තරගය කණපිට ගැසූ ඉන්දීය කණ්ඩායමේ වික්‍රමය පැසසුමට!

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

353

කලකට පසු ජයග්‍රහණ ඉඩෝරයට තිත තබමින් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පසුපස අඩියට ඇඳ දැමීමට තිබූ අනගි අවස්ථාවක් ඊයේ (20) දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ගිලිහී ගියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය අනපේක්ෂිත අයුරින් කඩුලු 3කින් පරාජයට පත්වීමත් සමඟිනි.

පළමු තරගයේ දී සෑම අංශයකින්ම පාහේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තම අණසකට යටත් කර ගත් ඉන්දීය කණ්ඩායමට එරෙහිව කරට කර සටනක් ලබා දෙමින් ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ අවසන් භාගය දක්වාම වැඩි ගෞරව හිමිකරගෙන තිබුණේ ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම දෙසට පීඩනයේ වැඩි කොටසක් යොමු කරමිනි.

කෙසේ නමුත් පරාජයේ අභිමුව සිට ඉන්දීය කණ්ඩායම මුදවා ගනිමින් ඔවුන්ගේ ගැලවුම්කරුවා බවට පත්වීමට තුන් ඉරියව් ක්‍රීඩක Deepak Chahar සමත් වූයේ 8 වැනි කඩුල්ල සඳහා Bhuvneshwar Kumar සමඟ එක්ව ලකුණු 84ක නොබිඳුණු සබඳතාවක් ගොඩනඟමිනි. 

තවත් ක්‍රිකට් පුවත්:

අවසන් ඉලක්කය වෙත ළඟා වන තුරුම ජයග්‍රහණයේ බලාපොරොත්තු අත්නොහළ ඉන්දීය පිතිකරුවන්ගේ අධිෂ්ඨානශීලී ක්‍රීඩා විලාශය පිළිබඳව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Rahul Dravid මහතා තරගයෙන් අනතුරුව පැවති කෙටි කණ්ඩායම් හමුවේ දී පැසසුමට ලක් කළේ දිනය අවසානයේ දී තරගයේ ජය පරාජය කුමන අතට දෝලනය වූවත් තම ක්‍රීඩකයින් පිටිය මැද ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව තමන් සෑහීමකට පත්වන බවයි. 

“අවසන් මොහොත දක්වා සටන අත්නොහැර ක්‍රීඩා කරපු එකේ අවසන් ප්‍රතිඵලය විදියට ජයග්‍රාහී සටහනකින් තරගය අවසන් කරන්න කණ්ඩායමක් විදියට අපිට හැකියාව ලැබුණා. ඒ මානසිකත්වය ඉදිරියේ දී මුහුණ දෙන්න තියෙන අසීරු තරගවල දී ඉතාමත් වැදගත් වේවි. සියලු දෙනාම තමන්ට පැවරුණු රාජකාරිය හොඳින් ඉටු කළා.”

මෙහි දී ඉන්දීය කණ්ඩායම ජය කණුව වෙත රැගෙන යාමේ පුරෝගාමියා බවට පත් වූ Deepak Chahar පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද තමන්ට අවැසි කාර්‍යභාර්‍ය මැනවින් ඉටු කළේ ශ්‍රී ලංකා ඉනිමේ වැදගත් කඩුලු දෙකක් තම නම ඉදිරියේ සටහන් කරගනිමිනි. පන්දු 82ක් තුල දී ඉතාමත් සංයමයෙන් සහ උපක්‍රමශීලීව ඔහු විසින් නොදැවී රැස්කළ ලකුණු 69 තරගයේ ඉරණම විසඳූ තීරණාත්මක සාධකය බවට පත්විය.

“අපි මේ හමුවෙන් පස්සේ තරගය ගැන සවිස්තරාත්මකව විග්‍රහ කරන නිසා තනි තනිව දක්වපු දක්ෂතා ගැන කථා කරන්න ඒ කාලවේලාව වෙන් කරගමු. නමුත් මට මේ වේලවේ දී පෙන්වලා දෙන්න ඕනෑකම තිබුණේ කණ්ඩායමක් විදියට අපි හැමෝම එකතු වෙලා එකම අරමුණකින් ක්‍රීඩා කරපු ආකාරය ගැනයි. ඇත්තටම අපි ඒ වැඩේ ඉතාමත් හොඳින් සිද්ධ කළා.”

“මම දැනගෙන හිටියා පළමු තරගයේ පරාජයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම අද ක්‍රීඩා පිටියට එන්නේ හොඳ තරගයක් ලබා දෙන අරමුණෙන් කියලා. අපි එල්ල වෙන්න පුළුවන් අභියෝගයට කල්තියාම සූදානම් වුන නිසා අවම හානියකින් තරගයේ ජයග්‍රහණය අපේ දිහාවට හරවා ගන්න පුළුවන්කම ලැබුණා” යනුවෙන් පවසමින් Dravid සිය කණ්ඩායම් හමුව අවසන් කරන අයුරු BCCIය විසින් සිය සමාජ මාධ්‍ය ඔස්සේ පළකර වීඩියෝවක සටහන්ව තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<