ශ්‍රී ලංකාවට වගකීම් සහිත තරගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

285

ඉන්දු – ලංකා දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 12 වැනිදා සිට 16 වැනිදා දක්වා Bangaluru හි M. Chinnaswamy ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රි තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

නිමා වූ පළමු තරගයේ දී ලකුණු 222ක පරාජයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ අතර එම අමිහිරි මතකයන් ද සමඟයි මෙම තරගයට ඔවුන්ට සහභාගී වීමට සිදු වෙන්නේ.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය; දිමුත් කරුණාරත්න (නායක) ධනංජය ද සිල්වා (උප නායක) චරිත් අසලංක, දුශ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, සුරංග ලක්මාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ලහිරු තිරිමාන්න, ජෙෆ්රි වැන්ඩර්සේ

මේ තත්ත්වය වඩාත් බරපතළ වන්නේ හෙට තරගයේ දී මෙතෙක් විශ්වාසය තැබිය හැකි ශ්‍රී ලාංකීය පිතිකරුවා බවට පත්ව ඇති පැතුම් නිස්සංක ද ආබාධිත ලැයිස්තුවට එක් වෙමින් මෙම තරගයට ක්‍රීඩා නොකරන බවට එරටින් ලැබෙන ආරංචියයි.

ඔහුගේ ස්ථානයට කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග තව දුරටත් පවසනවා.

කෙසේ වෙතත් හෙට කණ්ඩායම නම් කිරීමේ දී පළමු තරගයේ පළමු ඉනිමේ දී චරිත් අසලංක 5 වැනි කඩුල්ලට දැවී යෑමෙන් අනතුරුව ලකුණු 13ක් තුළ ඉතිරි කඩුලු 5 දැවී යෑම ගැන නැවත වතාවක් සිතා බැලීමට ක්‍රිකට් තේරීම් කමිටුවට සිදු වෙනු ඇත. අසාර්ථක වූ එම පිතිකරුවන් 5 දෙනා අතරින් දෙවැනි ඉනිමේ දී කඩුලු රැකි ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල නොදැවී ලබා ගත් අර්ධ ශතකය නොවන්නට මේ පරාජයේ පරාසය මීට වඩා වැඩි වීමට ඉඩ තිබුණා.

එවැන්නක් මෙම තරගයේ දී සිදු වීමට ඉඩ නොතැබීම ඒ සියලු දෙනාගේ වගකීම වනු ඇත. කෙසේ වෙතත් පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට එක් ව සිටින නායක දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස් මෙන් ම චරිත් අසලංක ද තමන්ගෙන් පළමු තරගයේ දී ඉටු නොවූ යුතුකම් මේ තරගයේ දී නොපිරිහෙලා ඉටු කළ යුතුය. එසේ නොවන්නේ නම් ශ්‍රී ලංකාවට නැවත වරක් සිදු වෙන්නේ අමිහිරි මතකයක් තුරුල් කර ගන්නටයි.

එමෙන් ම පන්දු යවන්නන්ට ද මෙහි වැඩි වගකීමක් පැවරෙනු ඇත. ප්‍රහාරාත්මක ප්‍රතිවාදී පිතිකරුවෝ පාලනය කිරීම ඔවුන් සතු ප්‍රමුඛ වගකීම කරගත යුතුය. විශේෂයෙන් ම ශ්‍රී ලංකා පිතිකරුවන්ට දරා ගත නොහැකි ලකුණු පුවරුවක් ඔවුන්ට නිර්මාණය කිරීමට ඉඩ නොතැබිය යුතුයි.

හෙට (12) තරගයට ක්‍රීඩා කරතැයි විශ්වාස කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම; දිමුත් කරුණාරත්න, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස් / දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙණිය, ලහිරු කුමාර / දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු

කෙසේ වෙතත් තම ජාත්‍යන්තර තරග දිවියේ අවසන් තරගාවලියට සහභාගී වන සුරංග ලක්මාල් මෙම තරගයේ දී ද ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැකියි. මේ දක්වා ටෙස්ට් තරග 69කට මුහුණ දී සිටින සුරංග කඩුලු 170ක් දවා ගෙන තිබෙනවා. ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරග 4කට පමණක් මුහුණ දී සිටින ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 10ක් පමණයි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම තරග අවස්ථා 5ක දී මෙහෙයවා ඇති සුරංග ලක්මාල් ඉන් තරග 3ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙන අතර තරග 2ක් අවසන් කර ඇත්තේ පරාජිත තරග ලෙසින්.

