ධනංජය නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් කරා!

Sri Lanka Tour Of West Indies 2026

2
Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (25) Antigua හිදි ආරම්භ වුනා.

මෙම තරගයේ කාසියේ වාසිය කොදෙව් නායක Rostan Chase සතු වූ අතර, ඔහුගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ පළමු ඉනිම දියත් කිරීමට අවස්ථාව හිමි වුනා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු භාවිත කිරීම සුවිශේෂී සිදුවීමක්. ඒ අනුව මිලාන් රත්නායක, කසුන් රාජිත, ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වුනා.

තරගයේ පළමු ඉනිම ආරම්භ කිරීම වෙනුවෙන් පැතුම් නිස්සංක සහ නිශාන් මදුශ්ක පිටියට අවතීර්ණ වූ අතර, මෙහි දී පැතුම්ගේ ඉනිම ලකුණු 02කට පමණක් සීමා වුනා. එමෙන්ම නිශාන්ගේ ඉනිම ද ලකුණු 23කට සීමා වූ අතර, ඔවුන් දෙදෙනා ම ඉනිමට ලකුණු 42ක් එක් වන විට පිටියෙන් ඉවත් කිරීමට කොදෙව්වන් සමත් වුනා.

මේ මොහොතේ පිටියට අවතීර්ණ වූ කමිඳු මෙන්ඩිස් ද තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම ලකුණු නොලබා දැවී ගිය අතර, ශ්‍රී ලංකා ඉනිම එක් වරම 42/3ක් ලෙස දිස් වුනා.

මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණතම ක්‍රීඩකයින් දෙදෙනා වන නායක ධනංජය ද සිල්වා සහ දිනේශ් චන්දිමාල් පිටියේ එක් වූ අතර, ඔවුන් දෙදෙනා විසින් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලකුණු 68ක සබඳතාවක් ලබා දීමට සමත් වුනා. මෙහි දී දිනේෂ් චන්දිමාල් විසින් පන්දු 67කට පමණක් මුහුණ දෙමින් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ද ලකුණු නොලබා පිටියෙන් ඉවත් වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම 110/5ක් ලෙස නැවතත් අසීරු තත්වයකට පත් වුනා.

මේ මොහොතේ නායක ධනංජය සමඟ සොනාල් දිනූශ කඩුල්ලේ එක් වූ අතර, ඔවුන් දෙදෙනා විසින් 06 වැනි කඩුල්ල වෙනුවෙන් වටිනා ලකුණු 99ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

මෙහි දී දිනූශගේ පිත්තෙන් ලකුණු 43ක් ඉනිමට එක් වූ අතර, ඔහුගේ දැවී යාමෙන් පසුව මිලාන් රත්නායක නායක ධනංජය සමග පිටියේ එක් වුනා. ඔවුන් දෙදෙනා විසින් 07 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64ක් එක් කිරීමට සමත් වූ අතර, මේ අතරවාරයේ දී ධනංජය විසින් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 13 වැනි ශතකය වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

ඉනිමේ 07 වැනි කඩුල්ල ලෙස ධනංජය පිටියෙන් ඉවත් වූ අතර, ඒ වන විට ඔහු පන්දු 168ක් පමණක් වැය කරමින් ලකුණු 120ක් වාර්තා කිරීමට සමත් වී සිටියේ හතරේ පහර 17ක් ද සමඟයි.

ධනංජයගේ දැවී යාමෙන් පසුව මිලාන් ද ලකුණු 27ක් ලබමින් පිටියෙන් ඉවත් වූ අතර, ලහිරු කුමාර ද ලකුණු 12කින් ඉනිමට සිය දායකත්වය ලබා දුන්නා.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දු වාර 71 පන්දු 5ක් තුළ ලකුණු 308ක් වාර්තා කර ගැනීමට සමත් වූ අතර, මෙහි දී කොදෙව්වන් වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Justin Greaves කඩුලු 3ක් බිඳ දැමීමට සමත් වුනා.

මින් පසුව කොදෙව්වන් විසින් සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසුණු අතර, ඊයේ දිනය තුළ ඔවුන් මුහුණ දුන්නේ එක් පන්දුවාරයකට පමණයි. තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කිසිවකුත් නොදැවී, ලකුණු නොලබා පිටියේ රැඳී සිටින අතර, ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 308ක් පිටුපසින් රැඳෙනවා.

තරගයේ දෙවැනි දිනය අද (26) රාත්‍රියේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<