කොදෙව් බර අවි සමඟ ගැටෙන ශ්‍රී ලංකාවට කුමක් වෙයි ද?

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

173

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට (4) කොදෙව් දේශයේ දී ආරම්භ වෙනවා.

දෙරට අතර මේ දක්වා විස්සයි විස්ස තරගාවලියක් පවත්වා තිබෙන්නේ අවස්ථා දෙකක දී පමණක් වන අතර 2015 දී පැවති එම තරගාවලිය 1-1ක් ලෙස නිමා වුනේ ජය පරාජයෙන් තොරවයි. ඉන් පසුව 2020 පැවති තරගාවලියෙන් 2-0ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.

වැදගත් දත්ත කිහිපයක්

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර වසර 7ක් තිස්සේ පැවති විස්සයි – විස්ස  ක්‍රිකට් තරගවලින් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා ලෙස තිලකරත්න ඩිල්ශාන් පෙරමුණේ පසුවෙයි.

ඔහු කොදෙව්වන්ට එරෙහිව විස්සයි – විස්ස තරග 9කට සහභාගී වී ලකුණු 346ක් ලබාගෙන ඇත්තේ 49.40ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ අජන්ත මෙන්ඩිස් විසින් වන අතර ඔහු කොදෙව්වන් සමඟින් විස්සයි – විස්ස තරග 5කට සහභාගී වෙමින් දවාගෙන ඇති කඩුලු ගණන 9ක්.

තවත් ක්‍රිකට් පුවත්

ප්‍රබල පිතිකරුවන්

දනුෂ්ක ගුණතිලක

කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරන දනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් නැවතත් එක් වෙන්නේ පසුගිය වසරේ පැවති ඉන්දීය සංචාරයට පසුවයි.

ගුණතිලක ඉතාමත් ජවසම්පන්න ලෙස පිතිකරණයේ නිරත වීමට හැකි පිතිකරුවෙක් වන අතර ඔහු නිමා වූ LPL ක්‍රිකට් තරගාවලියේ දී වැඩිම ලකුණුලාභී පිතිකරුවා වෙමින් දස්කම් අතරට පැමිණියා. මේ ප්‍රහාරාත්මක වමත් පිතිකරුවා ජාත්‍යන්තර විස්සයි – විස්ස  තරග 24ක් තුළ ලකුණු 473ක් ලබාගෙන ඇත්තේ 20.56ක් වැනි සාමාන්‍යයක් සමඟිනි. ඒ අතරට අර්ධ ශතක 2ක් ඇතුළත්.

Kieron Pollard

විස්සයි විස්ස ක්‍රිකට් පිටිය සඳහා වැඩි ප්‍රියතාවයක් දක්වන කොදෙව්වන් අතර ඉදිරියෙන්ම සිටින නායක Kieron Pollard පිතිකරුවෙක් මෙන්ම පන්දු යවන්නෙක් ලෙසින් ද ශ්‍රී ලංකාවට එරෙහිව වැඩි දක්ෂතා දක්වා නොමැත. කෙසේ නමුත් පසුගිය වසර අවසානයේ නවසීලන්තයට එරෙහිව පැවති තරගාවලියේ දී කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වීමට Pollard සමත් වුනා.

විස්සයි විස්ස තරග 76ක දී ලකුණු 1584ක් ද පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 37ක් ද ලබා ගෙන තිබෙන Pollard නව ජවයක් සහ අත්දැකීම් බහුල කොදෙව් සංචිතය සමඟින් මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව තම ජවය දෙගුණ තෙගුණ කරනු නිසැකය.

ඇන්ජලෝ මැතිව්ස්

දසුන් ශානකගේ වීසා ගැටලුව නිසාවෙන් විස්සයි විස්ස කණ්ඩායමේ වැඩ බලන  කටයුතු කරනු ලබන ඇන්ජලෝ මැතිව්ස් නැවතත් සිය සුපුරුදු රිද්මයට පැමිණ තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔහු ඒ බව පසුගිය දා පැවැත්වුණු පුහුණු තරගවල දී හොඳින්ම පෙන්නුම් කළා.

කෙසේ නමුත් ඒ නිසාවෙන් මේ විස්සයි විස්ස තරගාවලිය තුල ඔහු පිතිකරුවෙක් ලෙස සාර්ථක වෙනු ඇතැයි අපට යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි. කොදෙව්වන්ට එරෙහිව විස්සයි විස්ස තරග 11ක දී ලකුණු 151ක් ලබාගෙන තිබෙන මැතිව්ස් සිය විස්සයි – විස්ස ක්‍රිකට් දිවියේ තරග 75කට සහභාගී වෙමින් එක් අර්ධ ශතක 5ක් සමඟින් රැස්කරගෙන තිබෙන සමස්ත ලකුණු සංඛ්‍යාව 1119ක් (සාමාන්‍ය 26.64).

