම්පික් තරගාවලියට පසුබැසීම් රාශියකට ම මුහුණ දීමට සිදුව ඇත. ලෝක ප්‍රකට ඔලිම්පික් පන්දම් රිලේ විශේෂාංගය අවස්ථාවන් රැසක දීම කල් දැමීමට සිදු වූ අතර අනෙක් පසින් තරගාවලිය අතරතුර ඊට සහභාගී වන තරගකරුවන්ට සහ තරගකාරිනියන්ට නවාතැන් පහසුකම් ලබා දීමට නියමිතව සිටි නගර කිහිපයක් ම ඒ හරහා තවදුරටත් වයිරස ව්‍යාප්තිය වැඩි වනු ඇතැයි සැකයෙන් ඉන් ඉවත් වීමට තීරණය කර ඇත. 

එමෙන්ම ඒ හේතුවෙන් ඇමෙරිකාවේ ජවන හා පිටිය කණ්ඩායම ඔලිම්පික් තරගාවලියට පෙර ජපානයේ දී සහභාගී වීමට සැලසුම් කර තිබූ පුහුණු කඳවුරක් අවලංගු කිරීමට ද පසුගිය සතියේ දී කටයුතු කෙරිණ. තවදුරටත් මෙවර තරගාවලියට සුදුසුකම් ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ම සිය ආරක්ෂාවට අදාළව ඔවුන්ට ඇති බිය පිළිබඳව අවස්ථාවන් කිහිපයක දීම අදහස් පළකර ඇත. 

මෙවන් පසුබිමක් තුළ තරගාවලිය සැලසුම් කර ඇති පරිදි පැවැත්වීමට තීරණය කරන්නේ නම් බොහෝ දුරට එය නැරඹීමට විදෙස් ප්‍රේක්‍ෂකයින් හට අවස්ථාව හිමිනොවනු ඇති අතර අනෙක් පසින් තරගාවලිය නැරඹීමට කිසිඳු ප්‍රේක්ෂකයෙකු ක්‍රීඩාංගණ තුළට ඇතුළත් කරගැනීමකින් තොරව වුව ද තරගාවලිය පැවැත්වීමට සිදු විය හැක. එසේ ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව තරගාවලිය පැවැත්වීමට සිදුවුවහොත් ඒ හරහා එල්ල විය හැකි බලපෑම අප ඔබට විශේෂයෙන් සඳහන් කළ යුතු නැත. 

මේ සියල්ල මධ්‍යයේ බලධාරීන් තවමත් තරගාවලිය පැවැත්වීමට උත්සාහ දරන්නේ ඇයි?

මුදල් ඊට හේතු වී ඇති ප්‍රධාන කාරණයකි. එය මෙහි දී අනිවාර්යයෙන් ම සැලකිල්ලට ගැනීමට සිදු වන බවට කිසිදු සැකයක් නොමැත. නමුත් මෙහි දී ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ මුදල් වලට වඩා භයානක තත්වයකට ය. එහි වැඩි බලපෑමක් එල්ල වන්නේ ජපානයට ය. තරගාවලිය අවලංගු කළහොත් එය ඉතිහාසය තුළ එසේ කිරීමට සිදු වන සිව්වැනි අවස්ථාව වේ. ඒ අනුව පළමු සහ දෙවන ලෝක යුද්ධවල ප්‍රතිඵලයක් ලෙස මීට පෙර 1916, 1940 සහ 1944 යන වසරවල දී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලි අවලංගු කර ඇත.

මීළඟ ඔලිම්පික් ඉසව්ව වන ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2022 වසරේ දී චීනයේ බීජිං අගනුවර යි. ‘Coronavirus’ වසංගතයට අදාළව චීනයේ තත්වය මේ වන විට බොහෝ දුරට සුබදායී මට්ටමක පැවතීමත් සමඟ එම ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනු ඇති බවට කිසිදු සැකයක් නැත. ඒ අනුව මෙම වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය එළඹෙන 2022 වසර දක්වා කල් දැමීමේ හැකියාවක් නොමැත. 

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙල ජපානයේ විශාල ආර්ථික වර්ධනයකට තුඩුදෙන්නට විය. ©Japan Times

මෙහි දී සැලකිල්ලට ගත යුතු තවත් කරුණක් වන්නේ ජපානයේ ආර්ථික තත්වය යි. එය පසුගිය වසර කිහිපය පුරාවට ම ඇණහිටීමකට ලක්ව තිබූ අතර එවන් පසුබිමක් තුළ ඔලිම්පික් තරගාවලිය වැනි සුවිසල් ඉසව්වකට සත්කාරකත්වය ලබාදීම එරට ජනතාවට සුබවාදී ප්‍රතිඵල ළඟා කර දීමට දැඩිව ඉවහල් විය හැක. ඔවුන් මීට පෙර සත්කාරකත්වය ලබා දුන් 1964 වසරේ ඔලිම්පික් තරගාවලියේ දී ද අපට එය මැනෙවින් දැකගත හැකි විය. විශේෂයෙන් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජපානයේ පිබිදීම විදහා දැක්වූ සංකේතයක් ලෙස එම තරගාවලිය ඉතිහාසයට එක්වන්නට විය. 

