තරංග-ඩිල්ශාන් සුසංයෝගයෙන් ශ්‍රී ලංකාවට ජය

Road Safety World Series 2021

384
Sri Lanka Legends

ඉන්දියාවේ රායිපූර්හීදී පැවැත්වෙන Road Safety World Seriesහි තමන් ක්‍රීඩා කළ තෙවැනි තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් Legends කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා Legends කණ්ඩායම අද (06) සමත් වුනා.

මෙම තරගාවලියේ තරග 4ක් පසුගිය වසරේ පැවති අතර Covid19 වසංගත තත්ත්වය හේතුවෙන් එය මේ වසරට කල් දැමීමට සිදු වුනා. එහි දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගය ඕස්ට්‍රේලියාවට එරෙහිව ජය ගත් අතර දෙවන තරගය ඉන්දියාවට ඉදිරියේ පරාජයට පත් වුනා.

තරගාවලියේ 6 වැනි තරගය වශයෙන් පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ශාන් තීරණය කළා.

ඒ අනුව මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් Legends කණ්ඩායමේ ආරම්භක පිතිකරණ යුගලය බවට පත්වුණේ විලියම් පාකින්ස් හා නාර්සිං ඩියෝනරීන්.

මුළු ලකුණු සංඛ්‍යාව 3ක්ව තිබිය දී ලකුණු 2ක් පමණක් ලබා සිටි ඩියෝනරීන් කුලසේකරගේ පන්දුවක් හමුවේ ෆර්වීස් මහරූෆ් වෙත උඩ පන්දුවක් ලබා දුන් නමුත් එය ඔහුට ගිලිහී ගියා. එහෙත් එය දුවද්දී දැවී යාමක් බවට පරිවර්තනය කරගැනීමට මහරූෆ් සමත් වුනේ පන්දුව කෙළින්ම කඩුල්ල වෙත එල්ල කරමින්.

අනතුරුව පිටියට පිවිසියේ එදාමෙදාතුර සුපිරිතම පුරාවෘත්තයක් වන බ්‍රයන් ලාරා යි. දෙදෙනා එක්ව ලකුණු පුවරුව 38ක් දක්වා රැගෙන ගිය අතර අනතුරුව ලකුණු 19ක් ලබා සිටි පාර්කින්ස් ද දුවද්දී දැවී යාමකට ලක්වුනා.

පසුව ලාරා සමඟ පිටියේ එක්වුනේ ප්‍රවේගකාරී පිතිකරු ඩ්වේන් ස්මිත් ය. එතැන් පටන් ඔවුන් දෙදෙනා එක්ව ආක්‍රමණශීලී පිතිකරණයක නිරත වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගින් දිගටම බැට දෙමිනි.

මුළු ලකුණු සංඛ්‍යාව 104ක් දක්වා ඔවුන් ඉනිම ඉදිරියට රැගෙන ගියේ ලකුණු 66ක් සබඳතාවයක් දෙදෙනා අතර පවත්වමින්.

එහි දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ස්මිත් පන්දු 27කින් ලකුණු 47ක් ලබා ගත්තේ හතරේ පහර 4ක් හා යෝධ හයේ පහර 3ක් ඊට අන්තර්ගත කරමිනුයි.

තරගයේ 14 වැනි පන්දුවාරයේ දී චින්තක ජයසිංහගේ පන්දුවක් හමුවේ ස්මිත් දැවී ගියේ ධම්මික ප්‍රසාද් වෙත උඩ පන්දුවක් ලබා දෙමින්.

පසුව පිටියට පිවිසි මහේන්ද්‍ර නගමුටුට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට නොහැකි වූ අතර ඔහුව ලකුණු 9කට දවා ගැනීමට නායක ඩිල්ශාන් සමත් වුනා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා සමත් වුනේ නොදැවී ලකුණු 53ක් ලබා ගනිමින්. පන්දු 49කට මුහුණ දුන් ඔහු හතරේ පහර 8ක් තම ඉනිමට අන්තර්ගත කළා.

අනෙක් අන්තයෙන් නොදැවී පිටියේ රැඳී සිටි ටීනෝ බෙස්ට් පන්දු 11කින් ලකුණු 18ක් ලබා ගත්තා.

