ලකුණු සමවීමෙන් කෙලවර වූ සිම්බාබ්වේ – කොදෙව් ක්‍රිකට් සටන

180
Est Indies vs Zimbabwe tri series 3rd ODI

ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ චමත්කාරය නෙතු අග මවන තවත් සුවිශේෂී තරගයක් ඊයේ (19) බුලවායෝ හිදී ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ 3වන තරගය වූ මෙය අවසන් වූයේ ලකුණු සමවීම නිසා ජය පරාජයකින් තොරවයි.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා පිළ සිම්බාබ්වේ සංචාරයේ මුල්ම පරාජය අත්විඳියි

ඊයේ බුලවායෝ ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර ඔවුන් පන්දුවාර 50 නිමා කලේ සියල්ලන්ම දැවී ලකුණු 257ක් ලබා ගනිමිනි. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කල ක්‍රේග් අර්වයින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 92ක් වාර්තා කළේය. ඔහුට අනගි සහයක් ලබා දුන් සිකන්දර් රාසා ලකුණු 77යි. ඔවුන් දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් එක්කල ලකුණු 144ක සබඳතාවය සිම්බාබ්වේ ක්‍රිකට් වංශකතාවේ තවත් සුවිශේෂීම තරගයක් නිර්මාණය කිරීමට මහෝපකාරී විය. පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක කාලෝස් බ්‍රත්වයිට් ලකුණු 48කට කඩුලු 4ක් දවාලීය. කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සහ දකුණත්  වේග පන්දු යවන ක්‍රීඩක ශැනෝන් ගැබ්‍රියෙල් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව් පිතිකරුවන්ට එය එතරම් අසීරු අභියෝගයක් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කලේ නැත. එය තවදුරටත් සනාථ කරමින් ඔවුන් 45වැනි පන්දුවාරය වන විට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 220ක් ලබා සිටියේ ජයග්‍රහණයේ මාවත විවර කර ගනිමිනි. ඒ වන විට පිටියේ රැඳී සිටි ආරම්භක පිතිකරු ක්‍රේග් බ්‍රත්වයිට් ලකුණු 78ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් කඩුලු රකින ක්‍රීඩක ශයි හෝප් තම මංගල එක්දින ශතකය ලෙස ලකුණු 101ක් ලබා සිටියේය. ඒ හතරේ පහර 4කින් සහ හයේ පහර 4කින් තම ඉනිම වර්ණවත් කර ගනිමිනි. ඔවුන් දෙදෙනා ඒ වනවිට සිව්වන කඩුල්ල සඳහා ලකුණු 162ක දැවැන්ත සබඳතාවයක් ගොඩනගා තිබුණි.

ජයග්‍රහණය සඳහා කඩුලු 8ක් අතැතිව තවත් ලකුණු 38ක් පමණක් පසුපසින් සිටි කොදෙව්වන් ඒ වන විට තරගයේ වාසිය මුළුමනින්ම තමන් වෙත නතු කරගෙන තිබුණි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවිය නොහැක්කක් නොමැති බව පසක් කරමින් ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 257කට නතර කරන්නට සිම්බාබ්වේ පන්දු යවන්නෝ සමත් වූහ. කොදෙව්වන්ට එරෙහි පළමු වෙඩිමුරය නිකුත් කල දඟ පන්දු යවන ක්‍රීඩක ශෝන් විලියම්ස් 48වැනි පන්දු වාරයේදී කොදෙව් කණ්ඩායමේ විශ්වාසනීය පිතිකරුවන් යුගලයක් වන ක්‍රේග් බ්‍රත්වයිට් සහ රෝමන් පවෙල් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවුවේය.

තරගයේ අවසන් භාගයේදී සිම්බාබ්වේ කණ්ඩායමෙන් එල්ල වූ තර්ජනය නිසා කොදෙව්වන්ට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 4ක් අවශ්‍ය විය. එම පන්දුවාරය යැවීමේ වගකීම භාරවූයේ සිම්බාබ්වේ කණ්ඩායමේ අත්දැකීම් සහිත වේග පන්දු යවන්නෙකු වන ඩොනල්ඩ් තිරිපානෝටයි.

අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට එක් ලකුණක් ලබාගෙන අන්තය මාරු කරගන්නට නායක ජේසන් හෝල්ඩර් සමත් වූ අතර දෙවැනි පන්දුවට මුහුණ දුන්නේ කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන කාලෝස් බ්‍රත්වයිට්ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 3ක් පමණක් අවශ්‍ය වූ එම මොහොතේ අනවශ්‍ය පහරක් කරා ගිය ඔහු තම කඩුල්ල සිම්බාබ්වේ පිළට පූජා කළේය. ඉන් අනතුරුව කොදෙව් පිළේ හත්වැනි කඩුල්ල ලෙස ඈෂ්ලි නර්ස් දුවද්දී දැවී ගියේ වාසනාව සිම්බාබ්වේ කණ්ඩායම සතු බව පෙන්වා දෙමිනි. කෙසේ හෝ පස්වන පන්දුවට එක් ලකුණක් ලබාගත් කොදෙව්වන් තරගයේ ලකුණු සම කරගත් අතර ඔවුන්ට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට අවශ්‍ය වූයේ එක් ලකුණක් පමණි. නමුත් පීඩනය උපරිම අවස්ථාවේ අතිදක්ෂ ලෙස පන්දුව හසුරුවාගත් තිරිපානෝ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවද නිලකුණු පන්දුවක් බවට පත් කළේ කොදෙව්වන්ගේ ජයග්‍රහණය පිලිබඳ බලාපොරොත්තු සුළඟේ පාකර යවමිනි.

එලෙස ලකුණු සම වීමෙන් නිමාවූ තරගයේදී ශතකයක් වාර්තා කරමින් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ ශයි හෝප් තරගයේ වීරයා සම්මානය දිනාගන්නා ලදී. ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 2 බැගින් හිමිවිය. තරගාවලියේ තීරණාත්මක මීළඟ තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර නොවැම්බර් 21 වැනිදා මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

සිම්බාබ්වේ – සියල්ලන්ම දැවී ලකුණු 257 (පන්දුවාර 50): ක්‍රේග් අර්වයින් 92, සිකන්දර් රාසා 77, කාලෝස් බ්‍රත්වයිට් 4/48, ශැනෝන් ගැබ්‍රියෙල් 2/45, ජේසන් හෝල්ඩර් 2/47.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 8ක් දැවී ලකුණු 257 (පන්දුවාර 50): ශයි හෝප් 101, ක්‍රේග් බ්‍රත්වයිට් 78, ඩොනල්ඩ් තිරිපානෝ 2/26, ශෝන් විලියම්ස් 2/52.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට