වයස අවුරුදු 17යි; දැනට රටවල් දෙකක් වෙනුවෙන් ක්‍රීඩා කරලා!

Sri Lanka Women's Tour of England 2023

11851

පසුගිය බ්‍රහස්පතින්දා (31) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස වරම් ලබා ගත් Mahika Gaur විසින් එහි දී චමරි අතපත්තුගේ කඩුල්ල බිඳ හෙළීමට සමත් වුනා. 

තවමත් වයස අවුරුදු 17ක් පමණක් වන Mahika විසින් මේ වන විටත් රටවල් ද්විත්වයක් නියෝජනය කරමින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ක්‍රීඩා කර තිබීම විශේෂත්වයක්. 

වයස අවුරුදු 12 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් ඉන්දුනීසියාවට එරෙහිව පළමු වරට විස්සයි විස්ස වරම් දිනා ගත් Mahika විසින් එක්සත් අරාබි එමීර් දේශය වෙනුවෙන් විස්සයි විස්ස තරග 19ක් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කර ගත්තා.  

එහි දී ඇය විසින් කඩුලු 9ක් බිඳ හෙළීමට සමත් වූ අතර, ඉන්පසුවයි ඇය එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස වරම් දිනා ගැනීමට සමත් වුනේ. 

ඒ අනුව මේ වන විට විස්සයි විස්ස තරග 20ක් ක්‍රීඩා කර ඇති Mahika විසින් කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් වී ඇත්තේ 32.00 ක සාමාන්‍යයක් ද සහිතවයි. 

ශ්‍රී ලංකාව එංගලන්තයේ සිදු කරන තරග සංචාරයේ පළමු තරගය ලෙස පැවැත්වුණු මෙම විස්සයි විස්ස තරගයෙන් එංගලන්තය Duckworth Lewis න්‍යාය අනුව ලකුණු 12ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. 

මෙහි දී එංගලන්තය විසින් ලබා දුන් ලකුණු 187ක දැවැන්ත ඉලක්කය හඹා යමින් සිටි ශ්‍රී ලංකා ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වන විට ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 55ක් ලබා ගෙන සිටියා.  

මෙහි දී Mahika විසින් පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කරමින් ලකුණු 16කට එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වූ අතර ඇය විසින් එංගලන්තයට විශාලතම තර්ජනය වීමට ඉඩ තිබූ චමරි අතපත්තුගේ ඉනිම ලකුණු 15කට සීමා කළා. 

මේ අතර Mahika විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් ක්‍රීඩා කරමින් ද මීට පෙර චමරි අතපත්තුව දවා ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයක්. 

2022 වසරේ දී පැවැත්වුණු කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා කණ්ඩායම් අතර පැවැත්වුණු විස්සයි විස්ස තරගයේ දී සිය හොඳම විස්සයි විස්ස පන්දු යැවීම දක්වමින් ලකුණු 21කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ Gaur විසින් එහි දී ද චමරි අතපත්තුගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුනා. 

තවමත් වයස අවුරුදු 17ක් පමණක් වුවත්, ඇයගේ උස සටහන් වන්නේ අඩි 6 අඟල් 3ක් ලෙසයි. ඇය සිය උස ප්‍රයෝජනයට ගනිමින් ඉතා හොඳින් පන්දු යවන බවයි එංගලන්තය නායිකා Heather Knight විසින් තරගයෙන් අනතුරුව සඳහන් කළේ. 

“Mahika ඇගේ මංගල තරගයේ දී ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඇගේ උස නිසා ඇයට නියම පසු දෝලනයක් (Late Swing) ලබා ගන්න පුළුවන්. ඒක හොඳ ආයුධයක්.” 

2006 වර්ෂයේ එංගලන්තයේ දී උපත ලද Mahika පසුව සිය පවුල සමඟ පසුව ඩුබායි වෙත සංක්‍රමණය වී ඇති අතර ඇය එහි දී ICC ඇකඩමිය සමඟ එක් වී ක්‍රිකට් පුහුණු වීම් ආරම්භ කර තිබුණා.  

මෙහි දී ඇයට එවකට එක්සත් අරාබි එමීර් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක සහ පසුව නායිකාව බවට පත් වූ Chaya Mughal හට පන්දු යැවීමට අවස්ථාව ලැබෙන අතර පසුව ඇය වසර අවුරුදු 13 පිරීමටත් ප්‍රථම සිය මංගල විස්සයි විස්ස තරගයට සහභාගී වීමට අවස්ථාව හිමි කර ගත්තා. 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගය අද (02) පැවැත්වීමට නියමිතයි. 

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී  සිටින්න ThePapare.com සමඟින්. 

NDTV Sports ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<