ශ්‍රියානි කුලවංශ මව සහ දියණිය සමඟ ගඩා ගෙඩි කැඩූ අතීතයෙන් අනාගතයට

225
Sriyani Kulawansha Mothers Day Feature
 

කාලය යනු ආශ්චර්යයකි. අතීතය, වර්තමානය හෝ අනාගතය කියා එහි වෙනසක් නැත. මේ කාලයන් හී දෝරෙ ගලන සෙනෙහසක් වේ නම් ඒ “අම්මා” ය. අනෙකුත් දේ හී වෙනසක් වූව ද අම්මාගේ සෙනෙහසෙහි වෙනසක් නැත. ජීවිතය පෝෂණය කිරීමට තරම් ඒ ආදරය සවිමත් ය. මව්වරුන්ගේ දිනයේ සමරන්නේ එවන් අම්මාවරුන් ය. 

“අපේ අම්මා යසෝදරා කතාවේ යසෝදරා වගේ, මහාමායා කතාවේ මහාමායා වගේ. බෞද්ධයන් ලෙසින් අපට ඊට ඉහළින් වර්ණනා කළ හැකි කාන්තා චරිත තවත් නැහැ. ඉතිං මට මගේ අම්මා ඒ තරමට ම වටිනවා” මොහොට්ටි ආරච්චිලාගේ ශ්‍රියානි කුලවංශ ෆොන්සේකා ThePapare.com සමඟ එක් වෙමින් පැවසුවා ය. 

මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා නාමය ඉහළින් ඔසවා තැබීමට අනුපමේය සේවයක් කළ ක්‍රීඩිකාවන් අතලොස්ස අතර ශ්‍රියානි කුලවංශට ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි. ඒ ස්ථානය ඇයට හිමි කර දීමේ දී ඇයගේ මව් ඩබ්ලිව්. ඒ. බේබි නෝනා ද ඒ අතර වන්නී ය. බේබි නෝනා මාතාවගේ ඉඩ දීම් සහ ඔවදන් මැදින් මලල ක්‍රීඩාව ඇරඹූ ශ්‍රියානි කුලවංශ එහි හිනිපෙත්තට ම නැංගා ය. අද වෙද්දී ඇය ද ආදරණීය දියණියකගේ මවකි. එබැවින් මේ කතාවට ශ්‍රියානි කුලවංශ තෝරා ගන්නේ දියණියක ලෙසින් තමන් ලැබූ දේ සහ මවක ලෙසින් තමන් තම දියණියට ලබා දෙන දේ කවරාකාර දැයි විමසීමට ය. 

“මගේ ගම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර. බොහොම ලස්සන ගමක්. අදටත් මම ඒ ලස්සන, මගේ ගමෙන් දකිනවා. මම පුංචි දවස්වල ඉස්කෝලෙ ගියේ උඩකදවල ප්‍රාථමික විද්‍යාලයට. ඊට පස්සේ ශිෂ්‍යත්වය සමත් වෙල ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට යනවා. ඒ කාලෙ නොකරපු ක්‍රීඩාවක් නැහැ. එල්ලේ ගැහුවා, නෙට්බෝල්, වොලිබෝල් ගැහුවා. මේ හැම එකකින් ම සමස්ත ලංකා දිනල තියෙනවා. 

අපේ පවුලේ මමත් සමඟ 5 දෙනෙක්. ගෑණු ළමයි 4 දෙනයි, අයියයි. තාත්තා එම්. ඒ. පියරත්න, රියදුරු රස්සාවක් කළේ. අම්මා තමයි ගෙදර පාලනය කළේ. මුදල් පරිහරණය කළේ. ඒ දැනුම මම හිතන්නේ නැහැ දැන් ඔය Management Course එකක් කරලත් ලැබෙයි කියලා.  

