IPL වෙන්දේසියට ස්ථාන පහක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

186

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීම සඳහා ස්ථාන පහක් මේ වන විට යෝජනා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ලබන වසරේ තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ඉස්තාම්බුල්, බැංගලෝර්, නවදිල්ලිය, මුම්බායි සහ හයිද්‍රාබාද් යන නගර යෝජනා වී තිබෙනවා.

කෙසේ නමුත් ඒ පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති අතර තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ නව ප්‍රධානී Arun Singh Dhumalගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමෙන් අනතුරුව එම තීරණය ගැනීමට නියමිතයි.

“තවමත් අවසන් තීරණයක් අරගෙන නැති වුනත්, අපි ඉස්තාම්බුල් වල ඒක පවත්වන්න බලාගෙන ඉන්නේ. කොරෝනා නිසා අපිට කණ්ඩායම් නිලධාරීන් සහ අනෙක් නිලධාරීන් නිදහස් වටපිටාවක හම්බෙන්න පුළුවන් වුනේ නැහැ. නමුත් මේ පාර අපිට එහෙම හම්බෙන්න පුළුවන්. ඉතින් අපි තරගාවලියට අදාළ පාර්ශවයන් හැමෝම එක්ක සාකච්ඡා කරලා අවසන් තීරණයක් ගන්නවා.”

ලබන වසරේ තරගාවලිය සඳහා අතුරු වෙන්දේසියක් (ප්‍රධාන වෙන්දේසිය පසුගිය වසරේ පැවැත්වුවා) පැවැත්වීමට නියමිත අතර සියලූම කණ්ඩායම් වලට රඳවා ගන්නා ක්‍රීඩක ලැයිස්තුව නොවැම්බර් 15 වැනදාට පෙර ලබා දෙන ලෙස ද දන්වා තිබෙනවා.

එමෙන්ම මෙවර වෙන්දේසිය සඳහා සහභාගී වන කණ්ඩායම්වල මුදල ඉන්දීය කෝටි 90 සිට 95 දක්වා ඉහළ දමා තිබීම ද විශේෂත්වයක්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<