බංග්ලාදේශ නායකයා උපේක්ෂාවෙන් පරාජය බාර ගනී

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

531

ඉන්දියාවට එරෙහිව ඊයේ පැවති විස්සයි විස්ස තරගය අතර මැද ඇද හැළුණු වර්ෂාව සහ ඒ නිසා තෙත බරිත වී ලිස්සන සුළු ස්වභාවයක් ගත් තණතිල්ල, තරග පරාජයට හේතූන් ලෙස හුවා දැක්වීම බංග්ලාදේශ නායකයා විසින් ප්‍රතිකශේප කරනු ලැබුවා.

එමෙන්ම බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් ඊයේ තරගය වර්ෂාව නිසා නැවැත්වීමෙන් පසුව නැවත ඉක්මනින් ආරම්භ කිරීම පිළිබඳව ද චෝදනා නැගීමක් සිදු නොකළ අතර ඒ වෙනුවට ඔහු පැවසුවේ වර්ෂාවෙන් අනතුරුව ඕනෑම කණ්ඩායමක් පහසුවෙන් හඹා යාවි යැයි විශ්වාස කරන ඉලක්කයක් DLS න්‍යාය අනූව තමන්ට හිමි වුනත්, එය හඹා යාමේ දී ඔවුන් අනවශ්‍ය ලෙස කලබල වූ බවයි.

තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම විසින් ලබා දුන් ලකුණු 185ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශය විශිෂ්ට ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනා.

එහි දී Litton Dasගේ පිත්තෙන් පන්දු 26කින් ලකුණු 59ක් බංග්ලාදේශ ඉනිමට එකතු වෙද්දී, ඉනිමේ 7 වැනි පන්දුවාරයේ දී පිටියට පතිත වූ වර්ෂාව හේතුවෙන් එම අනර්ඝ ඉනිමට බාධා එල්ල වුනා.

ඒ වන විට බංග්ලාදේශ කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 66ක් ලබා සිටි අතර, 7 වැනි පන්දුවාරය නිමා වෙද්දී DLS න්‍යාය අනූව ඔවුන්ට ලබා ගත යුතුව තිබුණේ ලකුණු 49ක් පමණයි. ඒ අනුව ඔවුන් ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 17ක් ඉදිරියෙන් පසු වුනා.

වර්ෂාවෙන් පසුව තරගය ආරම්භ වූ පසු යැවූ පළමු පන්දු දෙකේ දී ම Das විසින් දෙවරක් පිටියේ දුවද්දී ලිස්සා ගිය අතර, දෙවැනි වර ඔහුගේ ලිස්සා යාම අවසන් වූයේ ඉනිමේ පළමු කඩුල්ල ලෙස Das දුවද්දී දැවී යාමෙන්.

එතැන් පටන් ආරම්භ වූ බංග්ලාදේශ කණ්ඩායමේ බිඳ වැටීම නිසා ඔවුන්ට ඉතිරි පන්දුවාර 9ක දී ලබා ගැනීමට ඉතිරිව තිබූ ලකුණු 85 රැස් කිරීමට නොහැකි වූ අතර, ඔවුන්ට ලකුණු 5ක පරාජයක් අත් විඳීමට සිදු වුනා.

“අපේ ක්‍රීඩාගාරයේ හිටි කිසිම කෙනෙක් සාධාරණ හෝ අසාධාරණයක් ගැන කතා කළේ නැහැ, අපිට අවශ්‍ය වුනේ ක්‍රීඩා කරන්න, අපිට අවශ්‍ය වුනේ දිනන්න, හැමෝම තමන්ගේ උපරිමයෙන් උත්සාහ කළා. ඒත් අපිට ලකුණු කිහිපයක් මදි වුනා,“ තරගය වර්ෂාවෙන් පසු නැවත ආරම්භ කිරීම පිළිබඳ Shakib Al Hasan විසින් එලෙස පවසා සිටියා.

වර්ෂාවෙන් පසුව තරගය ආරම්භ කිරීමට පෙර පිටිය ලිස්සන සුළු වූවා ද, තරගය තවත් මිනිත්තු 10-15ක් පසුවී ආරම්භ කළා නම් කියා ඔවුන් බලාපොරොත්තු වූවා ද යන්න Shakibගෙන් ඇසූ කළ ඔහු මෙසේ පිළිතුරු ලබා දුන්නා.

“ඒක විනිසුවරුවන්ගේ තීරණය, අපි තීරණ ගන්නේ නැහැ. අපි එතනට ගියේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න. කණ්ඩායම් දෙකටම අවශ්‍ය වෙලා තිබුණා පන්දුවාර 20ම ක්‍රීඩා කරන්න. අවාසනාවන්ත විදිහට වර්ෂාව ඒකට බාධාවක් වුනා.

කණ්ඩායම් දෙකම ක්‍රීඩා කළ ආකාරය ගැන මට සතුටුයි. කණ්ඩායම් දෙකම හොඳ හැඟීමකින්, ඉතාම හොඳින් ක්‍රීඩා කළා. 2016 ලෝක කුසලානයේ දී වගේම අපි ළඟටම ආවා. ඒත් එය ප්‍රමාණවත් වුනේ නැහැ.

