පාසල් 36ක් අතරින් පාසල් 16ක් තීරණාත්මක ඉදිරි තරග වටයට

19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022/23

1705

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය මේ වන විට අවසන් වී තිබෙනවා.

ඒ අනුව Tier A සහ Tier B යන කාණ්ඩ ද්විත්වයෙන්ම පාසල් 16ක් (එක් කොටසකින් පාසල් 8ක්) අර්ධ අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

Tier A කොටසේ X කාණ්ඩයෙන් කොළඹ මහානාම විද්‍යාලය, සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගියවර Tier A කොටසේ එක්දින ශූරතාවය දිනා ගත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන අතර රිච්මන්ඩ්, මොරටුව සාන්ත සෙබස්තියන්, කුරුණෑගල මලියදේව සහ මහනුවර සාන්ත අන්තෝනි යන විද්‍යාලය Y කාණ්ඩයෙන් ඉදිරි වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

මහානාම විද්‍යාලය X කාණ්ඩයේ පෙරමුණ දිනා ගනිමින් මූලික වටය අවසන් කළේ ක්‍රීඩා කළ තරග 8න් 6ක් ජයග්‍රහණය කරමින් වන අතර සාන්ත බෙනඩික්ට් සහ ත්‍රිත්ව විද්‍යාල තරග 4 බැගින් ජයග්‍රහණය කරමින් දෙක එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගත්තේ දල ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) අනුවයි.

එසේම සාන්ත ජෝසප් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර ප්‍රසාද ලකුණු සටහනේ දී ඉතාමත් උණුසුම් සටනක් නිර්මාණය වූ අතර කණ්ඩායම් දෙකම තරග 4 බැගින් ජයග්‍රහණය කරමින් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය (Average Points) අතින් ද එක හා සමාන වුනා.

කෙසේ නමුත් අවසානයේ දී දල ලකුණු ලබා ගැනීමේ වේගය සහ සාන්ත ජෝසප් – රාජකීය තරගය සාන්ත ජෝසප් කණ්ඩායම ජයග්‍රහණය කිරීමේ සාධක දෙක අනුව  X4 ස්ථානය දිනා ගන්නට සාන්ත ජෝසප් විද්‍යාලයට හැකියාව ලැබුණා.

Tier A කොටසේ Y කාණ්ඩයේ පෙරමුණ දිනා ගත්තේ ගියවර අනුශූරතාවය දිනා ගත් රිච්මන්ඩ් කණ්ඩායමයි. ඔවුන් තරග 8ක් ක්‍රීඩා කරමින් ඒ තරග සියල්ලම ජයගෙන අපරාජිතව මූලික වටය අවසන් කළේ පෙරළිකාර දස්කම් රැසක් විදහාලමින්.

තරග 5 බැගින් ජය ගත් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය අනුව පිළිවෙළින් එහි දෙවැනි (Y2) සහ තෙවැනි (Y3) ස්ථාන දිනා ගන්නා විට, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය තරග 4ක් ජයගෙන එහි Y4 ස්ථානය දිනා ගත්තා.

ඒ අනුව ගියවර කාණ්ඩයන් Tier A කොටසේ කාණ්ඩ තුනක් යටතේ පැවති මූලික වටය තරග අදියර හා සසඳා බැලීමේ දී අර්ධ අවසන් පූර්ව තරග වටයට වරම් දිනා ගත් නාලන්දා, වෙස්ලි සහ ද මැසනොඩ් යන විද්‍යාලවලට මෙවර අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකිව තිබෙන අතර ඒ වෙනුවට සාන්ත සෙබස්තියන්, ත්‍රිත්ව සහ මලියදේව යන විද්‍යාල මෙවර අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබීම කැපී පෙනෙනවා.

Tier B කොටසට අවධානය යොමු කිරීමේ දී X කාණ්ඩයෙන් ගියවර ශූරතාවය දිනා ගත් සාන්ත පීතර, ඉසිපතන, සාන්ත සර්වේසස්, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් යන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා විට, මාරිස් ස්ටෙල්ලා, මහින්ද, ගියවර අනුශූරතාවය දිනා ගත් තර්ස්ටන් සහ දේවපතිරාජ විද්‍යාල Y කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

සාන්ත පීතර විද්‍යාලය අපරාජිතව X කාණ්ඩයේ පෙරමුණ දිනාගෙන සිටින්නේ තරග 8ම ජයග්‍රහණය කරමින්. ඉන් අනතුරුව පිළිවෙළින් තරග 7ක්, තරග 6ක් සහ තරග 5ක් ජය ගත් ඉසිපතන, සාන්ත සර්වේසස්, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාල පිළිවෙළින් X2, X3 සහ X4 ස්ථාන දිනා ගත්තා.

එහි Y කාණ්ඩය වෙත අවධානය යොමු කිරීමේ දී පළමු ස්ථාන 4 සඳහා අනිකුත් සියලුම කාණ්ඩවලට වඩා වැඩි උණුසුමක් සහ වැඩි තරගකාරීත්වයක් නිර්මාණය වී තිබුණා.

තරග 6 බැගින් ජය ගත් පාසල් 3ක් සිටි අතර ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය, මහින්ද විද්‍යාලය තර්ස්ටන් හමුවේ තරග ජයග්‍රහණය කිරීමේ සාධක සැලකිල්ලට ගනිමින් මාරිස් ස්ටෙල්ලා (Y1), මහින්ද (Y2), තර්ස්ටන් (Y3) විද්‍යාල පිළිවෙළින් එහි පළමු ස්ථාන තුන දිනා ගන්නා විට, තරග 4ක් ජය ගත් දේවපතිරාජ විද්‍යාලය එහි Y4 ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

ඒ අනුව ගියවර කාණ්ඩයන් Tier B කොටසේ කාණ්ඩ තුනක් යටතේ පැවති මූලික වටය තරග අදියර හා සසඳා බැලීමේ දී අර්ධ අවසන් පූර්ව තරග වටයට වරම් දිනා ගත් මොරටු මහා විද්‍යාලය, ලුම්බිණි සහ සාන්ත සිල්වෙස්ටර් යන විද්‍යාලවලට මෙවර අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකිව තිබෙන අතර ඒ වෙනුවට සාන්ත සර්වේසස්, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් සහ දේවපතිරාජ යන විද්‍යාල මෙවර අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබීම කැපී පෙනෙනවා.

Tier A කොටසේ අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වීමට නියමිතව තිබෙන ආකාරය,

  • Quarter Final 1 – මහානාම විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය
  • Quarter Final 2 – කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය
  • Quarter Final 3 – මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය
  • Quarter Final 4 – මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

Tier B කොටසේ අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වීමට නියමිතව තිබෙන ආකාරය,

  • Quarter Final 1 – බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය
  • Quarter Final 2 – ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය
  • Quarter Final 3 – මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය
  • Quarter Final 4 – වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

පෙර වසරවල දී මෙන්ම මෙවරත් මේ එක්දින පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලම රතු පන්දුවෙන් සහ සුදු ක්‍රීඩා ඇඳුම් භාවිතයෙන් පැවැත්වූ නමුත් මෙතැන් සිට මේ තරග සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ සුදු පන්දුවෙන් සහ වර්ණ ක්‍රීඩා ඇඳුම් භාවිතයෙන්.

එසේම මේ සියලුම අර්ධ අවසන් පූර්ව වටයේ තරග මේ මස 20 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු අතර තරගාවලියේ සියලුම උණුසුම් තොරතුරු ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<