ශ්‍රී ලංකා ලකුණු පුවරුවට දකුණු අප්‍රිකාවෙන් අභියෝගයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21

388
AFP

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (27) අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම දියත් කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 317ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 79ක් පසුපසින් සිටිමිනි.

තරගයේ පළමු දිනය වූ ඊයේ (26) දිනය අවසන් වන විට පළමු ඉනිම දියත් කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 340ක් ලබාගෙන ඉතාමත් ස්ථාවර සහ සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණය කරගත්තේ පන්දුවාර 85ක් සඳහා මුහුණ දෙමිනි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින දසුන් ශානක ලකුණු 25*ක් ලබා ගන්නා විට අනෙක් අන්තයෙන් ක්‍රීඩා කරන කසුන් රාජිත නොදැවී ලකුණු 7*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියා.

තවත් ක්‍රිකට් පුවත්;

දසුන් ශානක සහ රාජිත 8 වැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පළමු ඉනිමේ වාර්තා වූ හොඳම තෙවැනි සබඳතාවය වාර්තා කරමින් ලකුණු 67ක සබඳතාවයක් එක් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා ලකුණු සටහන තවත් ඉහළ මට්ටමකට රැගෙන යමිනි. 

එහි දී මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් අතර හොඳ සබඳතාවයක් නිර්මාණය කළ දසුන් ශානක 4 පහර 3ක් සහ 6 පහර 5ක් එල්ල කරමින් නොදැවී ලකුණු 66*ක් ලබා ගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් මංගල අර්ධ ශතකයට හිමිකම් කියමිනි. අවසානයේ දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 396/9ක් ලෙස සටහන් වුවත්, ධනංජය ද සිල්වාගේ ආබාධය නිසාවෙන් ඔහුට නැවතත් පිතිකරණය සඳහා පැමිණීමට අවස්ථාවක් ලැබුණේ නැත.

ශ්‍රී ලංකා කණ්ඩායමක් සිය ක්‍රිකට් ඉතිහාසය තුල දකුණු අප්‍රිකාවේ දී ඉනිමක් තුල ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය අලුත් කළේ සිය පළමු ඉනිම සඳහා ලකුණු 396ක් ලබාගෙනයි.

පන්දු යැවීමේ දී සිය මංගල තරගයට ක්‍රීඩා කරනු ලබන Lutho Sipamla ලකුණු 76කට කඩුලු 4ක් දවා ගන්නා විට, Wiaan Mulder ලකුණු 69කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව Lungi Ngidi සහ Anrich Nortje අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කිරීම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන Dean Elgar සහ Aiden Markram ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ පළමු කඩුල්ල සඳහා ලකුණු 141ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමිනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු යන ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා හට වැඩි වේලාවක් එම සබඳතාවය පවත්වා ගැනීමට නොහැකි වූයේ කසුන් රාජිත යම් ආබාධයකට ලක්වූ නිසාවෙනි.

4 පහර 14ක් එල්ල කරමින් පන්දු 94ක දී ලකුණු 68ක් ලබා ගත් Aiden Markram පළමු කඩුල්ල ලෙස දවා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අවතීර්ණ කිරීමට වමතින් වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු සමත් විය. එම ජවයත් සමඟින් Rassie van der Dussen සහ Quinton de Kock සහ ලකුණු 98ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට දැවැන්ත හිසරදයක් වෙමින් සිටි Dean Elgarගේ කඩුලු දවා ගැනීමට පිළිවෙළින් ලහිරු කුමාර, වනිඳු හසරංග සහ දසුන් ශානක සමත් විය.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරන Faf du Plessis සහ Temba Bavuma දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් ගෙන එන සබඳතාවයක් ගොඩනංවමින් නොදැවුණු ලකුණු 97*ක සබඳතාවයක් ගොඩනංවා තිබෙන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායම් ලකුණු පුවරුව ද ඉතාමත් ස්ථාවර මට්ටමකට රැගෙන යමිනි.

Faf du Plessis සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 22 වැනි අර්ධ ශතකය අද ලබා ගත් අතර තරගයේ දෙවන දිනය අවසන් වන විට 4 පහර 9ක් එල්ල කරමින් නොදැවී ලකුණු 55*ක් ලබාගෙන සිටියි. අනෙක් අන්තයෙන් ක්‍රීඩා කරනු ලබන Temba Bavuma නොදැවී ලකුණු 41*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින්නේ 4 අහර 4ක් එල්ල කරමිනි.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තෙවන දිනය හෙට (28) පැවැත්වේ. තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<