කෝඩුකාර ලංකන් හමුවේ SSC අනුශූරයින් වෙයි

අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලිය 2020/21

387

වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලංකන් ක්‍රිකට් සමාජය අද (28) සමත් වුනා. SSC ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයේ දී SSC ලකුණු 59කින් පරාජය කරමින් ලංකන් ක්‍රීඩකයෝ ශූරතාව දිනා ගත්තා.

අවසන් පූර්ව තරගවල දී පිළිවෙළින් බදුරලිය ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පරාජය කරමින් SSC සහ ලංකන් ක්‍රිකට් සමාජය මේ අවසන් මහා තරගයට පැමිණියා.

ජයග්‍රහණය සඳහා ලකුණු 224ක ඉලක්කයක් හඹා ගිය SSC කණ්ඩායම පන්දුවාර 44.3ක දී සියලු දෙනා දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 164ක් පමණයි.

තවත් ක්‍රිකට් පුවත්:

SSC නායක සම්මු අෂාන් අර්ධ ශතකයක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ කළ ද, එය වැළකී ගියා. පන්දු 65ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 50ක් ලබා ගැනීමට සම්මු සමත් වුනා. ආරම්භක පිතිකරු නිපුන් ධනංජය ලකුණු 38ක් සහ ක්‍රිශේන් සංජුල ලකුණු 31ක් ලබා ගත්ත ද, එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වුනේ නැහැ.

දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක් ද, සවන් කංකානම්ගේ, යසිරු රොද්‍රිගෝ සහ සඳුන් සත්සර කඩුලු 2 බැගින් දවා ගනිමින් ලංකන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා.

කාසියේ වාසිය දිනූ SSC පළමුව පන්දුවට පහර දීම සඳහා ලංකන් කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දුවාර 49.2ක දී සියලු දෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකි වුයේ ලකුණු 223ක් පමණයි.

අර්ධ ශතකයක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වු කසුන් අබේරත්න පන්දු 66ක දී හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා. කෙවින් පෙරේරා පන්දු 53ක දී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් සහ දමිත පෙරේරා පන්දු 39ක දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 30ක් රැස්කරමින් ලංකන් කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් එහාට රැගෙන ගියා. ලහිරු ඩිල්ශාන් ලකුණු 22ක් සහ උමේෂ් ලක්ෂාන් ලකුණු 21ක් ලබා ගත්තා.

සම්මු අෂාන් සහ දිලුම් තිලකරත්න කඩුලු 3 බැගින් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවා.

  • ලංකන් – පන්දුවාර 49.2ක දී සියලු දෙනා දැවී 223: කසුන් අබේරත්න 51, කෙවින් පෙරේරා 40, දමිත සිල්වා 30, සම්මු අෂාන් 3/21, දිලුම් තිලකරත්න 3/35, කළණ පෙරේරා 2/50
  • SSC – පන්දුවාර 44.3ක දී සියලු දෙනා දැවී 164: නිපුන් ධනංජය 38, ක්‍රිෂේන් සංජුල 31, සම්මු අෂාන් 50, දුනිත් වෙල්ලාලගේ 3/29, යසිරු රුද්‍රිගු 2/23, සඳුන් සත්සර 2/29, සවන් කංකානම්ගේ 2/09.
  • අවසන් තරගයේ වීරයා – කසුන් අබේරත්න (ලංකන් ක්‍රිකට් සමාජය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<