කසකස්තාන තරගාවලියට මෙරටින් පහක්

163
5 Sir Lankan Athletes

කසකස්තානයේ අල්මාටි හි පැවැත්වීමට නියමිතව ඇති විවෘත මලල ක්‍රීඩා තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ලෝක මහද්වීපික සංචාරයේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය මෙම මස (ජූනි) 19 සහ 20 යන දෙදින තුළ දී පැවැත්වීමට නියමිතව ඇති අතර බොහෝ විට එම තරගාවලිය ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වන අවසන් අවස්ථාව වනු ඇත.

ඒ අනුව මෙම තරගාවලිය සඳහා නිමාලි ලියනආරච්චි (මීටර් 800), නදීෂා රාමනායක (මීටර් 400), සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), කාලිංග කුමාරගේ (මීටර් 400) සහ උෂාන් තිවංක (උස පැනීම) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීමට නියමිත බව වාර්තා වේ.

මීට පෙර මෙම තරගාවලියට මීටර් 800 ඉසව්ව නියෝජනය කරන යොවුන් ක්‍රීඩිකා ඩිල්ෂි කුමාරසිංහ ඇතුළත් කර තිබුනත්, ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ දී ඇති වූ ආබාධය නිසාවෙන් ඇය එම සංචිතයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

තවත් ක්‍රීඩා පුවත්:

පසුගිය මලල ක්‍රීඩා ශූරතාවයේ දී බලාපොරොත්තු වූ දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොහැකි වීම නිසාවෙන් ඔලිම්පික් සිහිනය සපුරා ගැනීමට ඔවුන්ට මෙම තරගාවලිය ඉතා වැදගත් වේ.

එමෙන්ම සිය අවසාන තරගාවලියේ දී අයහපත් කාලගුණය නිසාවෙන් සාර්ථක දස්කම් දැක්වීමට අපොහොසත් වූ උෂාන් හට ද ඔලිම්පික් පරිසාධන සීමාව වන මීටර් 2.33ක කඩඉම පසුකිරීමට මෙම අවස්ථාව ඉතා වැදගත් වේ. උෂාන්ගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය මීටර් 2.30ක් වේ.

මීට අමතරව මෙම මස 25 සිට 29 දක්වා ඉන්දියාවේ දී පැවැත්වෙන ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආරාධනා කර ඇති බව වාර්තා වූවත් ඉන්දියාවේ පවතින දැඩි අවදානම් කොරෝනා වසංගත තත්වය නිසා එයට සහභාගී වීම ඉතා අවිනිශ්චිත වේ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<