Chris Gayle

Chris Gayle වසර දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ නොසිටි නමුත් විවිධ ලීග රැසක් ක්‍රීඩා කළා. විස්සයි විස්ස පිටියේ සිටින තවත් දක්ෂ සහ නමගිය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන 41 හැවිරිදි Gayle කොදෙව් එක්දින සංචිතය තුල නොමැති නමුත් මේ විස්සයි විස්ස සංචිතයට ඔහුව  කැඳවා තිබෙන්නේ ඉදිරියේ දී පැවැත්වෙන ලෝක කුසලානය ද ඉලක්ක කරගෙනයි.

ශ්‍රී ලංකාවට එරෙහිව තරග 6ක දී ලකුණු 76ක් ලබාගෙන තිබෙන Gayle ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ තරග 58ක දී ලකුණු 1627ක් සහ කඩුලු 17ක් දවාගෙන ඉතාමත් ජවසම්පන්න ලෙස ක්‍රීඩා කර තිබෙනවා.

 

ප්‍රබල පන්දු යවන්නන්

නුවන් ප්‍රදීප්

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ සිටින තවත් අත්දැකීම් බහුල වේගපන්දු යවන්නෙක් වන නුවන් ප්‍රදීප් ඉතාමත් තර්ජනාත්මක පන්දු යවන්නෙකි.

ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 14ක දී කඩුලු 15ක් දවා ගැනීමට සමත්ව ඇති ප්‍රදීප් එක් පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 9.21ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත. වයස අවුරුදු 34ක් වන ප්‍රදීප් කොදෙව් කණ්ඩායමට එරෙහිව තවමත් විස්සයි – විස්ස ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නැහැ.

Jason Holder

කොදෙව් කණ්ඩායම සතු තවත් ජවසම්පන්න වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන Jason Holder ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 17ක දී කඩුලු 13ක් දවාගෙන තිබෙන Holder මේ තරගාවලිය තුල තර්ජනාත්මක පන්දු යවන්නෙක් වනු නිසැකය. කෙසේ නමුත් ඔහු තවමත් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කර තිබෙන්නේ එක් විස්සයි විස්ස තරගයක් පමණයි.

වනිඳු හසරංග

23 හැවිරිදි වනිඳු හසරංග කණ්ඩායමට එක් වෙන්නේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසිනි. මේ දක්වා විස්සයි විස්ස තරග 13ක් ක්‍රීඩා කර ඇති වනිඳු හසරංග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 123කි. ඊට අමතරව දකුණතින් පා දඟ පන්දු යවන වනිඳු විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ මේ වන විට කඩුලු 16ක් ලබා සිටිනවා.

Dwayne Bravo

වයස අවුරුදු 37ක් වන තවත් අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන Dwayne Bravo විස්සයි විස්ස ක්‍රිකට් තරග බිමේ තවත් නම ගිය තරුවක්. තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ඔහු දකුණතින් දඟපන්දු යවන Bravo ජාත්‍යන්තර විස්සයි – විස්ස තරග 71ක දී කඩුලු 59ක් දවා ගැනීමට සමත් වී ඇත.

ලකුණු 28කට කඩුලු 4ක් දවා ගැනීම හොඳම පන්දු යැවීම ලෙස සටහන් කර ඇති Bravo එක් පන්දුවාරයකට දල වශයෙන්  ලකුණු 8.34ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත.

තණතීරුවේ ස්වභාවය

Antigua හි Coolidge Cricket පිටියේ තණතීරුව මත ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර විස්සයි විස්ස තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දු රැකීම වඩා සුදුසු වනු ඇත. කාලගුණය දෙස බැලීමේ දී ඉතාමත් හොඳ කාලගුණ තත්වයක් අපේක්ෂා කිරීමට පුළුවන්.

අවසන් විස්සයි – විස්ස තරග පහේ ප්‍රතිඵල

  • ශ්‍රී ලංකාව – LLLLL
  • කොදෙව්වන් – LLWWW

(*අවසන් වරට ක්‍රීඩා කර තරගය පළමුව සටහන් කර ඇත. W – ජයග්‍රහණයන් L – පරාජයන්)

පළමු විස්සයි විස්ස තරගයට අපේක්ෂිත කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – ඇන්ජලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල, දනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, අශේන් බණ්ඩාර, කමිඳු මෙන්ඩිස්, තිසර පෙරේරා, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්.

බටහිර ඉන්දීය කොදෙව් – Lendl Simmons, Evin Lewis, Chris Gayle, Nicholas Pooran, Kieron Pollard (නායක), Rovman Powell, 7 Fabian Allen, Jason Holder, Dwayne Bravo, Akeal Hosein, Fidel Edwards.

තරගාවලිය ආරම්භ කරමින් දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (4) ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.30ට ආරම්භ වෙනවා.

තරගාවලියේ සියලු පුවත්, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ThePapare.com ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<