T20 ඉතිහාසය වෙනස් කළ කෝඩුකාරයන්ගේ තරගාවලිය

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය 2021

835

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නිමා වූයේ 2-1ක් ලෙසින් ශ්‍රී ලංකාව ජය ගනිමින්. එය ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ අපේ කණ්ඩායමක් ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාවයි. ඒ ජයග්‍රහණයත් සමඟින් ඉන්දියාවට එරෙහිව අපේ ක්‍රීඩකයෝ තවත් සුවිශේෂී කඩඉම් කිහිපයකම මේ තරගාවලියේ දී හිමිකාරයන් වෙනවා.  

ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිවලට සහභාගී වෙන්නේ 2009 වසරේ පෙබරවාරි 10 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති තරගයත් සමඟයි. එක් තරගයකින් සමන්විත වූ එම තරගාවලියෙන් 1-0ක ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩකයෝ එතැන් සිට මෙම තරගාවලිය දක්වා ම තම අපරාජිත රැකගෙන සිටීමට සමත් වුනා. 

ශ්‍රී ලංකා – ඉන්දියා විස්සයි 20 තරගාවලි ඉතිහාසය

තරග සමය සත්කාරකත්වය ශ්‍රි ලංකා නායක ඉන්දීය නායක ජයග්‍රහණය පරතරය
2009 ශ්‍රී ලංකාව තිලකරත්න ඩිල්ෂාන් MS Dhoni ඉන්දියාව 1-0 (1)
2009/10 ඉන්දියාව කුමාර් සංගක්කාර MS Dhoni විසඳුමක් නෑ 1-1 (2)
2012 ශ්‍රී ලංකාව මහේල ජයවර්ධන MS Dhoni ඉන්දියාව 1-0 (1)
2015/16 ඉන්දියාව දිනේෂ් චන්දිමාල් MS Dhoni ඉන්දියාව 2-1 (3)
2017 ශ්‍රී ලංකාව උපුල් තරංග Virat Kohli ඉන්දියාව 1-0 (1)
2017/18 ඉන්දියාව තිසර පෙරේරා Rohit Sharma ඉන්දියාව 3-0 (3)
2019/20 ඉන්දියාව ලසිත් මාලිංග Virat Kohli ඉන්දියාව 2-0 (3)
2021 ශ්‍රී ලංකාව දසුන්ශානක Shikhar Dhawan ශ්‍රී ලංකාව 2-1 (3)

මෙම තරගාවලි සහ වෙනත් තරගාවලිත් සමඟ ශ්‍රී ලංකාව මෙතෙක් ඉන්දියාව සමඟ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 22කට මුහුණ දී ඇති අතර ඉන් තරග 7ක් ජය ගනිද්දී, තරග 14ක් පරාජය වී ඇත. එක් තරගයක අතහැර දැමුණ සේ ලැයිස්තුගතයි. 

2018න් පසු ලැබූ ජය

ඉන්දියාවට එරෙහිව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව වසර තුනක් තිස්සේ සත්කාරක තරගාවලියන් හී ලැබූ පරාජයන්වලට ද තිත තබනවා. ශ්‍රී ලංකාව අවසන් වරට මෙරට දී තරගාවලියක් ජයග්‍රහණය කරන්නේ 2018 අගෝස්තු 14 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයෙන්. ඇන්ජලෝ මැතිස්ගේ නායකත්වයෙන් යුත් ඔවුන් එම තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කරනවා. 

ශ්‍රී ලංකාව ඉන්දියාවත් සමඟ ලැබූ මේ තරගාවලි ජයග්‍රහණයත් සමඟ ඕනෑම රටක් සමඟ තරගාවලියක් ජයග්‍රහණය කරන්නේ වසර දෙකකට පසුව වීම ද වැදගත්. ඔවුන් අවසන් වරට තරගාවලියක් ජයග්‍රහණය කරන්නේ 2019 ඔක්තෝබරයේ පාකිස්තානයට එරෙහිවයි. පාකිස්තානයේ දී පැවැති එම තරගාවලියේ දී අපේ ක්‍රිඩකයෝ 3-0ක ජයග්‍රහණයක් වාර්තා කරනවා. එම තරග ජයග්‍රහණය ද වාර්තා වන්නේ දසුන් ශානකගේ නායකත්වය යටතේ වීමද වැදගත්.

