චන්දිමාල් දෙවැනි දිනයටත් කඩුල්ල රැක ගනී 

Sri Lanka tour of West Indies

3
Sri Lanka tour of West Indies Day 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ පුහුණු තරගය අද (20) 2 වැනි දිනටත් Antigua හි Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහි දී පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 173ක් ලබා සිටියා.  

ඒ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් කණ්ඩායම තම පළමු ඉනිමට ලබා ගත් ලකුණු 205 පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමිනුයි.  

අද තරගය ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 38ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී නිශාන් මදුශ්ක නොදැවී ලකුණු 25ක් ද සහ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 5ක් ද ලබා සිටියා .  

දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී යන්නේ නිශාන් මදුශ්ක. ඔහු දැවී යන විට පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටියා. නිශාන් මදුශ්ක සහ දිනේෂ් චන්දිමාල් අතර 2 වැනි කඩුල්ලට එක් කළ සබඳතාව පන්දු 71ක දී ලකුණු 67ක්. 

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි පසිඳු සූරියබණ්ඩාර පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14කට ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී ගියා.  

ඉන් අනතුරු ව දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා හා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 69ක දී ලකුණු 59ක් එක් කරනවා. එම සබඳතාව නිමා කරමින් ධනංජය ද සිල්වා දැවී යද්දී පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.  

අද දවස තුළ තරගයේ පන්දුවාර 36ක් පමණක් යැවුණ අතර ඒ වෙද්දී තරගය නතර වෙද්දී දිනේෂ් චන්දිමාල් පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ද සහ සොනාල් දිනූෂ පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 5ක් ද ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Keemo Paul ලකුණු 48කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Alzarri Joseph සහ Nial Smith කඩුල්ලක් බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XI කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (61.4) Kirk McKenzie 58, Kevin Wickham 20, Keemo Paul 36, Nial Smith නොදැවී 19, අසිත ප්‍රනාන්දු 2/26, ලහිරු කුමාර 4/39
  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 173 (44.0) නිශාන් මදුශ්ක 46, දිනේෂ් චන්දිමාල් නොදැවී 54, ධනංජය ද සිල්වා 34, Keemo Paul 2/48

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 32ක් පිටුපසින්. 

හෙට (21) තරගය 3 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<