තාත්තා උපයන මුදලින් අපි 5 දෙනෙක්ට කන්න බොන්න දීලා, අඳින්න පලඳින්න දීලා, ඉස්කෝලවල යවලා, මට ක්‍රීඩාවලටත් වියදම් කරලා, ඒ අතරතුර අපිට හදිස්සියක දී ලෙඩක් දුකක් හැදුනොත් ඒවටත් වියදම් තියාගෙන මේ සියල්ල කළේ මගේ තාත්තගෙ  පුංචි වැටුපෙන්. ඒක අම්මා හරි ලස්සනට Manage කළා. ඒ නිසයි මට මේ වගේ ගමනක් එන්න ලැබෙන්නෙත්. 

මට තමයි ගෙදරින් අවශ්‍යතා වැඩියෙන්ම තිබුණ කෙනා. අම්මා මේ බව දැනගෙන හිටියා. මම ඉස්කෝලෙ දාගෙන ගිය සපත්තු දෙකම දාගෙන තමයි ක්‍රීඩාවලටත් සහභාගී වුනේ. මගෙ දූට දැන් මම දෙනවා වගේ මගේ අම්මට මට එහෙම දෙන්න වත්කමක් තිබුණෙ නැහැ. මට මතකයි මම ඉල්ලල, ඉල්ලල අවුරුද්දකට විතර පස්සෙ තමයි මට ‘ස්පයික්ස්’ දෙකක් ලැබුණෙ. 

මම ඉල්ලපු දෙයක් කවදාවත් මඟ හැරල නැහැ. ගන්න පුළුවන්කම ලැබුණ පළමු අවස්ථාවේ ම ඒක අරගෙන දුන්නා. මොකද අම්මා දැනගෙන හිටියා ක්‍රීඩා කරනවා නම් ඒවා අවශ්‍යයි කියලා. අනිත් එක තමයි මම ක්‍රීඩා කරපු නිසා අම්මා කෑම බීමවල දී පවා අනිත් අයට වඩා මට පුංචි විශේෂත්වයක් කළා කියලා. මට ඒ දවස්වල දුන්නෙ ම ඇට ජාති. මුං ඇට, කව්පි වගේ දේවල් අපි වැවුවා. ඒව තැම්බුවට පස්සේ මම ඒ වතුරත් බොන්න ඕන. ඒක තමයි විශේෂත්වය. මට මතකයි මගේ එක අක්ක කෙනෙක් හිටියා ඇට ජාති කන්නෙම නෑ. ඒත් මට ඒ ඇටවල වතුරත් බොන්න දුන්නහම එයාට හරි ජොලි. අපි දෙන්න හරියට ඒ වෙලාවට රන්ඩුත් වෙනවා. 

ඒ වගේම අපේ වත්තෙ කුකුල්ලු හිටියා. එතැනදීත් මට වැඩිපුර බිත්තරයක් ලැබුණා. ඊට පස්සේ මම අවුරුදු 12 දී ඉබ්බාගමුවෙ ගියා. Hostel නතර වුනේ. එතැන ඉතිං ගෙදර වගේ හරියකට කෑමක් නැහැ. අම්මා මේ බව දැනගෙන හිටියා. මේ නිසා අම්මා හැම ඉරිදා ම මාව බලන්න එනවා. 

අම්ම Hostel එකට එනකොට මට අරගෙන එන්නෙ බිත්තර. මම හැමදාම බිත්තරයක් කන්න ඕන කියන මතයේ අම්මා හිටියා. ඒත් ඉතිං Hostel එකේ ළමයි 100ක් විතර නතර වෙලා හිටියා. ලොකු භාජනවල උයන්නේ. මගේ බිත්තර තම්බල දෙන්න Hostel  එකේ කෙනෙක් නැහැ. අම්මා මේක තාත්තට කියල තිබුණා. තාත්තා ඒකට අලුත් භාජනයක් හදල දුන්නා. සැමන් ටින් එකක උසට කම්බියක් දාල ලිප උඩ වහලෙ එල්ලන්න පුළුවන් විදිහට. එතකොට මගේ බිත්තරේ අර ලොකු ලිපේ ඉහළින් චුටි සැමන් ටින් එකේ තැම්බෙනවා. අම්ම එහෙමයි මම ගැන බැලුවේ. 

