සංගා ඇතුළු තවත් ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙක් නැවතත් ගාල්ලට

80

කුමාර් සංගක්කාර මහතා සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන මාලිබෝන් ක්‍රිකට් සමාජය සහ Specsavers County Championship Division One 2019 තරගාවලිය ජය ගත් එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම අතර තරගය, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව පැවැත්වීමට නියමිතයි.

වර්ෂාවේ බාධා මැද 350කට වැඩි ඉලක්කයක්!

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි ………

මාර්තු මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම තරගය සඳහා සහභාගී වන මාලිබෝන් ක්‍රිකට් සමාජයේ නායකයා ලෙස සංගක්කාර මහතා කටයුතු කිරීමට නියමිත අතර තවත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මෙම තරගය සඳහා සහභාගී කර ගැනීමට සූදානමින් සිටින බව සුපිරි වමත් පිතිකරුවෙකු මෙන්ම ශ්‍රී ලංකා හිටපු නායකයෙකු වන සංගක්කාර පැවසීය.

“අපිට කණ්ඩායම් දෙකේ සංචිතයන් මොනවද කියලා දැන්මම හරියට කියන්න බැහැ, මොකද තාම ඒ ඒ ක්‍රීඩකයින් සමඟ කතාබහ කරන ගමන් ඉන්නේ. මහේල ජයවර්ධන පුහුණු කටයුතු සමඟ කාර්ය බහුල නිසා ඔහුට මේ තරගය සඳහා සහභාගී වෙන්න පුළුවන් වෙන එකක් නැහැ.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ඊයේ (30) පැවති මාධ්‍ය දැනුවත් කිරීමක දී වැඩිදුරටත් අදහස් දක්වමින් සංගක්කාර පවසා සිටියේය.

ක්‍රිකට් යනු ජාති භේද අභිබවාලමින් මිනිසුන්ගේ හදවත් යා කළ හැකි විශේෂිත වූ ක්‍රීඩාවක් බවත්, එම පණිවිඩය ලබා දීමේ අරමුණු කොට මෙවැනි ආකාරය තරග පැවැත්වීමට මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජය නිරන්තරයෙන්ම කටයුතු කරන බව ද ඔහු සඳහන් කර සිටියේය. 

Photos : Media Briefing on MCC Champion County Match to be played in Sri Lanka

ThePapare.com | Hiran Chandika | 30/1/2020 Editing ….

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු නැවතත් තම ක්‍රීඩාලෝලීන් ඉදිරියේ තරග කිරීමට හැකි වීම භාග්‍යයක් ලෙස සලකන අතර “මං හිතන්නේ 2015ට ඉස්සෙල්ලා දස්කම් බලාපොරොත්තුවෙන් එන්න එපා කියලා ඉස්සෙල්ලාම කියනවා’ යැයි සිනහ මුසු මුහුණින් සංගක්කාර පවසා සිටියා.

“අවුරුදු දෙකහමාරක් තුනක් විතර වෙනවා අන්තිමට බැට් එකක් අල්ලලා. මම මේ ළඟ දී පැය භාගයක් විතර බැට් කරන්න ගියා. විනාඩි 20යි බැට් කළේ. මගේ අත් කොච්චර මෘදු වෙලා ද කිව්වොත් ග්ලව් එක දාල තියෙද්දීත් බැට් එක අල්ලලා අතේ හමත් ගියා” යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් සංගක්කාර මහතා පවසා සිටියා. 

 “මං හිතන්නේ තරගයට කලින් ජිම් එකට ගිහිල්ලා, පුහුණු දැල්වලත් පුහුණුවීම් කරලා තමයි වැඩේ පටන් ගන්න ඕන. නමුත් මම මේ තරගයට ක්‍රීඩා කිරීම විශේෂ භාග්‍යයක්. ක්‍රිකට්වලින් සමුගත්තට පස්සේ අපි නොයෙක් නොයෙක් සුලු තරග ක්‍රීඩා කරනවා. නමුත් මං හිතන්නේ මේක ඉතාම වැදගත් තරගයක් කියලා. මං ඉතාම ආසාවෙන් බලන් ඉන්නවා ඒ තරගයට ක්‍රීඩා කරන්න.” යැයි සංගක්කාර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

වසර 180කට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන මාලිබෝන් ක්‍රිකට් සමාජය යනු ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ‘මහ ගෙදර’ හෙවත් වඩාත් උත්තරීතරම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සැලකෙන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ක්‍රිකට් සමාජය වන අතර මෙම තරගය එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරන සාම්ප්‍රදායික තරගය ලෙසින් ද යොදා ගැනීමට මාලිබෝන් ක්‍රිකට් සමාජය බලාපොරොත්තු වන බව මෙම මාධ්‍ය හමුවේ දී අනාවරණය කෙරුණි.

පළමු ඉනිමේ ජයග්‍රහණ රැසක් සමඟ දිනය නිමා වෙයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ………

“මේ තරගය පැවැත්වීමට අවශ්‍යතාවයක් තියෙනවා කියලා අපි (එම්. සී. සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කතා කරලා කිව්වහම ලැබුණු දායකත්වය ඉතාමත් විශේෂයි. එම්. සී, සී. ක්‍රිකට් කමිටුව භාර ජෝන් ස්ටීවන්සන් මහත්මයා අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට කතා කරලා මෙවැනි සහයෝගයක් අවශ්‍යයි කියලා කිව්වහම මං හිතන්නේ පැය භාගයක් වැනි කෙටි කාලයකින් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් දැක්වුවා. එතැනදි ඔවුන්ට කළ හැකි දේවල් මොනවද කියලා අපිට කිව්වා. 

ඇත්තටම අපිට ඕනෑ වෙලා තිබ්බේ ලෝකයේ තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගණ අතරින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී තරගය පවත්වන්නයි. ඒක ඉතාම විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩාංගණයක්. මේ තරගය පවත්වන්න අවශ්‍ය සහයෝගය දෙන්න කැමති කියන තැනට ඉතාමත් ඉක්මනින් ක්‍රිකට් ආයතනය පැමිණියා. ඇත්තටම ඒ සහයෝගය නොවන්නට අපිට මේ තරගය සැබෑ කරගන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා මා මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා” යැයි සංගක්කාර මහතා අවසන් වශයෙන් පවසා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට කුමාර් සංගක්කාර මහතාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් සහභාගී වී සිටියහ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<