“පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට 13ක් සූදානම්” – දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21

6651

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙර දකුණු අප්‍රිකාවේ සිට අන්තර්ජාලය හරහා අද (24) දින මාධ්‍ය හමුවකට සහභාගී විය. 

ප්‍රශ්නය : ඔබට තිබෙන වේගපන්දු සම්පත් පිළිබඳව ඔබ සෑහීමකට පත්වෙනවා ද? 

පිළිතුර : 2019 වසරේ අපි දකුණු අප්‍රිකාවට එද්දී තිබ්බ වේගපන්දු බල ඇණියට වඩා මේ පාර  වේගපන්දු බලඇණිය ගොඩක් සවිමත්. 2019 වසරේ අපි මෙහාට එනකොට ලහිරු  කුමාර සහ දුෂ්මන්ත චමීර හිටියේ නැහැ. අවාසනාවන්ත විදිහට සුරංග ලක්මාල් ආබාධයකට ලක්වෙලා ඉන්නේ. මොකද ඔහුගේ කලව ආශ්‍රිතව මස්පිඬු ඇදීමකට ලක්වෙලා තියෙනවා. ඒක නිසා ඔහුට පළමු තරගය ක්‍රීඩා කරන්න වෙන එක හරියටම විශ්වාස නැහැ.  

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

ප්‍රශ්නය : ජෛව ආරක්ෂක බුබුලක් තුළ ඉන්න එක කොහොමද? 

පිළිතුර : එය ක්‍රීඩකයන්ට බෙහෙවින් බලපා ඇති නමුත් අපට මෙම සීමාවන් පිළිපැදිය යුතු වෙනවා. එක් හොඳ දෙයක් වන්නේ ජෛව බුබුල නිසා ක්‍රීඩකයන් කණ්ඩායමක් ලෙස වැඩි කාලයක් ගත කිරීමයි. කෙසේ වෙතත්, ඔබ ජෛව බුබුලක මෙතරම් කාලයක් ඉන්න කොට අපි පොඩ්ඩක් මානසිකව යම් පීඩාවකට අහුවෙනවා. ඒකට ඉතින් අපි යම් යම් විනෝද ක්‍රියාකාරකම් ටිකක් කරනවා. 

ප්‍රශ්නය : ඔබ 2020 මාර්තු මාසයේ සිට කිසිඳු ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැති නිසා ඔබට අමතර පීඩනයක් දැනෙනවාද? 

පිළිතුර : ආබාධයක් නිසාවෙන් මට පළමුපෙළ තරග ක්‍රීඩා කිරීමට නොහැකි වුනා. ඒ වගේම LPL ක්‍රීඩා කිරීමට ද අවස්ථාවක් ලැබුනේ නැහැ. අපට දකුණු අප්‍රිකානු පුහුණු කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කරන්න නියමිත වෙලා තිබූ පුහුණු තරගය ද ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුනේ නැහැ. ඔව්, බොහෝ කලකට පසු නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීම යම් අභියෝගයක්. නමුත් අපි හොඳින් සූදානම් වී කණ්ඩායම වෙනුවෙන් මගේ උපරිමය ලබා දීමට මම සූදානමින් සිටිනවා. ජයග්‍රහණය හෝ පරාජයට වඩා, අපට දකුණු අප්‍රිකාවට එරෙහිව හොඳ තරගකාරී ලෙස ක්‍රිකට් ක්‍රීඩා කළ යුතු වෙනවා. 

ප්‍රශ්නය : පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන කණ්ඩායම තෝරාගෙන ඉවරද? 

පිළිතුර : නැහැ, හැබැයි අපි ක්‍රීඩකයින් 13 දෙනෙක් තෝරාගෙන ඉන්නේ. පළමු තරගයට ක්‍රීඩා කරන අන්තිම ක්‍රීඩකයින් 11 කවුද කියලා අපි හෙට (25) තණතීරුව බලලා තීරණය කරනවා. දඟපන්දු යවන්නන් ලෙස ලසිත් ඇඹුල්දෙණිය සහ වනිඳු හසරංග මේ 13 ඉන්නවා. 

ප්‍රශ්නය : දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් නැහැ නේද? ඔවුන් ටිකක් අත්දැකීම් අඩු තරුණ කණ්ඩායමක් වගේ නේද? 

පිළිතුර : Kagiso Rabada වෙනුවට Anrich Nortje ඇතුළත් කිරීම හැර ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් දෙකේ ලොකු වෙනසක් මම දකින්නේ නැහැ. 2019 වසරේ වගේම තමයි. නමුත් දකුණු අප්‍රිකානු සංචිතයේ නව මුහුණු 7 කට ආසන්න සංඛ්‍යාවක් අලුතින් ඇවිල්ලා තියෙනවා. ඔවුන් සියල්ලන්ම තෝරාගෙන ඇත්තේ ඔවුන්ගේ පළමුපෙළ ක්‍රිකට් තරග දස්කම් බලලා. 

ප්‍රශ්නය : දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් කණ්ඩායමේ  ප්‍රධාන පුහුණුකරු ලෙස සිටීම කොතරම් වටිනවාද? 

පිළිතුර : මිකී (ආතර්) මෙම තත්වයන් හොඳින් දන්නා බැවින් ඔහු අප සමඟ සිටීම අපට වාසනාවක්. ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර මෑතක දී පාකිස්තාන කණ්ඩායම සමඟ දකුණු අප්‍රිකාවට ගොස් ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා. අපේ සංචිතයේ කිසිඳු ක්‍රීඩකයෙකු සෙන්චූරියන්හි මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නැති නිසා මිකී සතුව තිබෙන අත්දැකීම් සහ ඒ අවබෝධය අපිට ගොඩාක් වැදගත්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<