ICC මාසයේ ක්‍රීඩකයා සම්මානය Kohliට

286

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙන මාසයේ ක්‍රීඩකයා සම්මානයේ ඔක්තෝබර් මාසයට අදාළ ක්‍රීඩකයා වීමට ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohliට හැකිව තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී කැපී පෙනෙන ඉනිම් කිහිපයක් ක්‍රීඩා කරමින් ඉහළ දස්කම් දක්වමින් සිය කණ්ඩායම ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ගෙන යාමට Virat Kohli විශාල දායකත්වයක් දැක්වූවා.

එමෙන්ම නිමා වූ කාන්තා ආසියානු කුසලානයේ දැක්වූ දස්කම් නිසා මාසයේ ක්‍රීඩිකාව ලෙස පාකිස්තානයේ Nida Dar නම් කිරීමට කටයුතු කර තිබුණා.

එහි කාන්තා සම්මානය සඳහා යෝජනා වී තිබූ අනෙක් ක්‍රීඩිකාවන් දෙදෙනා වූයේ එම තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ඉන්දීය ක්‍රීඩිකාවන් වන Jemimah Rodrigues සහ Deepti Sharma.

ඔක්තෝබර් මාසයේ ක්‍රීඩකයාට අදාළ සම්මානය සඳහා Virat Kohliට අමතරව දකුණු අප්‍රිකානු ක්‍රීඩක David Miller සහ සිම්බාබ්වේ ක්‍රීඩක Sikandar Razaගේ නම් යෝජනා වී තිබුණා.

එම නම් අතරින් මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස Virat Kohli සහ Nida Dar සම්මාන දිනා තිබූ අතර එය සඳහා ලෝක මාධ්‍යවේදීන්, ICC Hall of Famers, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ප්‍රේක්ෂකයින් මනාප පල කර තිබුණා.

මෙය Virat Kohli මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගත් පළමු අවස්ථාව වන අතර ඔහු ඔක්තෝබර් මාසයේ ලකුණු 205ක් ලබා ගැනීමට සමත්ව තියෙනවා.

Virat Kohli නෙදර්ලන්ත තරගයේ ද අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු ආරම්භක තරගයේ දී පාකිස්තානයට එරෙහිව කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.

පාකිස්තාන තරගයේ ලකුණු 31ට කඩුලු 4ක් දැවී ඉන්දියාව අසීරු තත්වයක සිටි අවස්ථාවක ඉනිම ගොඩ නැගූ Virat Kohli නොදැවී ලකුණු 82ක් ලබා ගනිමින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළා.

ICC මාසයේ ක්‍රීඩකයා වීමට ලැබීම මට ලොකු ගෞරවයක්, ලොව පුරා සිටින රසිකයින් විසින් මාව මාසයේ ක්‍රීඩකයා ලෙස තෝරා ගැනීම ඇත්තටම විශේෂ දෙයක්.

ඒ වගේම මම ඒකට යෝජනා වූ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනාගේ දස්කම් අගය කරනවා වගේම, මට මේ දේ ලබා ගන්න සහයෝගය ලබා දුන් මගේ කණ්ඩායම් සගයන්ට ද මම ස්තූතිය පුද කරනවා,” යැයි Virat Kohli ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම එය පිළිබඳව අදහස් දැක්වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක Daren Ganga ප්‍රකාශ කළේ,

“කෝලි කියන්නේ විශිෂ්ට පිතිකරුවක්. දුෂ්කර කාල පරිච්ඡේදයකින් ඔහු ගොඩ එමින් ඔහු විශාල චරිතයක් ප්‍රදර්ශනය කළා. ඔහු පාකිස්තානයට එරෙහිව ලබා ගත් ඉනිම විස්සයි විස්ස පිටියේ වාර්තා වූ විශිෂ්ට ඉනිමක්.

මම ඒ ඉනිම මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට සජීවීව දැක්කා. ඒ වගේ ඉනිමක් දැක ගන්න ලැබීම මහත් භාග්‍යයක්.”

කාන්තා ආසියා කුසලානයේ බංග්ලාදේශයට එරෙහි තරගයේ දී දැක්වූ කැපී පෙනෙන දස්කම් නිසා ඔක්තෝබර් මාසයේ ක්‍රීඩිකාව වීමට Nida Darට හැකිව තිබුණා.

ඔක්තෝබර් මාසයේ දී ලකුණු 72.50ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 145ක් ලබා ගැනීමට සමත් වූ Nida Dar කඩුලු 8ක් ද දවා ගනිමින් තුන් ඉරියව්වෙන් ම දස්කම් දක්වා තිබුණා.

එමෙන්ම ආසියානු කුසලානයේ ඉන්දියාවට එරෙහි තරගයේ දී සටන්කාමී අර්ධ ශතකයක් ලබා ගනිමින් සිය කණ්ඩායමට වටිනා ජයක් ලබා දීමට ද ඇයට හැකි වුනා.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<