Shakib නවසීලන්ත සංචාරයෙන් ඉවත් වෙයි

181

ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිතව ඇති බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය සඳහා බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan සහභාගී නොවන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දෙන ලදි.

ඔහුගේ දරුවාගේ උපත වෙනුවෙන් සිය බිරිඳ සමඟ කාලය ගත කිරීමට ඔහු විසින් පීතෘත්ව නිවාඩු (paternity leave) ලබා දෙන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉල්ලා තිබූ අතර එය සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරය හිමිව තිබුණි.

මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙහෙයුම් කළමනාකරු Akram Khan ප්‍රකාශ කර සිටියේ එම තීරණය ගැනීමට පෙර බංග්ලාදේශ ක්‍රිකට් සභාපති Nazmul Hassan ඒ පිළිබඳව Shakib සමඟින් සාකච්ඡා කළ බවයි.

“Shakib නවසීලන්තයට යන්නේ නැහැ, ඔහු නිවාඩු ඉල්ලා සිටියා ඔහුගේ බිරිඳ සමඟින් කාලය ගත කිරීමට. අපගේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව අප නිවාඩු අනුමත කර සිටියා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

වසරක තරග තහනමකින් පසුව පිටියට පිවිසි Shakib නිමා වු බටහිර ඉන්දීය කොදෙව්වන් අතර මුල් තරගයේ දී ආබාධයකට ලක් වූ අතර ඔහු මේ වන විට බංග්ලාදේශ ක්‍රිකට් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.

තවත් ක්‍රිකට් පුවත්: 

එමෙන්ම නවසීලන්ත සංචාරය පිළිබඳව අදහස් දක්වමින් Akram Khan ප්‍රකාශ කර සිටියේ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය අවසන් වී දින 9ක් ඇතුළත කණ්ඩායම පිටත් වීමට සූදානම් බවත්, ක්‍රීඩකයන්ට සිය පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගතකිරීමට ඉඩ ලබාදීම නිසාවෙන් බංග්ලාදේශය තුළ පුහුණු කඳවුරක් නොපවත්වන බවයි.

“බංග්ලාදේශය තුළ පුහුණු කඳවුරක් පැවැත්වීමට තියෙන ඉඩකඩ ඉතාමත් අඩුයි. ක්‍රීඩකයන් සෑම විටම නිරෝධායන ජෛව ආරක්ෂිත බුබුලක් තුළ තබා ගැනීම ඉතාමත් අපහසු දෙයක්.  ඒ නිසා කොදෙව් තරගාවලියෙන් පසුව අප ඔවුන්ට නිවාඩු ලබා දෙනවා. එයින් පසු ඔවුන් නවසීලන්තය ගෙන ගොස් පුහුණුවීම් ආරම්භ කරන්න සූදානම්” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

එක්දින තරග 3කින් සහ පන්දුවාර 20 තරග තුනකින් සමන්විත බංග්ලාදේශ කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ මුල්ම තරගය මාර්තු මස 20 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <