සාන්ත ආනාවරුන් දැවැන්ත ඉනිමක් ගොඩනගයි

577

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී අද (10) ආරම්භ වූ අතර එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 275ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් රත්ගම දේවපතිරාජ ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 19ක් ලබා සිටියහ.

මහා සංග්‍රාමය මඟ හැරුනත් එක්දින ජයග්‍රහණය සාන්ත ආනාවරුන්ට

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර 23 වැනි වරටත් පැවති ඇතුගල්පුර සටන වාර්ෂික සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය…

කාසියේ වාසිය දිනූ දේවපතිරාජයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ආනාවරුන් තම පළමු ඉනිමට දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගුවේ අර්ධ ශතක 3ක් වාර්තා කරමිනි. ඊට අමතරව ශතක සබඳතාවක් සමඟින් අර්ධ ශතක සබඳතාවක් ඉනිමට ඇතුළත් කිරීමට ඔවුන් සමත් වූහ.

සාන්ත ආනාවරුන්ගේ ආරම්භක පිතිකරු ධනංජය බණ්ඩාර පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තේය. ඔහුත් සමඟ අනෙක් අන්තයෙන් තරගය ආරම්භ කළ දිනෙත් චන්දිමාල් ද පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 101කි.

ඊට අමතරව කණ්ඩායමේ වාර්තා වූ අනෙක් අර්ධ ශතකයේ හිමිකාරිත්වය පුබුදු ගනේගම සතු විය. ඔහු සාන්ත ආනා ඉනිම අවසන් වන විට පන්දු 96කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තේය.

මැතිව්ස්ට පන්දු යැවීමේ අවස්ථාව මෙතැන් සිට අවසන්

පසුගිය වසර දෙක පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග නායකයා වන ඇන්ජලෝ මැතිව්ස් විටින් විට පාදයේ ආබාධවලට ලක්වූ අතර…

ඔවුන්ට අමතරව රන්දීර රණසිංහ පන්දු 53ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තේය. රන්දීර සමඟින් දිනෙත් එක්ව දෙවැනි කඩුල්ලට එක්කළ ලකුණු සබඳතාව 62කි. නැවත කණ්ඩායමට එක්වූ වැදගත් ලකුණු සබඳතාව වූයේ වනිත වන්නිනායක (26) සහ පුබුදු ගනේගම එක්ව 6 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 43ක සබඳතාවයි.

කඩුලු ලබා ගැනීමේ දී දේවපතිරාජ ඉනිමේ වමතින් දඟපන්දු යවන ඉරුක්ෂ තිමිර ලකුණු 87කට කඩුලු 5ක් දවා ගත්තේය. ඊට අමතරව පවන් සන්දේශ් ලකුණු 45කට කඩුලු 3ක් දවා ගත්තේය.

සාන්ත ආනාවරුන්ගේ ඉනිමට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දේවපතිරාජයන්ගේ ඉනිම තරගයේ පළමු දිනයට නතර කෙරෙන විට කඩුල්ලක් දැවී ලකුණු 19ක් විය. එම ඉනිමේ දී ජිවක ශෂීන් ලකුණු 14න් ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටී.

දැවී ගිය කඩුල්ලේ හිමිකාරිත්වය රුවන්ත රන්දික සතුවිය.

තරගය දෙවැනි දිනයටත් හෙට (11) ක්‍රියාත්මක වීමට නියමිත ය.  

සාන්ත ආනා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 275 (79.2) ධනංජය බණ්ඩාර 57, දිනෙත් චන්දිමාල් 51, රන්දීර රණසිංහ 46, වනිත වන්නිනායක 26, පුබුදු ගනේගම නොදැවී 68, ඉරුක්ෂ තිමිර 5/87, පවන් සන්දේශ් 3/45

දේවපතිරාජ විද්‍යාලය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 19 (5.3) ජීවක ශෂීන් නොදැවී 14

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<