Home Sinhala හයේ වරුසා සහ කඩුලු වරුසා මැද කොදෙව්වන්ට වාර්තාගත ජයක්

හයේ වරුසා සහ කඩුලු වරුසා මැද කොදෙව්වන්ට වාර්තාගත ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

383
Sri Lanka tour of West Indies

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (4) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන්, කඩුලු 4ක ජයග්‍රහණයක් ලබාගෙන 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට කොදෙව්වන් සමත් වුනා.

තරගයේ දී දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය කඩුලු ත්‍රිත්වයක් දවා ගත් අතර ඉන් පසුව අකිල ක්‍රියාත්මක කළ පන්දුවාරයේ දී Kieron Pollard විසින් පිට පිට පන්දු 6ක දී 6 පහර 6ක් එල්ල කරමින් එවැනි දස්කමක් සිදු කළ ලොව තුන්වැනි ක්‍රීඩකයා බවට පත්වුනා.

එසේම ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක දී Powerplay අවස්ථාව තුල කණ්ඩායමක් රැස්කරගත් වැඩිම ලකුණු ප්‍රමාණය සඳහා හිමිකම් කියූ කොදෙව්වෝ ඔවුන් රැස්කරගත් මුළු ලකුණු ප්‍රමාණයෙන් 62.4%ක ප්‍රමාණයක් ලබා ගත්තේ 6 පහර එල්ල කරමින් වන අතර එය ද ලෝක වාර්තාවක් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

මෙවැනි වාර්තා කිහිපයක් අලුත් වූ අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.30ට ආරම්භ වුනා. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක සහ අශේන් බණ්ඩාර ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගන්නා විට, කොදෙව්වන් වෙනුවෙන් වයස අවුරුදු 21ක් වන Kevin Sinclair ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගත්තා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්:

ශ්‍රී ලංකාව: ඇන්ජලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල, දනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, අශේන් බණ්ඩාර, තිසර පෙරේරා, වනිඳු හසරංග, අකිල දනංජය, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම: Kieron Pollard (නායක), Lendl Simmons, Evin Lewis, Chris Gayle, Nicholas Pooran, Jason Holder, Fabian Allen, Dwayne Bravo, Kevin Sinclair, Obed McCoy, Fidel Edwards

කාසියේ වාසිය දිනා ගත් කොදෙව් නායක Kieron Pollard පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර සිටි අතර නිරෝෂන් දික්වැල්ල සමඟින් දනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළා.

පළමු Powerplay අවස්ථාවේ පන්දුවාර තුනක් තුල ලකුණු 20ක් ලබාගෙන සිටිය දී ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස ගුණතිලක දැවී ගියේ short midwicket කලාපයේ සිට Pollard රැක ගත් දක්ෂ උඩ පන්දුව නිසයි. එම කඩුල්ල Sinclairගේ පළමු ජාත්‍යන්තර කඩුල්ල ද වුනා.

අනතුරුව පිටියට පැමිණි පැතුම් නිස්සංක දික්වැල්ල සමඟින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 43ක් තුල ලකුණු 51ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළා. එම සබඳතාවය අවසන් කරමින් දික්වැල්ල (ලකුණු 33) දැවී ගියේ Holderගේ ෆුල් ටොස් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසයි.

පළමු පන්දුවාර 6 තුල (Powerplay අවසානයේ දී) ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 40ක් ලබාගෙන සිටියා. නමුත් කොදෙව් නායක Pollard ඉතාමත් හොඳින් සිය පන්දු යවන්නන්ගේ සංකලනය හුවමාරු කරමින් වේගය අඩාල කරමින් වැඩි පන්දු ප්‍රමාණයක් යොමු කිරීම මේ මන්දගාමී තණතීරුව මත පිතිකරණයේ නිරත වීමට ශ්‍රී ලංකාවට තවත් බාධාවක් වුනා.

කෙසේ වෙතත් සිය මංගල තරගයේ දී ම සැලකිය යුතු මට්ටමේ ලකුණු ප්‍රමාණයක් ලබා ගත් නිස්සංක පන්දු 34ක දී 4 පහර 4ක් සහ එක් 6 පහරක් සමඟින් ලකුණු 39ක් ලබාගෙන සිටිය දී Fabian Allenගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ස්ටම්ප්ස් කිරීමකට හසුවෙමිනි.

අනතුරුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසාවෙන් තරගය මද වෙලාවකට නවතා දැමීමට සිදුවුවත්, එය තරගය සඳහා එතරම්ම බාධාවක් වුනේ නැහැ. කෙසේ නමුත් ඉන් පසුව ශ්‍රී ලංකා ඉනිමේ මැදපෙළ විශාල කඩාවැටීමක් ඇති වුනේ තිසර පෙරේරා, නායක මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යන අත්දැකීම් බහුල පිතිකරුවන් හට ලකුණු අතරට පැමිණීමට නොහැකි වීම නිසයි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත නිලකුණු පන්දු 46ක් එනම් පන්දුවාර 7කුත් පන්දු 4ක් නිලකුණු පන්දු බවට පරිවර්තනය කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වීම ශ්‍රී ලංකා ලකුණු සටහන ලකුණු 131ක් වැනි අවම ලකුණු මට්ටමකට සීමා කිරීම සඳහා විශාල සාධකයක් වුනා. ඒ වගේම ශ්‍රී ලංකා පිතිකරුවන් හට වේගය අඩාල කරමින් එවූ පන්දු තෝරා බේරාගැනීම සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවුණු බවක් ද පෙනුණා. කඩුලු දවා ගැනීමේ දී Obed McCoy ලකුණු 25කට කඩුලු 2ක් දවා ගන්නා විට Holder, Dwayne Bravo, Fidel Edwards සහ Sinclair අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 132ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් පන්දුවාර 13කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 134ක් ලබාගෙන මේ තරගය ජයග්‍රහණය කළා.

කෙසේ නමුත් ඔවුන් පළමු පන්දුවාර 6 තුල කඩුලු 4ක් දැවී ලකුණු 94ක් ලබා ගනිමින් පළමු Powerplay අවස්ථාව තුල කණ්ඩායමක් වාර්තා කරගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළේ අයර්ලන්ත කණ්ඩායම (කොදෙව්වන්ට එරෙහිව ලකුණු 93) පිහිටවා තිබූ වාර්තාව බිඳ දමමින්. 

කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වුනු Lendl Simmons සහ Evin Lewis පන්දු 20ක් තුල පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක වේගවත් සබඳතාවයක් ගොඩනැංවූ අතර 4 පහර 2ක් සහ 6 පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබාගෙන සිටි Lewisගේ දැවී යාමත් සමඟින් කොදෙව් ඉනිමේ මුල් පෙළ බිඳවැටීම ආරම්භ වුනා.

එහි දී ජාත්‍යන්තර තරග තහනමකින් පසුව පිටියට පිවිසි අකිල දනංජය Evin Lewis, Chris Gayle සහ Nicholas Pooran යන ප්‍රබල පිතිකරුවන් තිදෙනා දවා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දවා ගත් සිව්වැනි කඩුලු ත්‍රිත්වය (ලසිත් මාලිංග 2, තිසර පෙරේරා 1) සඳහා හිමිකම් කීවා.

ලකුණු 62කට කඩුලු 4ක් ලෙස සටහන්ව තිබූ කොදෙව් ලකුණු සටහන පීඩනයෙන් මුදවාගත් නායක Pollard කඩුලු ත්‍රිත්වය ලබා ගත් අකිල දනංජයගේ සතුට මිනිත්තු කිහිපයකට සීමා කරමින් පිට පිට පන්දු 6ක දී 6 පහර 6ක් එල්ල කරමින් එවැනි දස්කමක් කළ ලොව 3 වැනි ක්‍රීඩකයා බවට පත්වුණා.

අවසානයේ දී හෙමින් සීරුවේ ඔවුන්ගේ නියමිත ඉලක්කය වෙත කණ්ඩායම රැගෙන යාමට Jason Holder සහ Dwayne Bravo සමත් වුනේ 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 33ක නොදැවුණු සබඳතාවයක් ගොඩනංවමිනි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් ද කොදෙව් පිතිකරුවන් වෙත නිලකුණු පන්දු 40ක් යොමු කිරීමට සමත් වුනත්, ඔවුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව 6 පහර 13ක් සහ 4 පහර 6ක් එල්ල කළා.

