එංගලන්ත සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය

6279

එළඹෙන අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා සහභාගී වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (22) මාධ්‍ය වෙත නිකුත් කළා.

මෙම සංචාරය සඳහා එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වන අතර විස්සයි විස්ස තරගාවලිය පළමුව පවත්වා ඉන් අනතුරුව එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතයි. එය ICC කාන්තා ශූරතාවයට (ICC Women’s Championship – qualifier for 2025 ODI WC) අයත් තරගාවලියක් වීම විශේෂත්වයක්.  

ඉකුත් ජුනි/ජූලි මාසවල දී පැවති ශ්‍රී ලංකා – නවසීලන්ත සංචාරයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් පමණක් සිදු කරමින් මෙම නව සංචිතය තෝරාගෙන ඇති අතර ඒ අනුව ආබාධයක් නිසා පිටියෙන් ඉවත් ව සිටි අචිනි කුලසූරිය නැවත වරක් ජාතික සංචිතයට කැඳවා තිබෙනවා.  

ශ්‍රී ලංකාව මෙම තරග සංචාරය සඳහා ඉතාමත් හොඳ මානසික මට්ටමකින් අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේ නිමා වූ නවසීලන්ත සංචාරයේ දී අත් කර ගත් සාර්ථකත්වය (නවසීලන්තයට එරෙහිව සියලු ආකෘති අතරින් ලබා ගත් පළමු ජයග්‍රහණය, පළමු තරගාවලි ජයග්‍රහණය සහ පළමු විස්සයි විස්ස තරග ජයග්‍රහණය) නිසාවෙනුයි. 

සුපුරුදු පරිදි මෙම සංචිතයේත් නායකත්වය චමරි අතපත්තු විසින් දරද්දී, උප නායිකාව ලෙස ඕෂදී රණසිංහ කටයුතු කරනු ඇති අතර ශ්‍රී ලංකාව පළමු වතාවට එංගලන්තයේ සත්කාරකත්වය යටතේ ද්විපාර්ශවික තරගාවලියකට සහභාගී වීම නිසා මෙම තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට තවත් සුවිශේෂි වනවා.

සංචිතය: චමරි අතපත්තු (නායිකාව), ඕෂදී රණසිංහ (උපනායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අනුෂ්කා සංජීවනී (කඩුලු රකින ක්‍රීඩිකා), උදේශිකා ප්‍රබෝදිනි, අචිනි කුලසූරිය, කාව්‍යා කාවින්දි, ඉනෝෂි ප්‍රනාන්දු, හංසිමා  කරුණාරත්න, හසිනි පෙරේරා, ඉමේෂා දුලානි 

තරගාවලියේ කාලසටහන

  • පළමු T20 තරගය – අගෝස්තු 31 – County Cricket Ground, Hove
  • දෙවැනි T20 තරගය – සැප්තැම්බර් 2 – County Cricket Ground, Chelmford
  • තෙවැනි T20 තරගය – සැප්තැම්බර් 6 – County Cricket Ground, Derby
  • පළමු ODI තරගය – සැප්තැම්බර් 9 – Riverside Ground, Chester le Street
  • දෙවැනි ODI තරගය – සැප්තැම්බර් 12 – County Cricket Ground, Northampton
  • තෙවැනි ODI තරගය – සැප්තැම්බර් 14 – Grace Road, Leicester

තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම. 

>>තවත්ක්‍රිකට්පුවත්සඳහාපිවිසෙන්න<<