ඒ වගේම අම්මා ඒ කාලේ මට මාමයිට් ගෙනත් දෙනවා. මම දන්නවා මට ඒව ගෙනත් දෙන්නේ හරි අමාරුවෙන් කියලා. ඒත් මම මාමයිට් කන්න කැමතිම නැහැ. මම කරන්නේ මගේ Hostel යාළුවන්ට ඒක දීලා හිස් බෝතලේ ආයිමත් ඉල්ල ගෙන අම්මට දෙනවා. අම්මා ආයිමත් ඒව ගෙනත් දෙනවා. අම්මලාට කන්න නැති වුනත් පුංචි දවස්වල ඉඳල ම අම්මා මගේ පෝෂණය ගැන බැලුවා. 

මම හතරෙ පංතියේ විතර ඉන්න කාලේ අම්මා හැම උදේට ම කිරි රත් කරල දෙනවා. මම ආසයි කහට දාල කිරි බොන්න. ඉතිං අම්මා කරන්නේ හැම උදේට ම මම ආස විදිහට කිරි හදලා බෝතල් භාගයක් මට දෙනවා. ඒ වගේ අම්මා හැම වෙලේම මට විශේෂයක් කළා. අම්මා මේ හැම විශේෂත්වයක්ම කළේ මම ක්‍රීඩා කරපු නිසා ශක්තිය ඕන කියලයි.

ඒ වගේම දැන් ළමයින්ට වඩා මට ඒ කාලෙ ගෙදර දී උපරිම නිදහසක් දීල තිබුණා. දැන් කාලෙ නම් ළමයෙක් එළියට දාන්න පුළුවන්කමක් නැහැ නේ. දැන් සමාජය විවෘත වෙලානේ. ගමේ අයට අපි එදා කතා කළේ, දැනටත් කතා කරන්නේ නැන්දලා, මාමාල කියලා. ඒ සියලු දෙනාම අදටත් මට ආදරෙයි. 

මම පාසල් ගියෙත් ගමේ අයත් එක්ක. උදේ පාන්දර අයියා කෙනෙක් බයිසිකලෙන් යනවා. මම එයත් එක්ක තමයි පාසල් ගියේ. හවස පුහුණුවිම් ඉවර වෙද්දී 4 පහුවෙනවා. 4.15 තමයි අන්තිම බස් එක. ඒක අල්ල ගන්න බැරි වුනොත් මම කිලෝ මීටර් 3ක් ඇවිදගෙන එන්න ඕන. එතකොට මට උදව් කළේ මගේ ගමේ අය. ටවුමට ආ කෙනෙක් මගේ ගෙවල් පැත්තට යනවා නම් මාව අනිවාර්යයෙන් බයිසිකලේ ලැගේජ් එකේ තියාගෙන යනවා. 

ඒ වගේම තමයි මම අදටත් ගමේ ගියහම ඕනම ගෙදරකින් මට දෙන්නෙ පලතුරක්. එදා මම ඒ අයගෙ ගෙවල්වලින් අහන්නෙ බලන්නෙ නැතිව ඒව කෑවා. අද මට ගියහම ඒව හම්බ වෙනවා. ඒ දවස්වල මම පාර දෙපැත්තෙ තිබුණ හැම පලතුරු ගහකම ගෙඩි කාල තියෙනවා. වතුවලට රිංගලා තමයි වැඩි හරියක්ම කෑවේ. මේ නිසා ඇඳුම් ඉරාගත්ත වාර අපමණයි. ඇඳුම ඉරුණොත් තමයි අම්මට අහුවෙන්නෙ. ඉතිං ඒ හැමදාකම අම්මා කියන දෙයක් තමයි ඒ ගෙවල්වලට කියල කඩාගෙන කන්න කියලා. එහෙම කිව්වත් අපි ඊට පහුවෙනිදාත් කළේ ඒකම තමයි. අහුවුණ අවස්ථාත් තියෙනවා. නමුත් ගමේ අය නිසා කිසිවක් කියල නැහැ. හැබැයි අම්මා ඒ ගෙවල්වලට ගිහිල්ලා මම වෙනුවෙන් පෙනී ඉඳල තියෙනවා. අම්මා ඒ තරමට ම මම ගැන වෙනස් ම විදිහකින් සොයා බැලුවා සහ සැලකුවා. 

