ඕස්ට්‍රේලියා ප්‍රබලයන් දෙදෙනෙකුට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි

274
David Warner and Sean Abbott

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු David Warner සහ වේගපන්දු යවන ක්‍රීඩක Sean Abbott හට ඉන්දීය ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය අහිමි වනු ඇති බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආරංචි මාර්ග පවසා තිබෙනවා. 

ඔවුන් දෙදෙනා ආබාධ කීපයක් හේතුවෙන් පළමු ටෙස්ට් තරගයට ද සහභාගී නොවූ අතර එළඹෙන 26 වැනිදා පැවැත්වීමට නියමිත Boxing Day ටෙස්ට් තරගය සඳහා ඔවුන් සහභාගී වනු ඇති බව මීට පෙර වාර්තා විය. නමුත් ඔවුන් තවමත් පූර්ණ සුවය ලබා නොමැති වීම හේතුවෙන් දෙවන ටෙස්ට් තරගයට ද සහභාගී නොවන බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

කෙසේ වෙතත් ඉන්දීය ඕස්ට්‍රේලියා තුන්වැනි ටෙස්ට් තරගය සඳහා ඔවුන් සහභාගී වීමට වැඩි ඉඩක් පවතින බව ද වාර්තා වේ.

ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයට අදාලව පැවති එක්දින තරගය අතරතුර දී David Warner ආබාධයකට ලක්වූ අතර ඕස්ට්‍රේලියා A කණ්ඩායම නියෝජනය කරමින් Sean Abbott සහභාගී වූ පුහුණු තරගයක් අතරතුර දී ආබාධයකට ලක්ව තිබුණි. 

තවත් ක්‍රිකට් පුවත්: 

“Warner සහ Abbott සිඩ්නි හි ප්‍රතිකාර ලබමින් හිටියේ. ඔවුන් කණ්ඩායමේ ජෛව ආරක්ෂක වටපිටාවෙන් එළියේ ඉන්නේ. NSW Health හි තමයි ඔවුන් ප්‍රතිකාර ලබන්නේ. ඔවුන්ගේ තත්ත්වය අපි නිරන්තරයෙන්ම පරීක්ෂා කරනවා. සෞඛ්‍ය අංශවලට අනුව ඔවුන් තවමත් ක්‍රීඩා කරන්න සුදුසු මට්ටමක නැහැ. ඒ වගේම අපේ සෞඛ්‍ය ක්‍රියාපටිපාටියට අනුව ඔවුන්ට සුව වූ වහාම කණ්ඩායමට එන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඔවුන් Boxing Day තරගයට සහභාගී වෙන්නේ නැහැ” ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියා.

“ඔවුන් සිඩ්නි හි රැඳී සිටි කාලය තුල එහි සෞඛ්‍ය නීති තරමක් වෙනස් වුනා. මේ නිසා ඔවුන් මේ වන විට මෙල්බර්න් හි රැඳී සිටිනවා. ඔවුන් සම්පූර්ණ සුවය ලබනතුරු මෙල්බර්න් හි රැඳී සිටීවි.”

පසුගිය සතියේ දී සිඩ්නි හි ඇතිවූ කොරෝනා වයිරසයේ නැවත පැතිර යාමත් සමඟින් Warner සහ Abbott මෙල්බර්න් වෙත පැමිණ තිබුණි. එම ප්‍රවෘත්තියත් සමඟින් බොහෝ දෙනා පවසා සිටියේ ඔවුන් දෙවන ටෙස්ට් තරගය සඳහා සහභාගී වනු ඇති බවයි. 

සිඩ්නි හි මේ වන විට පවතින කොරෝනා තත්ත්වය හමුවේ එළඹෙන ජනවාරි මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති ඉන්දීය ඕස්ට්‍රේලියා තුන්වැනි ටෙස්ට් තරගය කල් දැමීමට හෝ සිඩ්නි හි නොපවත්වා මෙල්බර්න් හි පැවැත්වීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

David Warner සහ Sean Abbott දෙවන ටෙස්ට් තරගය සඳහා සහභාගී නොවූවද ඔවුන් වෙනුවට කිසිදු ආදේශක ක්‍රීඩකයෙකු සංචිතයට ඇතුළත් නොකිරීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. 

ඉන්දීය ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූ අතර ඉන්දීය ටෙස්ට් කණ්ඩායමක් ඉනිමක වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව එම තරගයේ දී වාර්තා වීම විශේෂත්වයකි. 

මෙල්බර්න් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය එළඹෙන දෙසැම්බර් මස 26 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Cricbuzz ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<