Result


Sri Lanka
131/9 (20)

West Indies
134/6 (13.1)

Batsmen R B 4s 6s SR
Niroshan Dickwella b Jason Holder 33 29 3 1 113.79
Danushka Gunathilaka c Kieron Pollard b Kevin SinClair 4 6 0 0 66.67
Pathum Nissanka st Nicholas Pooran b Fabian Allen 39 34 4 1 114.71
Dinesh Chandimal c Jason Holder b Obed McCoy 11 10 0 1 110.00
Angelo Mathews c Lendl Simmons b Fidel Edwards 5 6 0 0 83.33
Thisara Perera c Dwayne Bravo b Obed McCoy 1 4 0 0 25.00
Wanindu Hasaranga c Fabian Allen b Dwayne Bravo 12 14 0 0 85.71
Ashen Bandara run out () 10 6 1 0 166.67
Akila Dananjaya not out 9 9 0 0 100.00
Dushmantha Chameera run out () 2 2 0 0 100.00


Extras 5 (b 0 , lb 2 , nb 0, w 3, pen 0)
Total 131/9 (20 Overs, RR: 6.55)
Did not bat Nuwan Pradeep,

Fall of Wickets 1-20 (2.6) Danushka Gunathilaka, 2-71 (9.6) Niroshan Dickwella, 3-83 (12.2) Pathum Nissanka, 4-96 (13.6) Angelo Mathews, 5-97 (14.1) Dinesh Chandimal, 6-106 (16.2) Thisara Perera, 7-111 (17.2) Wanindu Hasaranga, 8-126 (19.3) Ashen Bandara, 9-131 (19.6) Dushmantha Chameera,

Bowling O M R W Econ
Kevin SinClair 3 0 26 1 8.67
Fidel Edwards 4 0 29 1 7.25
Jason Holder 4 0 19 1 4.75
Obed McCoy 4 0 25 2 6.25
Dwayne Bravo 4 0 26 1 6.50
Fabian Allen 1 0 4 1 4.00


Batsmen R B 4s 6s SR
Lendl Simmons lbw b Wanindu Hasaranga 26 15 3 2 173.33
Evin Lewis c Danushka Gunathilaka b Akila Dananjaya 28 10 2 3 280.00
Chris Gayle lbw b Akila Dananjaya 0 1 0 0 0.00
Nicholas Pooran c Niroshan Dickwella b Akila Dananjaya 0 1 0 0 0.00
Kieron Pollard lbw b Wanindu Hasaranga 38 11 0 6 345.45
Jason Holder not out 29 24 1 2 120.83
Fabian Allen lbw b Wanindu Hasaranga 0 1 0 0 0.00
Dwayne Bravo not out 4 17 0 0 23.53


Extras 9 (b 0 , lb 4 , nb 1, w 4, pen 0)
Total 134/6 (13.1 Overs, RR: 10.18)
Did not bat Kevin SinClair, Obed McCoy, Fidel Edwards,

Fall of Wickets 1-52 (3.2) Evin Lewis, 2-52 (3.3) Chris Gayle, 3-52 (3.4) Nicholas Pooran, 4-62 (4.6) Lendl Simmons, 5-101 (6.4) Kieron Pollard, 6-101 (6.5) Fabian Allen,

Bowling O M R W Econ
Angelo Mathews 1 0 19 0 19.00
Akila Dananjaya 4 0 62 3 15.50
Dushmantha Chameera 3 0 29 0 9.67
Wanindu Hasaranga 4 0 12 3 3.00
Ashen Bandara 1 0 2 0 2.00
Nuwan Pradeep 0.1 0 6 0 60.00



  • තරගයේ වීරයා – Kieron Pollard (බටහිර ඉන්දීය කොදෙව්)

දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා තරග තුනක් ඇතුළත් වන අතර දෙවැනි විස්සයි විස්ස තරගය අනිද්දා (6) මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු පුවත්, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ThePapare.com ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<