දිමුත් සහ ශානකගෙන් විස්සයි විස්ස ගිනිකෙළි

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය 2021

482
Image Credits - SLC Media

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර සූදානමක් ලෙසින් පැවැත්වෙන පුහුණු තරග යටතේ අද (20) කොළඹ එස්. එස්. සී. පිටියේ පැවති විස්සයි-විස්ස දෙවන පුහුණු තරගයේ දී දිමුත් කරුණාරත්න ලකුණු 89ක් වාර්තා කරමින් පිතිකරුවන් අතර කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වුනා.

පන්දු 53ක් තුල වාර්තා වූ කරුණාරත්නගේ ඉනිම සඳහා එක් හයේ පහරක් සහ හතරේ පහර 14ක් ඇතුළත් වුනා. තමා මුහුණ දුන් 29 වැනි පන්දුවේ දී අර්ධ ශතකය සම්පූර්ණ කර ගත් කරුණාරත්නට, වේගපන්දු යවන දුෂ්මන්ත චමීරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල වැදීම හේතුවෙන් ශතකය අහිමි වී ගියා.

තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට කරුණාරත්න සමත් වුවද, ලකුණු 195ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේ දී අශේන් බණ්ඩාර හැරුණු කොට සෙසු පිතිකරුවන්ගේ දායකත්වය නොලැබී මත දසුන් ශානකගේ කණ්ඩායම හමුවේ ලකුණු 19ක පරාජයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වුනා. යොවුන් ක්‍රීඩක අශේන් බණ්ඩාර පන්දු 31ක දී ලකුණු 41ක් ලබා ගත්තා.

තවත් ක්‍රිකට් පුවත්:

 

පන්දු යැවීමේ දී දක්ෂතා දැක්වූ දුෂ්මන්ත චමීර පන්දුවාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 23කට කඩුලු 4ක් දවා ගනිමින් කරුණාරත්නගේ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දැඩි බලපෑමක් එල්ල කළා. චමීරට අමතරව නුවන් ප්‍රදීප් ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තා. ඔවුන් දෙදෙනාගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී රැස් කරගත්තේ ලකුණු 175ක් පමණයි.

මේ පුහුණු තරග මාලාව යටතේ ඊයේ (19) පැවති එක්දින තරගයේ දී ලකුණු 149ක් රැස් කරගත් දිනේෂ් චන්දිමාල් සහ ලකුණු 51ක් රැස් කරගත් දසුන් ශානක අද දිනයේ දී යළිත් විස්සයි විස්ස තරග රටාවට අනුගත වෙමින් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනුණා.

එහි දී චන්දිමාල් හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමඟින් පන්දු 38ක දී ලකුණු 55ක් ද, දසුන් ශානක පන්දු 27ක දී වේගවත් ලකුණු 62ක් ද රැස් කළා. හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් එල්ල කළ ශානක, තමා මුහුණ දුන් 23 වැනි පන්දුවේ දී අර්ධ ශතකය ඉක්මවා ගියා.

පළමු පුහුණු විස්සයි විස්ස තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් දනුෂ්ක ගුණතිලක ලකුණු 14ක් ලබා සිටිය දී ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවී ගිය ද, අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් පැතුම් නිස්සංක ලකුණු 41ක් ලබා ගනිමින් නැවතත් සාර්ථක රිද්මයක් ගොඩනංවා දුන්නා. පන්දු 27කින් සමන්විත වුනු පැතුම්ගේ මේ ඉනිම සඳහා එක් 6 පහරක් සහ හතරේ පහර 5ක් ඇතුළත් වුනා.

මේ තරගය සඳහා ක්‍රීඩා කළේ පසුගිය දා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී වී ඉන් සමත් වූ ක්‍රීඩකයින් පමණයි. එසේම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරි දින කිහිපය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කරනු ඇති අතර ඉන් පසුව කොදෙව් සංචාරය සඳහා යන ශ්‍රී ලංකා සංචිතය නම් වනු ඇත.

විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විත මේ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මේ මස 23 වැනිදා කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව සිටිනවා.

දසුන් ශානක XI පන්දුවාර 20ක දී කඩුලු 4 ට ලකුණු 194 – දසුන් ශානක 62*, දිනේෂ් චන්දිමාල් 55, පැතුම් නිස්සංක 41, දනුෂ්ක ගුණතිලක 14, කමිඳු මෙන්ඩිස් 13, ලහිරු කුමාර 2/35, ලක්ෂාන් සඳකැන් 1/24, විශ්ව ප්‍රනාන්දු 1/32.

දිමුත් කරුණාරත්න XI පන්දුවාර 20ක දී කඩුලු 8ට ලකුණු 175 – දිමුත් කරුණාරත්න 89, අෂේන් බණ්ඩාර 41, ඕෂද ප්‍රනාන්දු 10, තිසර පෙරේරා 14, දුෂ්මන්ත චමීර 4/23, නුවන් ප්‍රදීප් 2/19, වනිඳු හසරංග 1/39

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<