ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ එංගලන්ත සංචාරයට පෙර

Sri Lanka Women tour of England 2023

926
Sri Lanka Women's Tour of England 2023 - Preview

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 3ක් සඳහා සහභාගී වීමට එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ මේ මස 31 වැනිදා සිට තරගාවලියට එක් වීමට නියමිතයි.  

මෙම තරග සංචාරයට එක් වෙද්දී එංගලන්තය එක්දින ජාත්‍යන්තර තරගවල දී මෙන් ම විස්සයි විස්ස තරගවල දී ද ලෝක ශ්‍රේණිගත කිරීම් හී දෙවැනි ස්ථානයේ රැඳී සිටිමින් ද සහ ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ සිටිමින් ද එකිනෙකා හමුවෙයි. 

තරග කාලසටහන 
තරගය  දිනය  ක්‍රීඩාංගණය 
විස්සයි විස්ස තරගාවලිය 
පළමු තරගය  අගෝස්තු 31  Hove 
දෙවැනි තරගය  සැප්තැම්බර් 02  Chelmsford 
තෙවැනි තරගය  සැප්තැම්බර් 06 (දිවා/රාත්‍රී  Derby 
එක්දින ජාත්‍යන්තර තරගාවලිය 
පළමු තරගය  සැප්තැම්බර් 09  Chester-le-Street 
දෙවැනි තරගය  සැප්තැම්බර් 12  Northampton 
තෙවැනි තරගය  සැප්තැම්බර් 14  Leicester 

විස්සයි විස්ස කණ්ඩායම සඳහා නම් කරන ලද Danni Wyatt, Issy Wong සහ Freya Kemp වෙනුවට එක්දින තරගාවලිය සඳහා Tammy Beaumont, Nat Sciver-Brunt සහ Emma Lamb කැඳවා තිබෙනවා.  

  • එංගලන්ත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම: Heather Knight (නායිකාව), Maia Bouchier, Bess Heath, Amy Jones, Danni Wyatt, Alice Capsey, Charlie Dean, Mahika Gaur, Danielle Gibson, Sarah Glenn, Lauren Bell, Kate Cross, Lauren Filer, Issy Wong, Freya Kemp. 
  • එංගලන්ත කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායම: Heather Knight (නායිකාව), Tammy Beaumont, Maia Bouchier, Bess Heath, Amy Jones, Alice Capsey, Charlie Dean, Mahika Gaur, Danielle Gibson, Sarah Glenn, Emma Lamb, Nat Sciver-Brunt, Lauren Bell, Kate Cross, Lauren Filer. 

එංගලන්ත – ශ්‍රී ලංකා තරග ඉතිහාසය 

ශ්‍රී ලංකාව මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 175කට මුහුණ දී ඇති අතර ඉන් තරග 58ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. පරාජිතව අවසන් කළ තරග සංඛ්‍යාව 111ක් වන අතර තවත් තරග 6ක් නොවිසඳුණ තරග ලෙසින් ඉතිහාසයට එක් වෙනවා.   

එංගලන්තය මෙම තරගාවලියට එක් වෙන්නේ මෙතෙක් ලොව වැඩිම එක්දින තරග සංඛ්‍යාවකට සහභාගී වූ රට ලෙසයි. ඔවුන් මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 380කට සහභාගී වී තිබෙනවා. ඉන් තරග 223ක් ජයග්‍රහණය කරන ඔවුන් තරග 144ක් පරාජය වෙද්දී ලකුණු සම වීමෙන් අවසන් වූ තරග 2ක් සහ නොවිසඳුණ තරග 11ක් ද ඔවුන්ගේ තරග ලැයිස්තුවට එක් වෙනවා.  

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල දී එංගලන්තය තරග 181ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 130ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. තරග 46ක් පරාජය වෙද්දී ලකුණු සමවීමෙන් අවසන් වූ තරග 3ක් සහ නොවිසඳුණ තරග 2ක් ද ඊට එක් වෙනවා.  

ශ්‍රී ලංකාව මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 131ක් පමණයි. ඉන් තරග 39ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙන ඔවුන් තරග 88ක් පරාජයට පත් ව ඇති අතර නොවිසඳුණ තරග 4ක් ද ඊට එක් වෙනවා.  

ඔවුනොවුන් එක්දින තරගයක් සඳහා පළමු වරට හමුවෙන්නේ 1997 වසරේ දී. එතැන් සිට මේ දක්වා තරග 17ක දී එකිනෙකා හමුව ඇති අතර ඉන් තරග 15ක ජයග්‍රහණ එංගලන්තය ද තරගයක ජයග්‍රහණය ශ්‍රී ලංකාව ද සහ එක් තරගයක් විසඳුමකින් තොරව ද අවසන් ව තිබෙනවා.  