අවසාන වශයෙන් බලධාරීන් විසින් තරගාවලිය සැලසුම් කර ඇති පරිදි පැවැත්වීමට උත්සාහ දැරීම කෙරෙහි හේතු වී ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ය. ඕනෑම ක්‍රීඩක ක්‍රීඩිකාවක සතු ඔලිම්පික් තරගාවලියක තරග කිරීමේ සිහිනය සැබෑකර ගැනීමට වාසනාව ලැබෙන්නේ අතළොස්සකට පමණි. ඔවුන් එම සිහිනය සැබෑකර ගැනීමට වසර ගණනාවක් මහත් කැපවීමෙන් උත්සාහ දරයි. 

ඒ අනුව තරගාවලිය අවලංගු කිරීම හෝ කල්දැමීම හරහා බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවකට ඔවුන්ගේ එම සිහිනය සැබෑකර ගැනීමේ අවස්ථාව අහිමිව යනු ඇත. තරගාවලිය වටා ගොඩනැඟී ඇති අවිනිශ්චිතතාවය, සුදුසුකම් ලබාගැනීමේ ඉසව් කල්දැමීමට සිදුවීම හා පුහුණු කටයුතු අවලංගු වීම සහ කල්යාම වැනි හේතූන් නිසා මේ වන විටත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට එම සිහිනය කෙරෙහි දැඩි බාධා එල්ල වී ඇත. 

මේ තත්වය ශ්‍රී ලංකා සංචිතයට කෙසේ බලපායි ද? 

මේ වන තෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් තරගාවලියට නිල වශයෙන් සුදුසුකම් ලබා ඇත්තේ මැතිල්ඩා කාල්සන් (අශ්වාරෝහනය) පමණි. ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ද සිල්වා ද බොහෝ දුරට ඊට සුදුසුකම් ලබනු ඇත. උසපැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක ද සුදුසුකම් ලබා ගැනීමේ දක්ෂතාවයට ඉතා ආසන්නයෙන් සිටින ක්‍රීඩකයෙකි. 

කෙසේ නමුත් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම උදෙසා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති නිසා බොහෝ දුරට මෙවර තරගාවලියට ඉදිරිපත් වන ශ්‍රී ලංකා සංචිතය කුඩා එකක් වනු ඇත. 

දිල්ෂි කුමාරසිංහ මෙවර ඔලිම්පික් තරගාවලියට සෘජු සුදුසකම තහවුරු කරගැනීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් එක් අයෙකි.

මේ වන විට දිවයින පුරා ‘Coronavirus’ තෙවැනි රැල්ල පැතිර යාමත් සමඟ ඔවුන්ට පුහුණුවීම් කටයුතුවල නිරත වීමට දැඩි බාධා එල්ල වී ඇති බව නොරහසකි (කාල්සන්, මිල්කා සහ තිවංක තිදෙනා ම පුහුණු වන්නේ විදේශයන් වල වේ). 

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුව ඇති එකම බලාපොරොත්තුව මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබෙන ජාතික ශූරතාවලිය යි. බලධාරීන් දන්වා සිටින අන්දමට මෙවර ජාතික ශූරතාවලියේ දී පවත්වනු ලබන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් සෘජුව සුදුසුකම් මට්ටම තහවුරු කරගත හැකි අන්දමේ ක්‍රීඩා ඉසව් පමණි. ඒ අනුව දිල්ෂි කුමාරසිංහ (මීටර 800) වැනි ක්‍රීඩිකාවන් මෙවර ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට මෙහි දී අවසන් වරට උත්සාහ දරනු ඇත. 

තවත් කියවන්න: 

ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමට දැඩි උද්‍යෝගයෙන් පසුවන බවට කිසිදු සැකයක් නොමැත. නමුත් මෙහි දී තවමත් අපි පිළිතුරු සොයාගත යුතු ගැටලු රැසක් ඉතිරිව පවතී. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හෝ ජාතික ඔලිම්පික් කමිටුව තරගාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ ද යන්න ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

ඔලිම්පික් තරගාවලිය වෙනත් ලෝක ශූරතාවලීන් බඳු නොවේ. එහි විශාලත්වය හරහා පමණක් ම ‘Coronavirus’ වසංගත තත්වයට අදාළ අභියෝග තවත් ප්‍රබල වීම ඔස්සේ සංවිධායකයින් හට ව්‍යාකූල තත්වයකට මුහුණ දීමට සිදුවිය හැක. 

ඒ අනුව මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුව තරගාවලියට එක්වන සම්පූර්ණ ශ්‍රී ලංකා කණ්ඩායමට (මාධ්‍ය සහ නිලධාරීන් ද ඇතුළුව) එක් ස්ථානයක නවාතැන් පහසුකම් සලසා ගැනීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ. නමුත් තරගාවලිය සැලසුම් කර ඇති පරිදි ඉදිරියට යන්නේ නම් එහි දී ඇතිවිය හැකි ඕනෑම තත්වයකට සාර්ථකව මුහුණ දීමට හැකිවන පරිදි ඔවුන් සැලසුම් සකස් කර තිබිය යුතුය. 

සමස්තයක් ලෙස මේ වන විට පවතින තත්වයට අනුව සෑම දෙසකින් ම පාහේ එල්ල වන දැඩි විරෝධතා සහ විවේචන හමුවේ වුවද සූදානම් කර ඇති පරිදි ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අදහස් කර සිටින අතර ඔවුන්ට එය ආරක්‍ෂාකාරීව පැවැත්වීමට හැකිවනු ඇතැයි ඔවුන්ගේ විශ්වාසය යි. කෙසේ නමුත් එය ඔවුන් කෙසේ පවත්වනු ඇත්දැයි දැකබලා ගැනීමට අපට තවදුරටත් බලා සිටීමට සිදුවනු ඇත. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<