කාන්තා කණ්ඩායමේ දේශපාලනික බලපෑම් ගැන හෙළිදරව්වක්

259

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුළ ප්‍රබල ලෙස දේශපාලන බලපෑම් පවතින බව එම කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන Tushar Arothe පසුගිය දා පවසා සිටියා. 

ඔහු මේ බව පවසා තිබුණේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවක් අතරතුර දීයි. එහි දී Tushar Arothe ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක් සිදු කර තිබුණා. ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඇතුළත පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ කණ්ඩායමට විශාල වශයෙන් දේශපාලනික බලපෑම් ඇති බවයි. 

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ සමහර ක්‍රීඩිකාවන් පුහුණුකරුවන් සහ සෙසු කාර්‍යමණ්ඩලයට ද බලපෑම් සිදු කරන බවයි.

Tushar Arothe මෙම ප්‍රකාශය සිදු කළේ කාන්තා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස Ramesh Powar නැවතත් පත්වීමෙන් අනතුරුවයි.

මීට පෙර කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස WV Raman විසින් දැරූ අතර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ඉන්දීය කාන්තා කණ්ඩායම 2020 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා පසුගිය වසර කීපය තුල පුහුණුකරුවන් රැසක් දායකත්වය දැක්වූ අතර එම පුහුණුකරු කිසිවක් දීර්ඝ කාලයක් කණ්ඩායම සමඟින් රැඳී සිටියේ නැහැ. 

News 18 නාලිකාව සමඟින් සාකච්ඡාවකට එක්වෙමින් Arothe පවසා සිටියේ කාන්තා කණ්ඩායමේ අසාර්ථක වුවහොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම පුහුණුකරුවන් හට පැවරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවයි.

“මේක තේරුම්ගන්න පහසු වෙන විදිහට කියනවා නම්, කාන්තා කණ්ඩායම ඇතුළේ ලොකු දේශපාලනික බලපෑම් තියනවා. පිරිමි කණ්ඩායම ගත්තම ඔවුන්ගේ ව්‍යුහයේ විනිවිදභාවයක් තියනවා. කාන්තා කණ්ඩායම එක්ක මම කටයුතු කරපු කාලය තුළ මම දැක්ක දෙයක් තමයි කණ්ඩායම ඇතුළේ බලපෑම් තියනවා. මම හිතන්නේ මේකට වගකියන්න ඕනේ හිටපු ක්‍රීඩිකාවන්. කණ්ඩායමේ සංස්කෘතියත් මේ තත්ත්වයට බලපෑමක් කරනවා. කණ්ඩායම යම් තරගාවලියක දී දස්කම් දක්වන්න අසමත් වුනොත් ඔවුන් ඒකේ සම්පූර්ණ වගකීම පුහුණුකරුවන්ට යොමු කරනවා. ඒක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ.”

තවත් ක්‍රිකට් පුවත්:

“ඒ වගේම යම් ක්‍රීඩිකාවක් පුහුණුකරුවන් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්නේ නැත්නම් ඔවුන් ඉක්මනින්ම පුහුණුකරුවා මාරු කරනවා. මට කළින් හිටිය පුහුණුකරු බලන්න. Purnima Rau ට ඔවුන් ඉතාමත් හොඳින් සැලකුවා. ඒ කණ්ඩායම එක්ක හොඳින් කටයුතු කරපු නිසා” Arothe පවසා සිටියා.

Tushar Arothe 2017 වසරේ සිට 2018 වසර දක්වා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළා. 

කාන්තා කණ්ඩායම තුල පවතින මෙම ගැටලුව විසඳා ගැනීම පිළිබඳව ද Arothe අදහස් දක්වා සිටියා. එහි දී ඔහු මූලික වශයෙන් පවසා සිටියේ කණ්ඩායමේ අසාර්ථකත්වය සඳහා ක්‍රීඩිකාවන්ම වගකිව යුතු බවට ඔවුන්ගේ මානසිකත්වය සැකසිය යුතු බවයි. එමෙන්ම කණ්ඩායමට ඇති බාහිර බලපෑම් විශේෂයෙන් හිටපු ක්‍රීඩිකාවන්ගෙන් සියල්ල ඉවත් කළ යුතු බවත් ඔහු පවසා සිටියා.

“මම හිතන්නේ ඉස්සල්ලම ක්‍රීඩිකාවන්ගේ මානසිකත්වය වෙනස් කරන්න ඕනේ. කණ්ඩායමේ සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට වගකියන්න ඕනේ ඔවුන් කියලා ඔවුන් පිළිගන්න ඕනේ. එහෙම තමයි කණ්ඩායමකට වගකීම පැවරෙන්නේ.”

“ඒ වගේම කණ්ඩායමට සහ පුහුණුකරුවන්ට තියන බාහිර බලපෑම් ඉවත් කරන්න ඕනේ. විශේෂයෙන් හිටපු ක්‍රීඩිකාවන්ගෙන්. ඔවුන්ට කණ්ඩායමත් එක්ක කිසිම ගනුදෙනුවක් තියෙන්න බැහැ. ඔවුන්ට බලපෑම් කරන්න බැරි වටපිටාවක් හදන්න ඕනේ.”

“මගේ කාලය තුල හිටපු ක්‍රීඩිකාවන් නොවන පුද්ගලයන්ගේ බලපෑම් පවා තිබුණා. ඒ වගේ දේවල් එක්ක කණ්ඩායමක් පුහුණු කරන එක අමාරුයි. ඔවුන් කණ්ඩායමට උදව් කරන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඒත් ඒක උදව්වක් වෙන්නේ නැහැ” Tushar Arothe පවසා සිටියා.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානයේ සිටින අතර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයට පත්ව සිටිනවා.

Hindustan Times ඇසුරිනි  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<