අපේ ක්‍රීඩකයින්ට අවස්ථාවක් නැත්තේ ඇයි? සංගා-මහේල හඬ අවදි කරයි!

805

මෙවර IPL තරග වාරය සඳහා Rajasthan Royal කණ්ඩායමේ  අධ්‍යක්ෂක ධුරය හෙඹවීමේ අභියෝගය භාර ගත් හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර ඉදිරියේ දී කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සැලසුම් දියත් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි විග්‍රහයක් කිරීමට කටයුතුකොට තිබුණේ තම සඟයා වන මහේල ජයවර්ධන මෙන් IPL තරගාවලිය තුල දැවැන්ත වෙනසක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව සඳහන් කරමිනි. 

කෙසේ නමුත් මෙවර ක්‍රීඩක වෙන්දේසිය අතරතුර දී එකදු ලාංකීය ක්‍රීඩකයෙකු හෝ මිල දී ගැනීමට කිසිදු කණ්ඩායමක් උනන්දුවක් නොදැක්වීම සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රීඩකයින් දෙදෙනාම යම් කනගාටුවකින් පසුවූවත්, ඒ සඳහා හේතු කාරණා කිහිපයක්ම පාදක විය හැකි බව ඔවුන් පසුව සඳහන්කොට තිබුණි. 

පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී Mumbai Indians කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධනගෙන් මාධ්‍යවේදීන් කිහිපදෙනකුම නැඟූ පොදු පැනයක් වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට IPL තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව නොලැබෙන්නේ කුමන හේතු කාරණාවන් නිසාවෙන් ද යන්නයි.

ඊට සිනහ මුසු මුහුණින් පිළිතුරක් ලබා දෙමින් මහේල සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමන් සහ කුමාර් සංගක්කාර මෙවර තරගාවලිය සඳහා එක්ව සිටින බවයි. කෙසේ නමුත් ඉන් අනතුරුව එම පැනයට නිසි පිළිතුරක් ලබා දෙමින් ඔහු සඳහන් කර සිටියේ මෑත කාලීනව දක්ෂතා අතර සිටින වේගපන්දු යවන්නන් ශ්‍රී ලංකාවෙන් දක්නට නොලැබීම ඊට ප්‍රධාන සාධකයක් බවට පත් වී ඇති බවයි. 

“ඇත්තටම පොඩි කනගාටුවක් තියෙනවා මොකද ක්‍රීඩකයින් කිහිපදෙනෙකු පිළිබඳව බලාපොරොත්තු තියාගෙන හිටියා. නමුත් IPL තරගාවලිය ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙන්නේ විදේශීය ක්‍රීඩකයින් අතලොස්සකට විතරයි. ඒ අතරිනුත් වේගපන්දු යවන්නට සහ තුන් ඉරියව් ක්‍රීඩකයින්ට හොඳ ඉල්ලුමක් නිර්මාණය වෙලා තියෙනවා. මට හිතෙන්නේ ඔය අංශ වලින් ජාත්‍යන්තර තලයේ උපරිම දක්ෂතා දක්වපු ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් ඉන්නේ සාපේක්ෂව අඩුවෙන්. ඒක එක හේතුවක් වෙන්න පුළුවන් අපේ ක්‍රීඩකයින්ට අවස්ථාව නොලැබෙන්න.”

තවත් ක්‍රිකට් පුවත්:

“මට විශ්වාසයි ඉදිරි අනාගතයේ දී නවක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම IPL වරම් හිමි කරගන්න පුළුවන් වෙයි කියලා. කනගාටුවක් තියෙනවා නමුත් ඉවසීමෙන් කටයුතු කළොත් අපිට බැරි වෙන්නෙ නැහැ ලෝක පූජිත ක්‍රීඩකයින් බිහි කරන්න. IPL ක්‍රීඩා කරන්න එන්නේ කෙටි තරග ආකෘතියේ දැනට ලෝකයේ ඉන්න හොඳම ක්‍රීඩකයින්. මම හිතන්නේ තව ටිකක් උනන්දු වෙලා අපේ මට්ටම ඉහළ නංවාගත්තොත් අපිට බැරි වෙන එකක් නැහැ මේ ප්‍රතිඵලය කනපිට හරවන්න.” 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතා සම්බන්ධයෙන් කිසිදු තර්කයක් නොමැති බවත්, පවතින අවිවේකි තරග කාලසටහන නිසි ආකාරයෙන් කළමනාකරණය කර නොගන්නේ නම් ක්‍රීඩකයින් හට මෙවැනි වටිනා අවස්ථා ඉදිරියේදීත් මඟ හැරී යනු ඇති බව සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පෙන්වා දී තිබුණි. 

මෙවර IPL තරග වාරය ක්‍රියාත්මක වන කාලසීමාව තුල දී ICC ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන  බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය සඳහා සූදානම් වීමට මෙරට ක්‍රීඩකයින් හට සිදුව ඇති නිසාවෙන් තරගාවලි දෙකෙහි කාලසටහන් අතර ගැටීමක්ද මේ වන විට නිර්මාණය වී තිබේ. 

තවද නිරෝධායන නීති රෙගුලාසි යටතේ කටයුතු කිරීමට සිදුවීමත් සමඟම බොහෝ කණ්ඩායම් විදෙස් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම ද කටයුතුකොට තිබුණි. කෙසේ නමුත් පසුගිය කාලසීමාව පුරාවට ලසිත් මාලිංග හැරුණුකොට ප්‍රධාන පෙළේ IPL කණ්ඩායමක් නියෝජනය කරමින් තරග වැඳීමේ අවස්ථාව උදා කරගැනීමට සමත් වූයේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන පමණි.

“පහුගිය LPL තරගාවලිය අරගෙන බැලුවොත් කැපී පෙනෙන දක්ෂතා දක්වපු ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම අපිට අඳුනගන්න පුළුවන්කම ලැබුණා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තරගාවලි සැලසුම් ක්‍රමවේදයේ තියෙන අවිනිශ්චිත ස්වභාවයත් එක්ක ක්‍රීඩකයින්ට කියන්න අමාරුයි කොච්චර කාලසීමාවකට ජාතික කණ්ඩායමේ සේවයෙන් ඉවත් වෙලා ඉන්න පුළුවන් ද කියලා.” 

“මම හිතන්නේ මේ හේතුව නිසා තමයි ගොඩක් IPL කණ්ඩායම් අපේ ක්‍රීඩකයින් මිල දී ගන්න මැළිකමක් දක්වන්නේ. මොකද තරගාවලිය අතරතුර දී අපේ ක්‍රීඩකයින් බොහෝ දෙනෙක්ට ආයිත් ජාතික කණ්ඩායමේ සේවයට වාර්තා කරන්න වෙන නිසා සම්පූර්ණ IPL තරගවාරයම ක්‍රීඩා කරන්න ලැබෙන්නෙ කලාතුරකින්. එහෙම වුනාම ගොඩක් කණ්ඩායම්වලට ආයිත් ආදේශක ක්‍රීඩකයින් හොයන්න කාලය වැය කරන්න වෙනවා. මගේ මතයට අනුව නම් අපේ ක්‍රීඩකයින්ගේ හැකියා දක්ෂතාවන්ගේ තියෙන අඩු පාඩුවක් නිසා නෙමෙයි ඔවුන්ට මේ අවස්ථාව මඟ හැරෙන්නේ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<