අවම ලකුණක් වෙනුවෙන් පැවති උණුසුම් සටනේ ජය කොදෙව්වන්ට

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

228
Sri Lanka tour of West Indies 2021
Photo Courtesy - Cricket West Indies

පළමු තරගයේ දී මෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ අසාර්ථකත්වය නිසාවෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තුන්වැනි සහ අවසන් තීරණාත්මක විස්සයි විස්ස තරගයෙන් කඩුලු තුනක තියුණු ජයක් ලබා ගැනීමට කොදෙව්වන් අද (8) සමත් වුනා. ඒ අනුව Coolidge හිදී පැවති මේ තරගාවලිය අවසන් වුනේ 2-1ක් ලෙස කොදෙව්වන්ට ජය හිමිකර දෙමින්.

නොකඩවා දෙවැනි වරටත් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගය සඳහා කිසිඳු වෙනසක් නොකර දෙවැනි තරගයට ක්‍රීඩා කළ ජයග්‍රාහී කණ්ඩායමම ක්‍රීඩා කරවූ නමුත් සත්කාරක කොදෙව් කණ්ඩායම වේගපන්දු යවන ක්‍රීඩක Fidel Edwards වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක Rovman Powell කැඳවා තිබුණේ ඔවුන්ගේ පිතිකරණය සවිමත් කරගැනීමේ අරමුණ ඇතිවයි. 

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්:

ශ්‍රී ලංකාව: ඇන්ජලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල, දනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, අශේන් බණ්ඩාර, තිසර පෙරේරා, වනිඳු හසරංග, අකිල දනංජය, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම: Kieron Pollard (නායක), Lendl Simmons, Evin Lewis, Chris Gayle, Nicholas Pooran, Jason Holder, Fabian Allen, Rovman Powell, Dwayne Bravo, Kevin Sinclair, Obed McCoy, 

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි දනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංකට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකියාව ලැබුනේ නැහැ. ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 9කට සහ ලකුණු 5කට දවා ගැනීමට කොදෙව්වන් සමත් වුනා.

මේ තරගයේ දී කොදෙව්වන් ඔවුන්ගේ පන්දු යවන්නන් කැඳවීම සෑහෙන මට්ටමකින් වෙනස් කර තිබුණු අතර කොදෙව්වන් වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළේ Fabian Allen සහ Kevin Sinclair යන දෙදෙනායි. ඔවුන් දෙදෙනා Powerplay අවස්ථාව තුල පන්දුවාර 4ක් ක්‍රියාත්මක කළා. 

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකාව පළමු පන්දුවාර 6 තුල දී කඩුලු 3ක් දැවී ලබා ගත්තේ ලකුණු 27ක් වන අතර ගුණතිලක සහ නිස්සංකගේ දැවී යාම්වලට අමතරව දෙවැනි තරගයේ දී පසුපෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළ දික්වැල්ල අද දිනයේ දී අංක තුන ස්ථානයේ ක්‍රීඩා කළ නමුත් ඔහුට ද වැඩි සාර්ථක ඵල නෙලා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

නායක මැතිව්ස් පන්දු 11ක දී ලකුණු 11කට දැවී ගිය පසුව චන්දිමාල් සමඟින් පිටියේ එක්වූ යොවුන් ක්‍රීඩක අශේන් බණ්ඩාර 5 වැනි කඩුල්ල සඳහා පන්දු 63ක් තුල නොදැවුණු ලකුණු 85*ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා විස්සයි විස්ස වාර්තා පොත් අලුත් කළා. ඒ අනුව 2016 වසරේ දී මැතිව්ස් සහ චාමර කපුගෙදර විසින් එංගලන්තයට එරෙහිව Delhi  හිදී රැස්කළ සබඳතාවයේ වාර්තාව බිඳ වැටුණා.

සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ සිව්වැනි අර්ධ ශතකය වාර්තා කර ගත් චන්දිමාල් පන්දු 46ක් තුල ලකුණු 54*ක් ලබා ගත්තේ 4 පහර 3ක් එල්ල කරමිනි. අනෙක් අන්තයෙන් ඔහුට සහයක් වුනු බණ්ඩාර 4 පහර 3ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 35ක් තුල ලකුණු 44*ක් ලබා ගැනීමට සමත් වුනා. අවසානයේ දී ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලබා ගත්තේ ලකුණු 131ක් පමණයි.

පළමු විස්සයි විස්ස තරගයේ දී මෙන් ලකුණු 132ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම මන්දගාමී තණතීරුව මත සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනත්, තවත් ලකුණු 15-20ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකි වූයේ නම් මේ තරගය සහ තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාවට වැඩි අවස්ථාවක් තිබුණේ තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යැවූ නිසයි.

කොදෙව් මුල් පෙළ පිතිකරුවන් වුනු Lendl Simmons, Evin Lewis සහ Nicholas Pooran ලකුණු 20 සීමාව ඉක්මවා යාමට සමත් වුවත්, Chris Gayle, Kieron Pollard, Rovman Powell, Dwayne Bravo යන ප්‍රබල ක්‍රීඩකයින් හට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

දුෂ්මන්ත චමීරගේ වේගපන්දු යැවීම සහ ශ්‍රී ලංකා ප්‍රබල දඟපන්දු යවන්නන්ගේ දායකත්වය මත තරගය ඉතාමත් උණුසුම් අවසානයක් දක්වා පැමිණෙමින් තිබුණු නමුත්, 18 වැනි පන්දුවාරයේ දී වනිඳු හසරංග අතින් සිදු වුනු සුළු අත්වැරැද්දක් (නිපන්දුව) නිසා ලැබුණු Free Hit පන්දුවට Jason Holder එල්ල කළ දැවැන්ත 6 පහරත් සමඟින් කොදෙව්වන් හට සිය පිති ප්‍රහාරය නැවතත් මුවහත් කර ගැනීමට හැකියාව ලැබුණා. කෙසේ නමුත් ක්‍රිකට් ක්‍රීඩාව තුල මෙවැනි දේවල් සාමාන්‍ය නමුත් වනිඳු හසරංග සිය පන්දුවාර 4 ලකුණු 13ක් තුල කඩුලු 2ක් දවා ගනිමින් අවසන් කළා.

අවසානයේ දී අකිල දනංජය කොදෙව් ඉනිමේ 19 වැනි පන්දුවාරය යොමු කළ අතර Fabian Allen 6 පහර තුනක් එල්ල කරමින් තරගය අවසන් කළේ උණුසුම් සහ තියුණු සටනක නිමාව සටහන් කරමිනි. කෙසේ නමුත් සමස්තයක් ලෙස බැලූ විට තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දු යැවූ නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් මීට වඩා වැඩි වගකීමක් සහිතව ක්‍රීඩා කළ යුතු බව පෙනුණා.

පන්දු යැවීමේ දී ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් (පිට පිට පන්දු දෙකක දී කඩුලු 2ක් ද සමඟින්) දවා ගන්නා විට, වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා. 

ශ්‍රී ලංකාව – 131/4 (20): දිනේෂ් චන්දිමාල් 54*, අශේන් බණ්ඩාර 44*, Fabian Allen 1/13, Kevin Sinclair 1/19, Jason Holder 1/27, Obed McCoy 1/29.

බටහිර ඉන්දීය කොදෙව් – 134/7 (19): Lendl Simmons 26, Nicholas Pooran23, Fabian Allen 21*, Evin Lewis 21, ලක්ෂාන් සඳකැන් 3/29, වනිඳු හසරංග 2/13, දුෂ්මන්ත චමීර 2/23.

  • තරගයේ වීරයා – Fabian Allen (බටහිර ඉන්දීය කොදෙව්)

ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට කොදෙව්වන් සමත් වුනා. එසේම දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය (ICC සුපර් ලීගයේ එක්දින තරග තුනක්) මේ මස 10 වැනිදා Sir Vivian Richards ක්‍රීඩා පිටියේ දී ආරම්භ වන අතර පළමු එක්දින තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ සියලු පුවත්, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ JAT අනුග්‍රහය යටතේ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<