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල දී ඔවුනොවුන්ගේ ඉතිහාසය 2009 වසරේ සිට ලියැවෙනවා. එහි දී මෙතෙක් අවස්ථා 9ක දී ඔවුනොවුන් හමු වී ඇති අතර  ඉන් සෑම අවස්ථාවක ම ජයග්‍රහණය කර ඇත්තේ එංගලන්ත ක්‍රීඩිකාවෝයි.  

2005, 2010, 2016 සහ 2019 වසරවල දී එංගලන්ත ක්‍රීඩිකාවෝ මෙරට සංචාරය කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එංගලන්ත සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි. 

අවධානයෙන් සිටිය යුතු එංගලන්ත ක්‍රීඩිකාවෝ 

Heather Knight  

එංගලන්ත කණ්ඩායමේ නායිකා 32 හැවිරිදි වියේ පසුවන Heather Knight මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 101කට සහභාගී වෙමින් ලකුණු 1618ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 132කට සහභාගී වෙමින් ලකුණු 3743ක් ලබා ගනිමින් මෙම තරගාවලිය සමඟ එක් වෙනවා.  

ඇයගේ විස්සයි විස්ස පිතිකරණ ලැයිස්තුවේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ තායිලන්තයට එරෙහිව පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 108යි.  

එක්දින පිතිකරණ ලැයිස්තුවේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලෙසින් දැක්වෙන්නේ පාකිස්තානයට එරෙහිව පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 106යි. ඊට අමතර ව ඇය නවසීලන්තයට එරෙහිව ද ශතකයක් වාර්තා කර තිබෙනවා.  

විස්සයි විස්ස සහ එක්දින මෙම ශතක ත්‍රිත්වය ම ඇය විසින් වාර්තා කරන්නේ නායිකාව ලෙසින් පිටියට පිවිසෙමින් වීම විශේෂයි.  

ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරග 6කට සහභාගී වෙමින් ලකුණු 27ක් පමණක් ලබා ඇති ඇය එක්දින තරග 10කට සහභාගී වී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 328ක්. ඊට අර්ධ ශතක ත්‍රිත්වයක් ද ඇතුළත්.  

මේ දක්වා ඇය විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 68කට සහ එක්දින ජාත්‍යන්තර තරග 74කට නායකත්වය දී තිබෙන අතර ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින සහ විස්සයි විස්ස තරග 7කට නායකත්වය දී තිබෙනවා.  

Nat Sciver-Brunt 

31 වැනි වියේ පසුවන Nat Sciver-Brunt තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක ලෙසින් එක්දින කණ්ඩායම හා සමඟින් පමණක් එක් වෙනවා. ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 97කට සහභාගී වෙමින් ලකුණු 3280ක් සහ කඩුලු 68ක් ලබා සිටිනවා.  

පිතිකාරිණියක ලෙසින් ඇය මේ දක්වා ශතක 7ක් වාර්තා කිරීමට සමත් ව සිටිනවා. ඒ අතර ඉහළින් ම සටහන් වෙන ඉනිම වන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 121කට මුහුණ දී හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 148යි.  

පන්දු යැවීමේ දී ඇයගේ ඉහළ ම දක්ෂතාව වන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 59කට දවා ගත් කඩුලු 4යි.  

ශ්‍රී ලංකාව සමඟින් තරග 8කට ක්‍රීඩා කර ඇති ඇය අර්ධ ශතක 3ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 284ක් වන අතර පන්දු යවන්නියක ලෙසින් කටයුතු කරමින් කඩුලු 6ක් දවාගෙන තිබෙනවා.  

විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ද දක්ෂතා ඇති ඇය මේ දක්වා තරග 111කට සහභාගී වෙමින් අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 2230ක් සහ කඩුලු 81ක් ලබා ඇති ක්‍රීඩිකාවක්. 

Amy Jones 

30 හැවිරිදි වියේ පසුවන Amy Jones එංගලන්ත කණ්ඩායම හා එක් වෙන්නේ කඩුලු රකින්න පිතිකාරිණියක් ලෙසිනුයි. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 88කට සහභාගී වෙමින් අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1293ක් ද සහ එක්දින ජාත්‍යන්තර තරග 79කට සහභාගී වෙමින් අර්ධ ශතක 11ක් සමඟින් ලකුණු 1638ක් ද ලබා සිටිනවා.  

ඒ අතරින් ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරග 5කට එක් වෙමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 114ක් ද සහ එක්දින තරග 7කට සහභාගී වෙමින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 279ක් ලබා සිටිනවා.  

Kate Cross 

දකුණතින් මද වේගපන්දු යවන 31 වැනි වියේ පසුවන Kate Cross කණ්ඩායමේ සිටින ප්‍රධානතම පන්දු යවන්නියයි. ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 57කට සහභාගී වෙමින් කඩුලු 78ක් ලබා සිටිනවා.  

