ඩී.එස්‌.අයි. නැවතත් පාසල් වොලිබෝල් පිටියට

421
DSI schools volleyball championship 2016

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, පාසල් වොලිබෝල් සංගමය මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය ඩී. එස්‌. අයි. ආයතනය හා එක්‌ව 16 වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘ඩී. එස්‌. අයි. සුපර් ස්‌පෝර්ට්‌ස්‌ පාසල් වොලිබෝල් ශූරතාවලිය’ වසර දෙකකට පසුව මෙවර මැයි මස 7 වැනිදා සිට ආරම්භ කිරීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.

තරගාවලියට අදාළ දිස්‌ත්‍රික්‌ තරග මැයි මස 7 දා සිට ජුනි මස 6 වැනිදා දක්‌වා පැවැත්වෙන අතර එහි සමස්‌ත ලංකා මට්‌ටමේ ජුනි මස 20 වැනිදා සිට 26 දා දක්‌වාත් එහි අවසන් මහා තරග ජූලි මස 15 හා 16 යන දිනයන්හිදීත් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් මැයි මස 7,8 සහ 9 යන දිනයන්හිදී කළුතර, අනුරාධපුර, මහනුවර, කෑගල්ල, ත්‍රිකුණාමලය,මන්නාරම හා මුලතිව් යන දිස්‌ත්‍රික්‌ක වල තරගයන් පැවැත්වේ.

අනතුරුව පැවැත්වෙන පුත්තලම, පොලොන්නරුව, මාතලේ, බදුල්ල, රත්නපුර, මාතර, අම්පාර, වව්නියාව, යාපනය හා කිලිනොච්චිය යන දිස්‌ත්‍රික්‌ක 9 හි තරග මැයි මස 12,13,14,15 හා 16 යන දිනයන්හිදීද පැවැත්වීමට යෙදී තිබේ.

දිස්‌ත්‍රික්‌ තරගාවලියේ තෙවන අදියර වශයෙන් කොළඹ, කුරුණෑගල, නුවරඑළිය, ගාල්ල හා පුත්තලම යන දිස්‌ත්‍රික්‌කවල තරග මැයි මස 28,29, හා 30 යන දිනයන්හිදීත් එම අවසන් අදියර වශයෙන් ගම්පහ, මොණරාගල හා හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌කවලට අයත් තරග ජුනි මස 3,4,5 සහ 6 යන දිනයන්හිදීත් පැවැත්වෙනු ඇත. ග්‍රාමීය මෙන්ම නාගරික පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්‌ෂතාවන් ඔප්නංවමින් ජාතික තලයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගෙනඒමේ අරමුණින් පැවැත්වෙන මෙම පාසල් වොලිබෝල් තරගාවලිය පළමු වරට 1999 වසරේ කණ්‌ඩායම් 198 කගේ සහභාගීත්වයෙන් පවත්වා ඇති අතර මෙවර එය කණ්‌ඩායම් 3000 සීමාව ඉක්‌මවා තිබේ.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක්‌ පෙරේදා (27 දා) ටොරිංටන්හි පිහිටි ඔලිම්පික්‌ නිවහනේහිදී පැවැති අතර එහිදී අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති එරංදික වැලිඅංගේ මහතා පවසා සිටියේ වසර දෙකකට පසුව පවත්වන මෙම තරගාවලිය නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සඳහා හොඳ අවස්‌ථාවක්‌ කරගන්නා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා ‘ යම් යම් හේතු නිසා මේ තරගාවලිය පැවැත්වෙන්නේ වසර දෙකකට පසුවයි. ඉතිං අපි මේක අවස්‌ථාවක්‌ කරගන්නවා නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සඳහා.

අපිට තියෙන ලොකු ගැටලුවක්‌ තමයි පැවැත්වෙන තරගාවලිවල අඩුකම. ඉතිං අපි බලාපොරොත්තු වෙනවා වසරකට ජාතික මට්‌ටමේ තරගාවලි 6 ක්‌ පවත්වන්න. මේ වන විටත් ඒකට අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යනවා.’ යනුවෙන් පවසා සිටියේය.