තවත් විශේෂාංග ලිපි:

දැන් අම්මට වයස අවුරුදු 83ක්. අම්මා බොහොම නීරෝගීමත්ව සිටිනවා. ඒ වගේම තාත්තත් හොඳ සනීපෙන් ඉන්නවා. අපි පවුලේ 5 දෙනාගෙන් දවසකට කවුරු හරි අම්මත් එක්ක කතා කරනවා. අම්මට ඒක තරම් සතුටක් තවත් නැහැ. ඉස්සර වගේ කතා කරපු ගමන් ෆෝන් එක තියන්නත් බැහැ. අම්මා හරි ආසයි විස්තර අහන්න. දුවගෙ විස්තර අහනවා, මගේ විස්තර අහනවා. සමහර වෙලාවට මගේ රාජකාරි බහුලත්වය එක්ක පොඩි ළමයෙක් එක්ක කතාබහ කරනවා වගේ අම්මත් එක්ක කතා කරන්න බැරි වුනොත් අම්මට දුක හිතෙනවා. මේ නිසා මම කරන්නේ සතියකට සැරයක් හොඳ නිදහස් වෙලාවක් අරගෙන අම්මත් එක්ක ගොඩක් වේලා කතා කරන එක. 

අපි අම්මව අන්තිමට බලන්න ගියේ පහුගිය අවුරුද්දට. කොරෝනා තත්ත්වය නිසා නිතර අම්ම ළඟට යන්න බයයි. මොකද අපි හැම තැනම යන මිනිස්සුනේ. නමුත් අම්මට අපි තරම් තවත් දෙයක් නැහැ. නිතර යනවා එනවා නම් ඒ තරමට ම කැමතියි” ශ්‍රියානි කුලවංශ කිසිදු ලෝබකමක් නැතිව සියල්ල අප සමඟ පැවසුවා ය. 

ශ්‍රියානිගේ දියණිය රනුති කුලවංශ ෆොන්සේකා ය. 16 වියැති ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නීය. මවගේ අඩි පාරේම යන ඇය මේ වන දක්ෂ නව පරපුරේ මලල ක්‍රීඩිකාවකි. 

“මගේ දුව පොඩි කාලේ සිටම ක්‍රීඩා කියන වචනයටවත් කැමති නැහැ. නමුත් මගේ මතයක් තමයි හැම ළමයෙක්ම කුමන හෝ  ක්‍රියාකාරීත්වයක යෙදිය යුතුයි කියන එක. එහෙම නැතිව ළමයෙක්ට කිසිවක්ම කරන්න බැහැ. අපි තීරණ ගනිද්දී ළමුන් පැද්දී පැද්දී ඉඳිවී. අද ලංකාවට වෙලා තියෙන්නෙත් ඒක. තීරණ ගනිද්දී සෘජු තීරණ ගන්නේ නැහැ. බයයි. ඒකට හුරු කරල නැහැ. 

නමුත් මම දන්නවා ක්‍රීඩා කරන අය එහෙම නැහැ. සෘජු තීරණ ගන්නවා. ඒ අය දන්නවා අවස්ථානුකූලව ඒ තීරණය ගන්න. විශේෂයෙන්ම කණ්ඩායම් ක්‍රීඩා කරන අයට ඒ හැකියාව ඉක්මනින් තියෙනවා. අපි ක්‍රිකට් ගත්තොත් මේක ලේසියෙන්ම විසඳගන්න පුළුවන්. ඔවුන් දන්නවා ඊළඟ පිතිකරුට යොදවන්න ඕන පන්දු යවන්නා කවුද කියලා. ඒ වගේම බෝල් කරද්දී පන්දු යවන්නා දැන ගන්න ඕන පිතිකරුට දාන්න ඕන බෝලය කුමක්ද කියලා. ඒක තීරණයක්. ඒ නිසා හැම වෙලාවේම ක්‍රීඩා කරන අය හරි තීරණ ගන්නවා. ඒ මත ක්‍රියා කරනවා. 