2018 ජය ලැබූ තරගාවලියත් සමග නිමා වූ අනෙක් තරගාවලි අවසන් වූ ආකාරය

තරගාවලිය තරග සමය ජයග්‍රහණය පරතරය
දකුණු අප්‍රිකාව සමඟ මෙරට දී  2018 ශ්‍රී ලංකාව 1-0 (1)
එංගලන්තය සමඟ මෙරට දී 2018/19 එංගලන්තය 1-0 (1)
නවසීලන්තය සමඟ එරට දී 2018/19 නවසීලන්තය 1-0 (1)
දකුණු අප්‍රිකාව සමඟ එරට දී  2018/19 දකුණු අප්‍රිකාව 3-0 (3)
නවසීලන්තය සමඟ මෙරට දී  2019 නවසීලන්තය 2-1 (3)
පාකිස්තානය සමඟ එරට දී  2019/20 ශ්‍රී ලංකාව 3-0 (3)
ඔස්ට්‍රේලියාව සමඟ එරට දී  2019/20 ඔස්ට්‍රේලියාව 3-0 (3) 
ඉන්දියාව සමඟ එරට දී 2019/20 ඉන්දියාව 2-0 (3)
බටහිර ඉන්දීය කොදෙව් සමඟ මෙරට දී  2019/20 බ. ඉ. කො. 2-0 (2)
බටහිර ඉන්දීය කොදෙව් සමඟ එරට දී  2020/21 බ. ඉ. කො. 2-1 (3)
එංගලන්තය සමඟ එරට දී 2021 එංගලන්තය 3-0 (3) 
ඉන්දියාව සමඟ මෙරට දී 2021 ශ්‍රී ලංකාව 2-1 (3)

දස්සාගේ වගකීම්

එදා 2019 දී මෙන් ම අද ද ජයග්‍රහණ වාර්තා වූ මෙම තරගාවලියන් දෙකේ දී දසුන්ගේ කණ්ඩායමේ යම් යම් සමානකම් කිහිපයක් ම තිබෙනවා. එදා දසුන් පාකිස්තානයට යන්නේ කෝඩුකාර කණ්ඩායමක් කරපින්නාගෙන. ඒ ප්‍රවීණයෝ තරගාවලිය වර්ජනය කිරීම හේතුවෙන්. මෙදා දසුන්ට කණ්ඩායම මෙහෙය වීමේ වගකීම් හිමිවෙන්නේ නායක කුසල් පෙරේරා ආබාධයකට ලක් වීම හේතුවෙන්.  

එදා පාකිස්තානයේ දී පැවැති පළමු තරගයේ දී භානුක රාජපක්ෂ සහ මිනෝද් භානුක විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගන්නවා. අනතුරුව පැවැති තෙවැනි තරගයේ දී ඕෂඳ ප්‍රනාන්දු ද විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගන්නවා.

එම තරගාවලියේ දී කෝඩුකාර භානුක රාජපක්ෂ තරග 3ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 112ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වෙනවා. ඕෂඳ ප්‍රනාන්දු තමන් මුහුණ දුන් පළමු තරගයේ දී අර්ධ ශතකලාභීන්ගේ කණ්ඩායමට ඇතුළත් වෙනවා. 

මෙදා ඉන්දියාවට එරෙහි පැවැති පළමු තරගයේ දී  චරිත් අසලංක සහ චාමික කරුණාරත්න විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා ගන්නවා. දෙවැනි තරගයේ දී රමේෂ් මෙන්ඩිස් ද කෝඩුකාරයෙක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙනවා. 

චරිත් තමන් මුහුණ දුන් පළමු සහ එක ම තරගයේ දී පන්දු 26ක දී ලකුණු 44ක් ලබා ගනිමින් කාගේත් කතාබහට ලක්වෙන චරිතයක් වෙනවා. ඔහුගේ ඉනිමට හතරේ පහර සහ හයේ පහර 3 බැගින් එකතු වීමත් මේ කතා බහේ ආලවට්ටම් තවත් වැඩි වෙනවා. නමුත් ඇති වූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් චරිත් එම තරගයෙන් පසුව පිටියට පිවිසෙන්නේ නෑ. 

චාමික කරුණාරත්නගේ නමත් එවන් වු වැදගත් කතා බහකට මුල පිරෙනවා. එක්දින තරගාවලියේ සේ වැදගත් යමක් කිරීමට නොහැකි වුනත්, චාමික පිටියේ රැඳී සිටීම කාගෙත් කැමැත්ත වුනා. කෙසේ වෙතත් ඔහු දෙවැනි තරගයේ දී අවසන් අදියරේ දී හයේ පහරක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහණය ඉක්මන් කිරීම කාගේත් සිත්ගත්තා. 

