කොදෙව්වන් ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් එල්ල කරයි

Sri Lanka Tour Of West Indies 2026

4

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා පිතිකරුවන් එක් කඩුල්ලක් දැවී ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

තරගයේ දෙවැනි දිනය අවසන් වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් විසින් කඩුලු 5ක් දැවී ලකුණු 271ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඒ වන විට කොදෙව් ඉනිමේ හය වැනි කඩුල්ල වෙනුවෙන් Roston Chase සහ Amir Jangoo විසින් ලකුණු 103 එක් කිරීමට සමත් වී සිටියා. 

ඔවුන් දෙදෙනා විසින් තරගයේ තෙවැනි දිනයේ වැඩි කොටසක් ආවරණය කරමින් ඉතා ශක්තිමත් සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනේ පන්දුවාර 100 පන්දු දෙකක් තුළ සිය කඩුලු ආරක්ෂා කර ගනිමිනුයි. 

මෙහි දී ඔවුන් දෙදෙනා විසින් ලකුණු 401ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, එය මෙතෙක් ක්‍රිකට් ඉතිහාසයේ 06 වැනි කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනෙකු අතර ඇති වූ හොඳම සබඳතාව ලෙස වාර්තා වුනා. එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ දෙවැනි හොඳම පිතිකරණ සබඳතාව ලෙසත් මෙය සටහන් වුනා. 

මෙහි දී පිතිකරුවන් දෙදෙනා ම සිය පෞද්ගලික හොඳම ඉනිම් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර මෙහි දී Chaseගේ පිත්තෙන් ලකුණු 194ක් වාර්තා වූ අතර, Amir Jangooගේ පිත්තෙන් ලකුණු 233ක් වාර්තා වුනා. 

ඔවුන් දෙදෙනාගේ දැවී යාම් වලින් අනතුරුව කොදෙව් ඉනිමේ කඩුලු 9ක් දැවී යාමෙන් අනතුරුව අත්හිටවීමට තීරණය කළ අතර, ඒ වන විට ඔවුන් ලකුණු 626ක් ලබා ගැනීමට සමත් වී තිබුණා. ඒත් සමඟම කොදෙව්වන් විසින් සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාවට වඩා ලකුණු 318ක් වාර්තා කිරීමට සමත් වුනා. 

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ මිලාන් රත්නායක කඩුලු 5ක් බිඳ දැමීමට සමත් වුනා. 

මින් අනතුරුව ශ්‍රී ලංකාව විසින් තරගයේ තෙවැනි දිනය තුළ පන්දුවාර 4ක් පමණක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලද අතර, මෙහි දී පැතුම් නිස්සංක ලකුණු 3ක් පමණක් ලබමින් පිටියෙන් ඉවත් වුනා. ඉන් අනතුරුව නිශාන් මදුශ්ක සහ කසුන් රාජිත දිනය නිමා වන තෙක් සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් පිතිකරණයේ නියැලුණු අතර, දිනය නිමා වන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 15ක් ලබමින්, කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 303ක් පසුපසින් සිටිනවා. 

තරගයේ සිව්වැනි දිනය අද (28) රාත්‍රියේ ආරම්භ වීමට නියමිතයි. 

මෙම තරගාවලිය පිළිබඳ  සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<