කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ලබා දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලියේ තම මංගල තරගය ලකුණු 87කින් සත්කාරක එංගලන්ත ක්‍රීඩිකාවන් හමුවේ පරාජය වෙනවා.
මෙම තරගයේ දී ජයග්‍රාහී එංගලන්ත ක්‍රීඩිකාවෝ එතෙක් තම සතු කරගෙන සිටි ලෝක කුසලාන තරගයක ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කරන්නේ කඩුල්ලකට ලකුණු 219ක් ලබා ගනිමිනුයි. ඊට පෙර ඔවුන් සතුව තිබූ මෙම වාර්තාව වන්නේ පාකිස්තානයට එරෙහි ව 2023 වසරේ දී Cape Town හි දී පාකිස්තානයට එරෙහි ව කඩුලු 5ක් දැවී ලබා ගත් ලකුණු 213යි.
>>ශ්‍රී ලංකාව සමඟ ගැටෙන සත්කාරිකාවන්<<
10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගය ඊයේ (12) Edgbaston ක්‍රීඩාංගණයේ දී මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වී අළුයම අවසන් වූ අතර එහි කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩිකාවෝ මෙම දැවැන්ත ඉනිම දියත් කළ අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 132ක් පමණයි.
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Nat Sciver-Brunt (නායිකාව), Amy Jones(කඩුල රකින්නිය), Danni Wyatt-Hodge, Nat Sciver-Brunt(c), Alice Capsey, Heather Knight, Freya Kemp, Danielle Gibson, Charlotte Dean, Sophie Ecclestone, Linsey Smith, Lauren Bell
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, ඉමේෂා දුලානි, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, කවීෂ දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞශිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, මල්කි මදාරා සහ මිතාලි අයෝද්‍යා.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසෙන්නේ Amy Jones සහ Danni Wyatt-Hodge එක්වයි. ඔවුන් දෙදෙනාගෙන් ප්‍රබල ප්‍රහාරයකට ලක් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වෙද්දී, ඒ අතර වාරයේ ඔවුන්ගේ දුර්වල පන්දු රැකීම් කිහිපයක් ම වාර්තා වීම ද ප්‍රතිවාදීන්ගේ ගමනට මහත් රුකුලක් වූවා.
එංගලන්ත ඉනිමේ පළමු ලකුණු 50 පන්දු 35කින් වාර්තා වූ අතර ලකුණු 100 වාර්තා වෙන්නේ පන්දු 60කිනුයි.
එලෙසින් ඇරඹී ඉනිමේ පළමු කඩුල්ලට පන්දු 83ක දී ලකුණු 135ක සබඳතාවක් එක් කිරීමට මේ ආරම්භක පිතිකාරිනියෝ සමත් වෙනවා. එය ලෝක කුසලාන ඉතිහාසයේ පළමු කඩුල්ලට එක් කළ හොඳම ලකුණු සබඳතාවන් අතර 3 වැනි ස්ථානයට පත් දක්ෂතාව වන අතර එංගලන්ත කණ්ඩායමේ හොඳම ලකුණු සබඳතාවයි.
මල්කි මදාරා ගේ පන්දුවකට චමරි අතපත්තු වෙත ලබා දුන් උඩ පන්දුවක් හේතුවෙන් Amy Jones එංගලන්ත ඉනිමේ දැවී ගිය එක ම පිතිකාරිය බවට පත් වෙනවා. ඒ වෙද්දී ඇය පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියා. එය ඇයගේ ලෝක කුසලාන තරගවල 2 වැනි අර්ධ ශතකයයි.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව Danni Wyatt-Hodge හා එක් වෙන්නේ නායිකා Nat Sciver-Brunt. ඔවුන් දෙදෙනා ද ශ්‍රී ලංකා පන්දු යවන්නියන් තව තවත් වෙහෙසට පත් කරමින් 2 වැනි කඩුල්ලට පන්දු 39ක දී ලකුණු 84ක සබඳතාවක් එක් කරනවා.
ඔවුන් දෙදෙනා පිටියේ රැඳී සිටිය දී එංගලන්ත ඉනිමේ ලකුණු 150, 93 වැනි පන්දුවේ දී වාර්තා වූ අතර ලකුණු 200 කඩඉම එතැන් සිට තවත් පන්දු 25ක් පමණක් උපයෝගී කර ගනිමින් වාර්තා කිරිමට සමත් වෙනවා.