නායකයෙක් ලෙසින් දසුන් මේ තරගාවලියේ දී කාගේත් අවධානයට ලක් වුනා. නියත පරාජිත කණ්ඩායමක් සේ වරින් වර, තැනින් තැන හැඳින්වුන කණ්ඩායම දසුන් අභියෝගාත්මකව ඉදිරියට ගෙනාවා. දසුන්ට පැවරුණ වගකීමකටත් වඩා වගවීමක් සේ භාර ගනිමින් කටයුතු කිරීම, අපි මේ ජයග්‍රහණයේ දී ඔහුගෙන් දුටුවා. 

හොඳට ම කළ අපේ අය

පිතිකරු දක්ෂතා පන්දු යැවීමේ දක්ෂතා
පිතිකරු  ඉනිම් ලකුණු හොඳම පන්දු යවන්නා ඕවර ලකුණු කඩුලු හොඳම
ධනංජය ද සිල්වා 3 72 40* වනිඳු හසරංග 12.0 67 7 4/9
මිනෝද් භානුක  3 64 36 දුෂ්මන්ත චමීර 12.0 63 4 2/24
අවිශ්ක ප්‍රනාන්දු  3 49 26 දසුන් ශානක 7.0 38 3 2/20
චරිත් අසලංක 1 44 44 අකිල ධනංජය 11.0 80 2 2/29
වනිඳු හසරංග  3 29 15 රමේෂ් මෙන්ඩිස්  4.0 22 2 1/13

එදා සහ අද, වනිඳු 

එදා පාකිස්තානය සමඟින් පැවති තරගාවලියේ අවසන් තරගයේ වීරයා සේ ම තරගාවලියේ වීරයා ද වෙන්නේ වනිඳු හසරංග. මෙදා ද ඒ සම්මාන ද්විත්වය ම දිනා ගැනීමට සමත් වෙනවා. 

වනිඳු එදා එම තරගාවලියේ දී තරග 3ක දී ලකුණු 79කට කඩුලු 8ක් දවා ගන්නවා. මෙදා වනිඳු තරග 3ක දී ලකුණු 67කට කඩුලු 7ක් දවා ගන්නවා. 

වනිඳු නිමා වූ තරගාවලියේ අවසන් තරගයේ දි ලකුණු 9කට කඩුලු 4ක් බිඳ හෙළමින් ඉන්දියාවට එරෙහිව පන්දු යවන්නෙක් විස්සයි විස්ස පිටියේ පෑ ඉහළ ම දක්ෂතාව වාර්තා කරනවා. ඊට පෙර එම වාර්තාව සතුව තිබුණේ නවසීලන්තයේ Mitchell Santner වෙත. ඔහු 2016 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී Nagpur හී පැවැති තරගයේ දී ලකුණු 11කට කඩුලු 4ක් දවා ගනිමින් ඒ වාර්තාව සතු කරගෙන සිටියා. 

එමෙන් ම වනිඳුගේ මේ පන්දු යැවීම, සිය උපන් දිනයේ දී පන්දු යවන්නෙකු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දී වාර්තා කළ හොදම පන්දු යැවීම ලෙසින් ද වාර්තා වුනා. වනිඳු එදා සැමරුවේ තම 24 වැනි උපන් දිනයයි. ඊට පෙර එම වාර්තාව සතුව තිබුනේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ Imran Tahirට. ඔහු තම 35 වැනි උපන් දිනයේ දී නෙදර්ලන්තයට එරෙහිව 2014 වසරේ දී ලකුණු 21කට කඩුලු 4ක් දවා ගත්තා. 

වනිඳු දැක්වූ මේ දක්ෂතාව තම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ හොඳම දක්ෂතාව ද වෙනවා. ඊට අමතරව ඔහු මෙම තරගාවලිය අතරතුර දී ICC විස්සයි විස්ස තරගවල පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දී දෙවැනි තැන දක්වා උසස්විම් ලැබීමට සමත් වෙනවා. 

අඩුවෙන් තැබූ ලංසුවට ඉන්දියාව ලැබූ පාඩම

මෙම තරගාවලියේ අවසන් තරගයේ දී ඉන්දියාව තම පන්දුවාර 20 දී ලබා ගන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 81ක් පමණයි. එය ශ්‍රී ලංකා – ඉන්දියා විස්සයි 20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමක් ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද සටහන් වෙනවා. ඔවුන් ඊට පෙර ශ්‍රී ලංකාව ඉදිරියේ අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස් කරගෙන සිටියේ 2016 සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 101යි. 

මෙම ඉනිම ඉන්දීය ඉතිහාසයේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක දී ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යා ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. එහි පළමු තැන ඕස්ට්‍රේලියාවට ඉදිරියේ 2008 දී ලැබූ ලකුණු 74ත් සහ දෙවැනි තැන 2016 දී නවසීලන්තයේ දී ලැබූ ලකුණු 79ත් සටහන් වෙනවා. මේ සෑම තරගයකම ඉන්දියාව සංචාරක කණ්ඩායම් සේ නම් ලැබීම විශේෂයි. 