ඒ සමඟින් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ජයසිංහ හා ඩිල්ශාන් දෙදෙනා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තවත් ක්‍රිකට් පුවත් :

මේ අනුව ලකුණු 158ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූයේ එදාමෙදාතුර සුපිරිතම පිතිකරණ යුගලයක් වූ සනත් ජයසූරිය හා තිලකරත්න ඩිල්ශාන් දෙදෙනායි.

සාර්ථක ආරම්භයක් ලබා ගත් ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් පැවැත්වීමට සමත් වුනා.

එහි දී සනත්-ඩිල්ශාන් සුසංයෝගයේ සුපුරුදු පහරවල් රැසක් යළිත් දැකබලා ගැනීමට නරඹන්නන්ට හැකි වූ අතර කලකට පසු දිල්ශාන්ගේ පිත්තෙන් “Dilscoop” පහරින් ද හතරේ පහරවල් එල්ල වුනා.

කෙසේ වෙතත් ඉනිමේ පළමු කඩුල්ල වශයෙන් ලකුණු 12ක් ලබා සිටි සනත් දැවී ගියේ සුලෙයිමාන් බෙන්ගේ පන්දුවක් හමුවේයි.

අනතුරුව පිටියට පිවිසියේ උපුල් තරංගයි. දිල්ශාන් හා එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 92ක් දක්වා රැගෙන යාමට ඔහු දායකත්වය ලබා දුන් අතර ඒ සඳහා වැඩි දායකත්වයක් ලබා දුන් ඩිල්ශාන් පන්දු 37කින් ලකුණු 47ක් වාර්තා කළා. ඊට හතරේ පහර 8ක් අන්තර්ගත වුනා. ඔහුත් දැවී ගියේ සුලෙයිමාන් බෙන්ගේ පන්දුවකටයි.

පසුව තරංග සමඟින් පිටියේ එක් වූ චාමර සිල්වා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක් එකතු කළා. එහි දී චාමර සිල්වා පන්දු 15කින් ලකුණු 22ක් ලබා ගත් අතර ඕස්ටින්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ඔහු දැවී ගියා.

ඒ සමඟින් කොදෙව්වන් යළිත් තරගයට අවතීර්ණ වූයේ චින්තක ජයසිංහ, අජන්ත මෙන්ඩිස් දෙදෙනාවත් පිළිවෙළින් ලකුණු 7කට හා 0කට නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යමිනි. ඔවුන් දෙදෙනාගේම කඩුලු දවා ගැනීමට ටීනෝ බෙස්ට් සමත් වූයේ එකම පන්දුවාරයක් තුළදීයි.

එහෙත් අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ උපුල් තරංග ශ්‍රී ලංකා ඉනිමේ සම්පූර්ණ බර කරට ගනිමින් ජයග්‍රහණය දක්වාම රැගෙන ගියේ පන්දු 35කින් නොදැවී ලකුණු 53ක් රැස් කරමින්. ඔහුගේ වේගවත් පිතිහරඹයට හතරේ පහර 8ක් අන්තර්ගත වුනා.

මේ සමඟින් ශ්‍රී ලංකා Legends කණ්ඩායම තම ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 19ක දී සපුරා ගැනීමට සමත් වුනේ කඩුලු 5ක් අතැතිවයි. ඉනිම නිමා වන විට උපුල් තරංග සමඟ අනෙක් අන්තයේ පිටියේ රැඳී සිටි රසල් ආනල්ඩ් නොදැවී ලකුණු 5ක් ලබා සිටියා.

තරගයේ වීරයා සම්මානය හිමිකරගැනීමට උපුල් තරංග සමත් වුනා.

බටහිර ඉන්දීය කොදෙව් Legends – 157/4(20): බ්‍රයන් ලාරා 53*, ඩ්වේන් ස්මිත් 47, විලියම් පාකින්ස් 19, චින්තක ජයසිංහ 1/8, තිලකරත්න දිල්ශාන් 1/28

ශ්‍රී ලංකා Legends – 160/5: උපුල් තරංග 53*, තිලකරත්න ඩිල්ශාන් 47, චාමර සිල්වා 22, සුලෙයිමාන් බෙන් 2/19, ටීනෝ බෙස්ට් 2/22

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<