එංගලන්ත ඉනිම අවසන් වෙද්දී Danni Wyatt-Hodge පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 105ක් ද සහ Nat Sciver-Brunt පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 46ක් ද ලබා සිටියා.
Danni Wyatt-Hodge විසින් රැස් කරන ලද්දේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ තම මංගල ශතකයයි.
- කුමරියන්ගේ මංගල කුසලානය ලින්ඩ්සේ බාලිකාවන්ට
- චමරි, විශ්මි සහ චේතනා පාකිස්තානය අමාරුවේ දමයි
- 2026-27 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුව නිකුත් වෙයි
- කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ප්‍රතිවාදීන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඉනිමේ ඉදිරි පෙළ පිතිකාරිනියන් වූ විශ්මි ගුණරත්න (6), චමරි අතපත්තු (4) සහ ඉමේෂා දුලානි (7) තනි ඉලක්කමේ ලකුණුවලට සීමා වෙනවා.
අනතුරු ව සිව් වැනි කඩුල්ලට එක් වූ හර්ෂිතා සමරවික්‍රම සහ හංසිමා කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 50 කඩඉම සපුරා ගැනීම දක්වා රැගෙන ගියා.
ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 14ක දී ලකුණු 21ක සබඳතාවක් එක් කරන අතර එය බිඳ වැටෙන්නේ හංසිමා කරුණාරත්නගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා සිටියා.
එම දැවී යෑමෙන් අනතුරු ව ඉනිමේ 5 වැනි කඩුල්ලට හර්ෂිතා සමරවික්‍රම ද තම ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඇය පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 92ක් ව තිබිය දී කවීෂා දිල්හාරි, කෞෂිනී නුත්‍යාංගනා සහ සුගන්දිකා කුමාරි එක් පන්දුවාරයක පන්දු 4ක් තුළ දැවී යෑමත් සමඟින් ශ්‍රී ලංකාවේ එතෙක් තබා තිබූ බලාපොරොත්තු ද සුන් වුණා.
ඒ අතුරින් කවීෂා දිල්හාරි පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19කට දැවී ගිය අතර අනෙක් ක්‍රීඩිකාවන් දෙදෙනාට ම ලකුණු ලබා නොගෙන ම ඉනිම් හැර යනවා.
ඉන් අනතුරු ව නිලක්ෂිකා සිල්වා, මල්කි මදාරා හා එක්වෙමින් 9 වැනි කඩුල්ලට පන්දු 38ක දී ලකුණු 39ක සබඳතාවක් ගොඩ නගමින් ශ්‍රී ලංකාවට සැනසුම් සහගත ලකුණු පුවරුවක් ගොඩ නගනවා.
එම සබඳතාව නිමා වෙන්නේ නිලක්ෂිකා සිල්වා ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.
මල්කි මදාරා අවසන් කඩුල්ලට දැවී යද්දී පන්දු 15කට මුහුණ දෙමින් ලකුණු 5ක් ලබා සිටි අතර ඉනිම අවසන් වෙද්දී මිතාලි අයෝද්‍යා නොදැවී ලකුණක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී 21 හැවිරිදි වියේ පසුවෙන වමතින් මඳ වේග පන්දු යවන Freya Kemp ලකුණු 22කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර එය ඇය ගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීමයි.
ඊට අමතර ව Charlie Dean සහ Sophie Ecclestone කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර Lauren Bell සහ Linsey Smith කඩුල්ල බැගිනුත් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුල්ලක් දැවී 219 (20.0) Amy Jones 53, Danni Wyatt-Hodge නොදැවී 105, Nat Sciver-Brunt නොදැවී 46
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 132 (20.0) හර්ෂිතා සමරවික්‍රම 29, නිලක්ෂිකා සිල්වා 39, Charlie Dean 2/18, Sophie Ecclestone 2/27, Freya Kemp 4/22
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 87ක ජයක්.
තරගයේ වීරයා – Danni Wyatt-Hodge (එංගලන්තය)
ශ්‍රී ලංකාව සහභාගී වෙන 2 වැනි තරගය මේ මස 16 වැනිදා නවසීලන්තය සමඟින් Southampton හි දී පැවැත්වීමට නියමිත අතර කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වන අද (13) දවසේ දී තරග ත්‍රිත්වයක් පැවැත්වීමට නියමිතයි.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