ඒ වගේම ක්‍රීඩාව මගින් හොඳ විනයක් ඇති වෙනවා. හික්මීමක් තියෙනවා. ඒ නිසා මම මගේ දුවට පොඩි කාලේ ඉඳල ම කිව්වේ ක්‍රීඩා නොකළට කමක් නැහැ පිට්ටනිය වටේ වටයක් දෙකක් ඇවිදල ටිකක් දාඩිය දාන්න සෙල්ලම් කරමු කියලයි. 

මම ඒ දවස්වල දුවව පිට්ටනියට ගෙනිච්චේ අල්ලස් දීල වගේ. නමුත් ටික කාලයකට පස්සේ ඇයට මේකට කැමැත්ත ඇති වුනා. ඒ තරග දිනන්න ගත්තා. ඉස්කෝලෙ අය, ඇය ගැන කතා කරන්න ගත්තා. හැබැයි අදටත් ඇය කැමති නැහැ එයා ශ්‍රියානි කුලවංශගෙ දූ කියනවට. මමත් ඒකට කැමතියි. මගේ දුව හැදෙන්න ඕන එයාගෙ අනන්‍යතාවයක් හදාගෙන. මගේ අනන්‍යතාවයට ඇය යනවාට මමත් කැමති නැහැ. ඒක එයාගෙත් තියෙනවා. ඒ ගැන මට සතුටුයි.

මම පුහුණුකාරිනියක් නිසා මම දන්නවා දැන් ළමයින් එදා අපි වගේ නෙමේ. ලොකු ආසාවකින් නෙමේ මේ කිසි දෙයක් කරන්නේ. ඒ ළමයි ඉන්නේ අපේ ලෝකෙ නෙමේ. අපි හැඳුණ පරිසරය දැන් ඇත්තෙම නැහැ. ඒ නිසා ළමුන්ටත් බනින බැහැ. නමුත් පුහුණුකාරිනියක් ලෙසින් මම දකින සහ අදහන දේ තමයි අපි උපක්‍රමශීලී වෙන්න ඕන මේ ළමුන් ක්‍රීඩාංගණයට ගෙන්න ගන්න. දරුවන්ගේ දක්ෂතා තියෙනවා නම් අපි ඒක හඳුනාගෙන ඒක ඔවුන්ට පෙන්නන්න ඕන. එහෙම නැතිව ඇදගෙන ඇවිත් ළමයින් ක්‍රීඩා කරවීමෙන් වැඩක් නැහැ. 

මේ තත්ත්වයට කොරෝනා වසංගතයත් බලපෑවා. ගොඩක් ළමයින්ට තමන් කරගෙන ආ දේවල් එක දිගට කරගෙන යන්න බැරි වුනහම ළමයි වෙන වෙන දේවල්වලට යොමු වුනා. විශේෂයෙන්ම කමකට නැති Game වගේ දේවල්වලට. එතකොට මේක හරහා ළමයින්ගේ මනස විකෘති වුනා. මනස ඒකාග්‍රතාවයකින් තබාගෙන වැඩ කිරීමේ හැකියාව ළමුන්ගෙන් ගිලිහුණා. මගේ දරුවා වගේම ලංකාවේ අනෙකුත් දරුවන්ටත් අපි දැන් කරන්න ඕන ලොකු ම දේ ක්‍රියාකාරකම් කිරීම මගින් ළමුන්ගේ මානසික ඒකාග්‍රතාව ඇති කිරීම. ඒකට හොඳම තැන පිට්ටනිය හෝ ගෙවත්තේ එළිමහන. 