ඉන්දියාව අවසන් තරගයේ දී පළමු පන්දුවාර 10 අවසන් වන විට ලබා සිටියේ කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු 39ක් වන අතර එය ඉන්දීය කණ්ඩායමක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දී පළමු පන්දුවාර 10 දී රැස් කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද වාර්තා අතරට එක් වුනා. එමෙන් ම ඔවුන් එම ඉනිමේ දී වාර්තා කළේ හතරේ පහර 4ක් පමණක් වන අතර එය ද ඉන්දීය කණ්ඩායමක් විස්සයි විස්ස ඉනිමක දී වාර්තා කරන ලද අඩුම සීමා ලකුණු ප්‍රමාණයයි. 

ඉන්දියාව මෙම තරගාවලියට සහභාගී වන විට 2019 සිට තරගාවලි 8ක අපරාජිතයන් වී සිටියා. ඒ බටහිර ඉන්දීය කොදෙව් (2019), දකුණු අප්‍රිකාව (2019/20), බංග්ලාදේශය (2019/20), නැවතත් බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ (2019/20), ශ්‍රී ලංකාව (2019/20), නවසීලන්තය (2019/20), ඕස්ට්‍රේලියාව (2020/21) සහ එංගලන්තය (2020/21) සමඟයි. එහි දී තරග 28කට මුහුණ දෙන ඉන්දියාව ඉන් තරග 20ක් ජයග්‍රහණය කරනවා. පරාජිත තරග සංඛ්‍යාව 6ක් සහ නොවිසඳුන තරග 2ක් ද ඒ අතර වෙනවා.

තරගාවලිය සඳහා ඉන්දියාව මෙරටට පිවිසෙන්නේ Shikhar Dhawanගේ නායකත්වය යටතේ. එරට වෙනුවෙන් විස්සයි විස්ස නායකත්වයට පත් 7 වැනි නායකයා බවට පත්වෙන්නේ Dhawan. මේ කණ්ඩායමට නවක ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ම ඇතුලත් වුනා.  ශ්‍රී ලංකාව කෙරෙහි තැබූ අඩු ලංසුව හේතුවෙන් ඉන්දියාව මෙම කණ්ඩායම නම් කරන්නට ඇති අතර අවසානයේ කොරෝනා වසංගතය ද ඔවුන්ගේ අවාසියට හේතු වුණා.

ඒ තරගාවලිය අතර මග දී Krunal Padya කොරෝනා ආසාදිතයෙක් ලෙසින් නම් කිරීමත් සහ ඔහුත් සමඟ තවත් ක්‍රීඩකයන් 8 දෙනෙක් නිරෝධායනය ලක් වීමත් හේතුවෙන්. 

දෙරට අතර පැවති පළමු තරගයේ දී Prithvi Shaw, Varun Chakravarthy ඉන්දියාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගන්නා ලද අතර දෙවැනි තරගයේ දී Chetan Sakariya, Devdutt Padikkal, Nitish Rana, Ruturaj Gaikwad විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා ගන්නවා. තෙවැනි තරගයේ දී Sandeep Warrier ද නවකයෙක් ලෙසින් ඉන්දීය කණ්ඩායමට එක් වෙනවා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් කෝඩුකාරයෝ 7 දෙනෙක් ශ්‍රී ලංකාවට එරෙහිව පිටියට පිවිසෙනවා.

අඩු-වැඩි, නවක-ප්‍රවීණ භේදයක් නැත. තරගාවලියක තරගකාරීත්වයට එය බාධාවක් හෝ වෙන් කර තැබීය හැකි නිර්නායක නොවේ. එවැන්නක් වේ නම් මෙවැනි තරගාවලියක් පැවැතෙන්නේ ද නැත. දෙරටේ මෙන් ම ලෝක ක්‍රිකට් පාලකයන්ගේ ද අනුමැතිය ඇතිව පැවති තරගාවලිය දැන් අවසන්. එහි ජයග්‍රාහකයෝ ශ්‍රී ලංකාවයි.   

දිගින් දිගට ම පසු බැස්ස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට මේ ලැබූ ජයග්‍රහණය මහමෙරක් තරම් වටිනවා. දැන් ඇත්තේ ලැබූ මේ ජයග්‍රහණය මතින් අනාගතය දකින්න. ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ලෙසින් සේ ම වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙසින් අපි ඔබත් සමඟ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<