ඒ අතර ඉහළින් ම දැක්වෙන දක්ෂතාව වන්නේ නවසීලන්තයට එරෙහිව ලකුණු 24කට දවා ගන්නා ලද කඩුලු 5යි.  

ශ්‍රී ලංකාවට එරෙහිව තරග 3කට ක්‍රීඩා කර ඇති ඇය එම තරගවල දී කඩුලු 5ක් දවා ගන්නවා.  

විස්සයි ජාත්‍යන්තර තරග පිටියේ තරග 13කට පමණක් ක්‍රීඩා කර ඇති ඇය ලබා ඇති කඩුලු සංඛ්‍යාව 11ක් වන මෙතෙක් ශ්‍රී ලංකාව සමඟින් ක්‍රීඩා කර ඇත්තේ එක් තරගයකට පමණයි.  

Tammy Beaumont  

කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක ලෙසින් කටයුතු කරන Tammy Beaumont කණ්ඩායමේ සිටින වඩාත් ප්‍රවේගකාරී පිතිකාරිණිය ලෙසින් හැඳින්වූවත්, ඇය නම් කර ඇත්තේ එක්දින තරගාවලියට පමණයි.  

ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 106කට සහභාගී වෙමින් ශතක 9ක් සමඟින් ලකුණු 3616ක් ලබා සිටින අතර එහි සාමාන්‍ය 40.62ක් ලෙසින් පවත්වා ගෙන යෑමට සමත් ව සිටිනවා. ඇයගේ ඉනිම් අතර ඉහළින් ම සටහන් වෙන ඉනිම වන්නේ පාකිස්තානයට එරෙහිව පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සමඟින් නොදැවී ලබා ගන්නා ලද ලකුණු 168යි.  

ශ්‍රී ලංකාවට එරෙහිව තරග 8ක දී පිටියට පිවිස ඇති ඇය ලබා සිටින ලකුණු සංඛ්‍යාව 300ක්. ඊට අර්ධ ශතක 2ක් ද ඇතුළත්. 

Danni Wyatt 

32 හැවිරිදි වියේ පසුවන ඉදිරි පෙළ පිතිකාරිණි Danni Wyatt ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස පිටියට පමණක් පිවිසෙන ක්‍රීඩිකාවක්.  

ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 146කට සහභාගී වෙමින් ඉන්දියාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතක 2ක් සමඟින් ලකුණු 2478ක් ලබා සිටින ක්‍රීඩිකාවක්. පන්දු යවන්නියක ලෙසින් ද දක්ෂතා දැක්වීමට සමත් ඇය ලබා ඇති කඩුලු සංඛ්‍යාව 46ක් 

එක්දින පිටියේ දී ද දක්ෂතා දක්වා ඇති ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 105කට සහභාගී වෙමින් ශතක 2ක් සමඟින් ලකුණු 1841ක් සහ කඩුලු 27ක් දවාගෙන තිබෙනවා.  

එංගලන්තය, ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස සහ එක්දින තරගාවලි වෙනුවෙන් වෙන් වෙන් ව ක්‍රීඩිකාවන් 15 දෙනෙක්ගෙන්  යුත් කණ්ඩායම් නම් කර තිබෙනවා. ඒ අතර එක්දින කණ්ඩායමට එංගලන්ත කෝඩුකාරියෝ 5 දෙනෙක් ම නම් කර තිබීම විශේෂත්වයක්. ඒ අතරින් Bess Heath එංගලන්ත කණ්ඩායම් හා එක් වෙන්නේ පළමු වරටයි. 

24 හැවිරිදි වියේ පසුවන මැද පෙළ පිතිකාරිණි Maia Bouchier, 22 හැවිරිදි වියේ පසුවන කඩුලු රකින Bess Heath, 17 හැවිරිදි වියේ පසුවන වමතින් මද වේගපන්දු යවන Mahika Gaur, 22 හැවිරිදි වියේ පසුවන දකුණතින් මද වේගපන්දු යවන Danielle Gibson සහ 22 හැවිරිදි වියේ පසුවන දකුණතින් මද වේගපන්දු යවන Lauren Filer එම ක්‍රීඩිකාවනුයි 

සංචාරයට එක් වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම: චමරි අතපත්තු (නායිකාව), ඕෂදී රණසිංහ (උප නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීශා දිල්හාරි, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, අනුශ්කා සංජීවනී, (කඩුලු රකින්නිය), උදේශිකා ප්‍රබෝධනී අචිනි කුලසූරිය, කාව්‍යා කාවින්දි, ඉනෝෂි ප්‍රනාන්දු, හංසිමා කරුණාරත්න, හසිනි පෙරේරා, ඉමේෂා දුලානි.  

ශ්‍රී ලංකා – එංගලන්ත කාන්තා එක්දින තරගාවලියේ මෙන් ම විස්සයි විස්ස තරගාවලියේ ද උණුසුම් පුවත් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අ සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<