Sriyani Kulawanshaදැන් මගේ දුව තරුණ වියට පත්වීගෙන එන දරුවෙක්. එතකොට එයා එයාගේ ශරීරය ගැනත් හිතනවා. විශේෂයෙන් ම ගෑණු ළමයෙක් නිසා ඒ සොයා බැලීම වැඩියි. මේ නිසාම හෝ නොමැතිව වුනත් මගේ දරුවා ක්‍රියාදාමයන් හී යෙදීම වැදගත්. අනිත් දරුවනුත් පිට්ටනිවලට ගත යුතුයි. හැබැයි මේක ප්‍රදර්ශනාත්මක දෙයක් හෝ තරගකාරී ක්‍රීඩාවක් කිරීම සඳහා ව්‍යායාමයක් නෙමේ. සාමාන්‍ය දෙයක්.

මේවත් සමඟ අපි අපේ දරුවන්ට නව තාක්ෂණික දැනුමත් ලබා දිය යුතුයි. එහෙම දේවල් ලබා දුන්නෙ නැත්නම් ඔවුන් ආපස්සට යනවා. උදාහරණයක් විදිහට මම නවීන තාක්ෂණය ගැන නොදන්නා තැනි තියෙනවා. ඉතිං ඒ තැන්වලින් මට හරි අමාරුයි ඉස්සරහට යන්න. එතැන දී මම පසුකරගෙන අනිත් අය ඉදිරියට යනවා. මේ නිසා මම දකින්නේ මේ අලුත් පරම්පරාව නව තාක්ෂණය සහ විවිධ ක්‍රියාකාරකම් සමග ඉස්සරහට යන්න ඕන. 

දූට මම කියන්නේ මගේ දේ වෙනස් කරන්න ඕන නැහැ, අලුත් දේවල් කරාට කමක් නැහැ කියල. හැබැයි අපි හැම වෙලාවෙම තීරණ ගනිද්දී හොඳ තීරණයක් ගත යුතුයි. අපි වැඩිහිටියො විදිහට ඔවුන්ට ගොඩාක් සමීප විය යුතුයි. අපි ජීවිතයේ හැලහැප්පීම් මැද පැමිණි අය නිසා අපේ තියෙන අත්දැකීම් ඔවුන් සමඟ බෙදා ගත යුතුයි. එහෙම වෙනවා නම් මම හිතනවා තරුණ දරුවන්ට වැරදෙන්නේ නැහැ. 

මම ඒ දේ විදිනවා. මොකද මගේ දුව මමත් සමඟ හැම දෙයක් බෙදා හදා ගන්නවා. එයා කොළඹ පරිසරයත් සමඟ හැදුනත් හැමදෙයක් ම තෝරා බේරා ගැනීමෙන් යුත් හොඳ සංස්කෘතික ඥානයක් ඇයට තියෙනවා. එයාගෙ පාසලේ අය පවා ඒ ගැන කතා කරල මට කියල තියෙනවා. මවක් ලෙසින් මට ඒ තරම් සතුටක් නැහැ. මොකද අපි දරුවො හදන්න ඕන අපේ රට ට ගැළපෙන ඒ වගේ ම අපේ රටේ සංස්කෘතියත් සමඟ යන වැඩිහිටියන්ට ගරු කරන සහ ඒ සියල්ල හොඳින් තියෙන්න විදිහට. මොකද මේක ශ්‍රී ලංකාව, බෞද්ධ රටක්. මගේ දුව ඊට අනුගතව හදන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේ ම මම මගේ දුව ගැන ආඩම්බර වෙනවා. 

මම නිතර ම බලාපොරොත්තු වෙන්නේ මගේ දරුවා විතරක් නෙමේ හැම දරුවෙක් ම මේ රටට ආදරේ කරන දරුවෙක් වෙන්න ඕන කියලා. මවක් විදිහට අප කළ යුත්තේ, මේ රටට ආදරණීය දරුවෙක් දායාද කිරීම. මව්වරුන්ගේ දිනයක් වේවා, වෙනත් දිනයක් වේවා, අපේ මූලික අරමුණ විය යුත්තේ එයයි.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<