උඩපන්දු සමඟ ශ්‍රී ලංකාවෙන් තරගාවලි ජයත් ගිලිහී යයි

Sri Lanka Tour of West Indies 2026

11
Sri Lanka Tour Of West Indies 2026

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වුණු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (15) දිනයෙන් නිමාවට පත් වුනා.

තරගාවලියේ තෙවැනි තරගය අද උදෑසන ආරම්භ වූ අතර, මෙම තරගයේ කාසියේ වාසිය ද කොදෙව්වන් සතු වුනා. ඒ අනුව ශ්‍රී ලංකාවට තරගයේ පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව හිමි වූ අතර, එහි දී පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළා. කෙසේ නමුත් අද දිනයේ දී ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දීමට ඔවුන් දෙදෙනා සමත් නොවූ අතර, මෙන්ඩිස් ලකුණු 05ක් ලබමින් පිටියෙන් ඉවත් වුනා. එමෙන්ම පැතුම් පන්දු 17කින් ලකුණු 25ක් ලබා ඉතා හොඳ ආරම්භයක් ලබාගත්ත ද එය දිගටම පවත්වා ගෙන යාමට ඔහුට නොහැකි වුනා.

මේ අතර කමිල් මිශාර ද පන්දු 23කින් ලකුණු 28ක් ලැබූ නමුත්, එය ද දීර්ඝ ඉනිමක් බවට පත් නොවූ අතර, කමිඳු මෙන්ඩිස් ද ලකුණු 20ක් ලබමින් ඉනිමට දායක වුනා.

කෙසේ වෙතත් මේ එකදු පිතිකරුවකු හෝ දීර්ඝ ඉනිමක් දියත් නොකිරීම මත ඉනිමේ 6 වැනි කඩුල්ල ද ලකුණු 111ක් තුළ බිඳ වැටුණු අතර, මේ මොහොතේ කඩුල්ලේ එක් වූ වනිඳු හසරංග සහ දුනිත් වෙල්ලාලගේ විසින් හත් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිමට අවශ්‍ය ස්ථාවරත්වය ලබා දීමට සමත් වුනා.

මෙහි දී වනිඳු පන්දු 13කින් ලකුණු 21ක් ලබාගන්නා අතරේ, දුනිත් පන්දු 28කින් ලකුණු 43ක් ලබමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 169ක් කරා රැගෙන යාමට සමත් වුනා.

ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීමේ පුරෝගාමියා වූ Shamar Joseph විසින් ලකුණු 33කට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වීමත් විශේෂත්වයක්.

මින් පසුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට අවතීර්ණ වූ නමුත්, කොදෙව් ඉනිමේ ලකුණු 53ක් සටහන් වන විට ඔවුන්ගේ කඩුලු 04ක් බිඳ හෙළීමට දුනිත්, වනිදු සහ මහීෂ් තීක්ෂණ විසින් සමත් වුනා.

මේ මොහොතේ කඩුල්ලේ එක් වූ Rovman Powell සහ Sherfane Rutherford විසින් ඉනිමේ 05 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක සබඳතාවක් පැවැත්වීමට සමත් වූ අතර, මෙම අතරවාරයේ දී කොදෙව්වන් විසින් ලබ දුන් පහසු උඩ පන්දු ද්විත්වයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් අත හැරී යාම ශ්‍රී ලංකාවට පහසු ජයක් වෙත යාමට තිබූ අවස්ථාව අවහිර කළා.

මෙහි දී Powell විසින් ලකුණු 33ක් ලබාගැනීමෙන් පසුව දුශ්මන්ත චමීර හමුවේ උඩ පන්දුවක් ලබා දෙමින් පිටියෙන් ඉවත් වුනා. කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියට පිවිසි Jason Holder විසින් පන්දු පහක් පමණක් ක්‍රීඩා කරමින් හයේ පහර තුනක් ද සමඟ ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම Rutherford විසින් නොදැවී ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වූ අතර, කොදෙව්වන් විසින් පන්දුවාර 19.4ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී නියමිත ඉලක්කය හඹා යාමට සමත් වුනා.

මෙහි දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන වේග පන්දුයවන ක්‍රීඩක දුශ්මන්ත චමීරට කොදෙව්වන් විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ අතර, ඔහුගේ පන්දු වාර 4 තුළ කොදෙව්වන් විසින් ලකුණු 64ක් ඩැහැ ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ වනිඳු ලකුණු 17කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙස ද Shamar Joseph විසින් සම්මාන දිනා ගැනීමට සමත් වුනා.

එමෙන්ම දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය  2-1ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුනා.

මින් අනතුරුව එළඹෙන 25 වැනි දා දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<