සුපිරි තරු එක්වන ක්‍රිකට් සටනට ශ්‍රී ලංකාවෙන් තවත් තරු තුනක්

Road Safety World Series 2021

760
Sri Lanka Legends team

ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුල සිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් එක්කාසු කර ගනිමින් “Road Safety World Series විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය” නම් අලුත් ක්‍රිකට් තරගාවලියක් පසුගිය වසරේ දී ආරම්භ වුනා. 

ගෝලීය වශයෙන් පැතිර ගිය නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නිසා තාවකාලිකව නවතා දැමුණු එම තරගාවලිය මාර්තු 2 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන රසල් ආනෝල්ඩ්, නුවන් කුලසේකර සහ ධම්මික ප්‍රසාද් එක්වීමට නියමිත බව වාර්තා වෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ අනුව තරගාවලිය මීට පෙර පැවති මුම්බායි නුවර Wankhede සහ DY Patil ක්‍රිකට් පිටියේ දී නොපවත්වා, Raipur හි Shaheed Veer Narayan Singh ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

2020 මාර්තු 7 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ මේ ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදි ආරම්භ කිරීමට හැකියාව ලැබුනත්, මාර්තු 11 වැනිදායින් පසුව එම තරගාවලිය තාවකාලිකව නවතා දැමුණා. ඒ ඉන්දියාව ඇතුළු මුළු ලෝකය තුලම වේගයෙන් ව්‍යාප්ත වෙමින් ගිය නව කොරෝනා වයිරසය නිසාවෙන්.

තරගාවලිය තාවකාලිකව නවතා දමන විට  තරග දෙකක් (ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව) සඳහා සහභාගී වී සිටි ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කර සිටියා.

ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩා තරුවලට අමතරව ඉන්දියාවේ Sachin Tendulkar, Virender Sehwag කොදෙව් දේශයේ Brian Lara වැනි සුපිරි ක්‍රිකට් තරු රැසක් මේ තරගාවලිය සඳහා එක්වීමට නියමිතව සිටිනවා.

“තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 27 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට සැලසුම් කර තිබෙනවා. අපිට පළමු තරගය ක්‍රීඩා කරන්න තියෙන්නේ මාර්තු මස 3 වැනිදා. තරගාවලිය නවත්වපු තැන ඉඳන් තමයි පටන් ගන්නේ, අපි ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව එක්ක ක්‍රීඩා කළා. ඕස්ට්‍රේලියාව එක්ක තිබ්බ තරගය අපි දින්නා. හැබැයි ඕස්ට්‍රේලියාව මේ තරගාවලියට දැන් එන්නේ නැහැ. මොකද ඔවුන්ගේ පුරවැසියන්ට විදෙස් සංචාරවලට සීමා පනවලා තියෙන්නේ. හැබැයි තරගාවලියට මුලින් ආපු නැති බංග්ලාදේශය සහ එංගලන්තය මේ තරගාවලියට අලුතින් එනවා” යැයි ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායමේ කළමනාකරු Shyam Impett මහතා News Wire වෙබ් අඩවිය වෙත පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායමේ සංචිතය (තරගාවලිය සඳහා සහභාගී වූ මුල්ම සංචිතය මෙය වුවත් මේ වතාව තුල දී සංචිතයේ වෙනස් වීම් කිහිපයක් සිදුවීමට අවස්ථාවක් තිබෙනවා)

තිලකරත්න ඩිල්ශාන් (නායක), මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, මාවන් අතපත්තු, ෆර්විස් මහරූෆ්, රංගන හේරත්, චාමර කපුගෙදර, රොමේෂ් කළුවිතාරණ, සචිත්‍ර සේනානායක, තිලාන් තුෂාර, තිළිණ කන්ඩම්බි, උපුල් චන්දන, දුලන්ජන විජේසිංහ.

*එසේම මේ සංචිතයේ සිටින ඇතැම් ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවේ සිටින නිසාවෙන් ඔවුන්ට තරගාවලිය සඳහා සහභාගී වීම අවිනිශ්චිත තත්වයක තිබෙන නිසාවෙන් නව ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සංචිතය සඳහා එක්වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<