ඇද හැළුණු වර්ෂාවත් එක්ක ක්‍රීඩා පිටියේ ටිකක් විතර ලිස්සන සුළු ස්වභාවයක් තිබුණා, නමුත් ඒක වැඩියෙන්ම වාසිදායක වෙන්නේ පිතිකරණයේ යෙදෙන කණ්ඩායමට, නැතුව පන්දු යවන කණ්ඩායමට නෙවෙයි. අපි ඒක නිදහසට කරුණක් කර නොගත යුතුයි.”

එමෙන්ම තවදුරටත් අදහස් දක්වමින් Shakib පවසා සිටියේ පළමු වතාවේ ලිස්සා යාමෙන් අනතුරුව Dasට ඒ පිළිබඳ අවධානයෙන් සිටීමට තිබූ බවත්, ඔහුට තණකොළ මත නොදුවා, තණ තීරුව අද්දරින් දිවීම කළ යුතුව තිබූ බවත් ය.

Das දෙවැනි ලකුණ වෙනුවෙන් දිව යාමට සැරසෙන අවස්ථාවේ ඔහු ලිස්සා ගිය නමුත් ඊට පෙර පන්දුවේ දී දිවීමට ගොස් ඇද වැටී අතේ මැණික් කටුව තුවාල වූ තරම් අවදානමක ඔහු එවර පසු නොවූ බවත් Shakib පවසා සිටියා. ඒ නමුත් KL Rahul හට පන්දුව කෙළින්ම කඩුල්ලට එල්ල කරීමට තරම් Dasගේ එම ලිස්සීමෙන් අහිමි වූ කාලය ප්‍රමාණවත් වූ බව ද Shakib පවසා සිටියා.

Littonගේ ලිස්සා යාම අවාසනාවන්ත සිදු වීමක්, නමුත් මම දන්නේ නැහැ ඔහු දිව ගියේ තණතීරුව තුල ද, එහෙම නැත්නම් තණකොළ මතින් ද කියන දෙය. ඔහු දිව්වේ තණකොළ මතින් නම් ඔහුට තවත් ආරක්ෂාකාරී වෙමින් තණතීරුවට ඇතුල් වෙලා දුවන්න තිබුණා.”

තරගය නැවත පටන් ගැනීමෙන් පසුව ඔවුන් ඉක්මන් ප්‍රහාර සඳහා එළඹුණු හේතුව පිළිබඳව ද මාධ්‍ය විසින් විමසා සිටියා. එහි දී Shakib මෙසේ පිළිතුරු ලබා දුන්නා.

“කලබල වීම සහ අත්දැකීම් නොමැති වීම යන හේතු දෙකම බලපෑවා. අපි ක්‍රීඩාගාරයේ ගොඩක් විවේකීව, සැහැල්ලුවෙන් කාලය ගත කරා. අපි දැන ගෙන හිටියා අපේ ඉදිරියට එන අභියෝගය කුමක්ද කියලා. අපිට ලකුණු 85ක ඉලක්කය ලැබුනාම අපි කිවුවේ එය ලබා ගනිමු කියලයි.

අපි කඩුලු අතැතිවයි සිටියේ, ඒ වගේම Bhuviගේ පන්දුවාර බොහෝ දුරට අවසන් වෙලයි තිබුණේ (Bhuvneshwar Kumar ඒ වන විට පන්දු වාර තුනක් යවා තිබුණා). අපි ඒ අභියෝගය භාර ගත්තා, නමුත් අවාසනාවකට අපිට ඒක ඉවර කරන්න බැරි වුනා.”

මෙම හඹා යාම අතරතුර එක් අවස්ථාවක බංග්ලාදේශයට පන්දුවාර පහක් තුල කඩුලු 8ක් අතැතිව ලබා ගැනීමට ඉතිරිව තිබුණේ ලකුණු 52ක් පමණයි.

“ගොඩක් කණ්ඩායම් එවැනි ඉලක්ක සපුරා ගන්නවා, අපි එය හඹා යා යුතුව තිබුණා. මම හිතුවා අපිට පුළුවන් වේවි කියලා. නමුත් අවාසනාවකට එය සිදු වුනේ නැහැ. අපේ මැදපෙළ කලබල වුනා, ඕනෑවට වඩා පහරවල් එල්ල කරා. අපිට තිබුණු ඒ ගැම්ම පන්දුවාර දෙක තුනකින් නැති වෙලා ගියා.

ඒත් Nurul [Hasan] සහ Taskin [Ahmed] නැවතත් තරගය අපේ පැත්තට ගෙනාවා. විස්සයි විස්ස තරග හැම පන්දුවාරයකින්ම වෙනස් වෙනවා. ඔබ මේ තරගවල අවසන් ඕවර දෙක දිහා බලනවා නම් ගොඩක් කණ්ඩායම් ලකුණු 30 පමණ රැස් කරනවා, අපිට ඒ දේ කරන්න බැරි වුනා. නමුත් අපිට මේ තරගයෙන් ගොඩක් ධනාත්මක දේවල් ලබා ගන්න පුළුවන්.”

තරගයෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියට පැමිණි බංගලාදේශ නායකයා ඔහුගෙන් මාධ්‍ය විමසූ ප්‍රශ්න වලට එසේ පිළිතුරු ලබා දුන්නා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPNcricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<