නොසිතූ පෙරළියක් කළ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සුපිරි ආගමනයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

274

දනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන් සහ අකිල දනංජයගේ වැඩි දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන තීරණාත්මක විස්සයි විස්ස තරගයෙන් ලකුණු 43ක සුපිරි ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ අනුව 1-1ක් ලෙස තරගාවලිය සම කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

ඒ අනුව මාස 18කට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලබා ගත් පළමු විස්සයි ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුනු අතර 2015 නොවැම්බර් මාසයට පසුව කොදෙව් දේශයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබා ගත් පළමු විස්සයි විස්ස තරග ජයග්‍රහණය මෙය වීම ද විශේෂත්වයක්.

පළමු තරගයේ දී ලබා ගත් කඩුලු 4ක පරාජයට පසුව ශ්‍රී ලංකාව දෙවන තරගය සඳහා අවතීර්ණ වූයේ එක් ක්‍රීඩක වෙනසක් සමඟයි. ඒ අනුව පළමු විස්සයි විස්ස තරගයේ දී පන්දු රකින්නෙක් ලෙස පමණක් ක්‍රීඩා කළ නුවන් ප්‍රදීප් වෙනුවට ලක්ෂාන් සඳකැන් මේ තරගයට කැඳවා තිබුණා. කොදෙව් කණ්ඩායම කිසිඳු වෙනසක් නොකොට තරගයට අවතීර්ණ වූයේ පළමු තරගයේ දී ලබා ගත් සුපිරි ජයග්‍රහණයට පසුවයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්:

ශ්‍රී ලංකාව: ඇන්ජලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල, දනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, අශේන් බණ්ඩාර, තිසර පෙරේරා, වනිඳු හසරංග, අකිල දනංජය, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම: Kieron Pollard (නායක), Lendl Simmons, Evin Lewis, Chris Gayle, Nicholas Pooran, Jason Holder, Fabian Allen, Dwayne Bravo, Kevin Sinclair, Obed McCoy, Fidel Edwards

Coolidge ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා වැඩබලන නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ දනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංකයි.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 95ක හොඳ සබඳතාවයක් ගොඩනැංවූ අතර එමඟින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. පන්දු 62ක් තුල ගොඩනැංවුණු එම සබඳතාවය ඉතාමත් සාර්ථක සබඳතාවයක් වූ අතර කඩුලු අතර දිව යාම ද ඉතාමත් ඉහළ මට්ටමක තිබුණා. ඒ නිසාවෙන් පළමු තරගයට සාපේක්ෂව නිලකුණු පන්දු අවම කරගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ නමුත් Dwayne Bravo ක්‍රියාත්මක කළ 11 වැනි පන්දුවාරය ශ්‍රී ලංකා ඉනිමේ තීරණාත්මක පන්දුවාරයක් බවට පත්වුනේ එම පන්දුවාරය තුල එක් ලකුණක් තුල කඩුලු 2ක් දවා ගැනීමට Bravo සමත් වුනු නිසයි.

එතෙක් වේලාවක් හොඳින් කඩුලු අතර දිවයාමේ සබඳතාවය පවත්වා ගත් ගුණතිලක සහ නිස්සංක දෙදෙනාගෙන් 37 හැවිරිදි Bravoගේ ඉලක්කයෙන් බේරීමට නිස්සංක හට හැකියාවක් නොලැබුන නිසා 4 පහර 4ක් සහ එක් 6 පහරක් සමඟ ලකුණු 37ක් ලබා සිටි නිස්සංක දුවද්දී දැවී යාමකට හසුවුණා.

සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් තුන්වැනි අර්ධ ශතක වාර්තා කරගත් ගුණතිලක 4 පහර 4ක් සහ 6 පහර දෙකක් එල්ල කරමින් පන්දු 42ක් තුල වේගවත් ලකුණු 56ක් වාර්තා කරගත්තේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි. නිස්සංක සහ ගුණතිලක එම පන්දුවාරය තුල දැවී යාමත් සමඟම ශ්‍රී ලංකාවේ කඩුලු බිඳ වැටීම ආරම්භ වුනා.

දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා හට ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් කිරීමට අවස්ථාවක් නොලැබුණු නමුත් නවක ක්‍රීඩක අශේන් බණ්ඩාර සහ වනිඳු හසරංග පිළිවෙළින් ලකුණු 21ක් සහ ලකුණු 19ක් ලබා ගනිමින් අසාර්ථක වෙමින් තිබුණු ශ්‍රී ලංකා මැදපෙළ යම් මට්ටමකට ඔසවා තැබුවා. අවසානයේ දී ශ්‍රී ලංකාව පන්දුවාර විස්ස තුල කඩුලු 6ක් දැවී ලකුණු 160ක් ලබා ගැනීමට සමත් වුනා.

ලකුණු 161ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි කොදෙව්වන් හට පළමු තරගයේ දී මෙන් සාර්ථක ඵල නෙලා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩකඩ ලබා දුන්නේ නැහැ. තරගයේ පළමු පන්දුවාරයේ සිටම ඒ ඒ පිතිකරුවන් ඉලක්ක කරගෙන යම් යම් සැලසුම් අනුව පන්දු යැවීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර අවස්ථාවන්ට උචිත ලෙස පන්දු යවන්නන් කැඳවමින් නායක මැතිව්ස් ඉතාමත් හොඳින් පන්දු යවන්නන්ගේ සංකලන දියත් කළේ කොදෙව්වන් හට වැඩි පීඩනයක් ලබා දෙමින්.

එහි දී කොදෙව්වන්ගේ ප්‍රධානතම දුර්වලතාවය වුනේ දඟපන්දු යවන්නන් හමුවේ ලකුණු රැස් කිරීමට තිබූ දුර්වලතාවය වුනු අතර විශේෂයෙන් ගුග්ලි පන්දුව හමුවේ එම දුර්වලතාවය කොදෙව්වන්ගෙන් වැඩි ලෙස දැකගන්නට තිබුණා.

කොදෙව්වන් සතුව ප්‍රබල සහ නමගිය විස්සයි විස්ස පිතිකරුවන් රැසක් සිටි නමුත් වනිඳු හසරංග, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්ගේ දඟපන්දු යැවීම් හමුවේ සහ දුෂ්මන්ත චමීරගේ වේගපන්දු යැවීම හමුවේ ඔවුන් සියලුම දෙනා අසරණ වුනු අතර Obed McCoy අවසන් මොහොතේ දී ලබා ගත් ලකුණු 23 සහ Lendl Simmons ආරම්භයේ දී ලබා ගත් ලකුණු 20 හැරෙන්නට වෙනත් කිසිඳු කොදෙව් පිතිකරුවෙක් හට ලකුණු 16 සීමාව ඉකමවා යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

පළමු විස්සයි විස්ස තරගයේ දී අකිල දනංජය හට ලකුණු 62ක් ලබා ගැනීමට කොදෙව් පිතිකරුවන් සමත් වුනු නමුත් ඔහු අද දිනයේ දී ලකුණු 13කට සිය පන්දුවාර හතර අවසන් කළා.

එසේම එදා 6 පහර 6ක් එල්ල කළ කොදෙව් නායක Kieron Pollard අද දිනයේ දී ලකුණු 13කට දැවී ගියා. අවසානයේ දී පන්දුවාර 18කුත් පන්දු 4ක් තුල කොදෙව් ඉනිම ලකුණු 117කට සීමා කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබීමත් සමඟම ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රහණ නියඟය අවසන් වුනා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 17කට කඩුලු 3ක් දවා ගන්නා විට, ලක්ෂාන් සඳකැන් ලකුණු 10කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවා ගත්තා.

ශ්‍රී ලංකාව – 160/6 (20): දනුෂ්ක ගුණතිලක 56, පැතුම් නිස්සංක 37, අශේන් බණ්ඩාර 21, වනිඳු හසරංග 19, Dwayne Bravo 2/25.

බටහිර ඉන්දීය කොදෙව් – 117/10 (18.4): Obed McCoy 23, Lendl Simmons 20, ලක්ෂාන් සඳකැන් 3/10, වනිඳු හසරංග 3/17, දුෂ්මන්ත චමීර 2/26.

  • තරගයේ වීරයා – වනිඳු හසරංග (ශ්‍රී ලංකාව)

දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා තරග තුනක් ඇතුළත් වන අතර තෙවැනි විස්සයි විස්ස තරගය අනිද්දා (8) මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු පුවත්, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ JAT අනුග්‍රහය යටතේ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<