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය; Rohit Sharma (c), Jasprit Bumrah (vc), Mayank Agarwal, Ravichandran Ashwin, Srikar Bharat, Shreyas Iyer, Ravindra Jadeja, Virat Kohli, Kuldeep Yadaw, Mohamed Shami, Nohamed Siraj, Priyank Panchal, Rishabh Pant, Axar Patel, Saurabh Kumar, Shubhman Gill, Hanuma Vihari, Umesh Yadav, Jayant Yadav

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අවසානයත් සමඟම Ravindra Jadeja ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතුරින් පළමුවැනියා වීමට සමත් වුනා. ඔහු එම ටෙස්ට් තරගයේ දී නොදැවී ලකුණු 175ක් සහ කඩුලු 9ක් දවා ගත් අතර එකී දක්ෂතා මේ වර්ගීකරණයට හේතු වුනා.

මේ අතර Covid-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් විස්සයි විස්ස සංචිතයෙන් සහ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ද ස්ථානයක් අහිමි ව සිටි වමතින් දඟපන්දු යවන 28 හැවිරිදි Axar Patel ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබෙනවා. මේ කැඳවීමත් සමඟ ඔහු කණ්ඩායමේ ප්‍රමුඛ දඟ පන්දු යවන්නා වනු නොඅනුමානයි.

මෙතෙක් ටෙස්ට් තරග 5කට පමණක් ක්‍රීඩා කර ඇති Patel ඉනිම් 10ක දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 36ක්. ඉනිමක කඩුලු 5කට වැඩියෙන් දවා ගත් අවස්ථා 5ක් වාර්තා ඒ අතර තිබෙනවා. එංගලන්තයට එරෙහිව ලකුණු 38කට කඩුලු 6ක් දවා ගැනීම ඉනිමක හොඳම පන්දු යැවීම වන අතර එම තරගයේ දී ලකුණු 70කට ලබා ගත් කඩුලු 11 තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙනවා.

මොවුන් දෙදෙනාට අමතරව නායක Rohit Sharma, Ravichandran Ashwin සහ Hanuma Vihari ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ප්‍රතිවාදී පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසෙනු ඇත. ඔවුන්ට අමතරව තම 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී හිතු අයුරින් දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වූ  Virat Kohli ද මේ වන විට ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන්.

ඉන්දීය කණ්ඩායම ශක්තිමත් කරන පන්දු යවන්නන්ගේ බලඇණිය ද මේ වන විට තම දක්ෂතාවන් එළි දැක්වීමට සූදානමින් සිටින අතර ඔවුන් හා එක් වූ Patel කෙරෙහි ඉන්දීය කණ්ඩායම තබා ඇති විශ්වාසය සුළු පටු නැහැ.

හෙට (12) තරගයට ක්‍රීඩා කරතැයි විශ්වාස කළ හැකි ඉන්දීය කණ්ඩායම; Rohit Sharma, Mayank Agarwal, Hanuma Vihari, Virat Kohli, Rishabh Pant, Shreyas Iyer, Ravindra Jadeja, Ravichandran Ashwin, Axar Patel, Mohamed Shami, Jasprit Bumrah

හෙට ආරම්භ වන මෙම තරගය Bangaluru හි M. Chinnaswamy ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 24 වැනි තරගයයි. පැවති තරගවලින් තරග 8ක ජයග්‍රහණ ඉන්දියාව සතු වෙද්දී තරග 6ක් පරාජිත තරග ලෙසත් තරග 9ක් විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසත් ඉතිහාසයට එක් වෙනවා.

එම ඉතිහාසයේ ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාංගණයේ දී මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ එක් තරගයක් පමණයි. 1994 වසරේ ජනවාරියේ පැවති එම තරගයෙන් ඉනිමක සහ ලකුණු 95ක පරාජයකට මුහුණ දීමට අපේ ක්‍රීඩකයන්ට සිදු වුනා.

පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය යැයි සැලකෙන Bangaluru තණතිරූ මත සජීවී වන මේ තරගයේ ජයග්‍රහණය දෙපිලට ම වැදගත් වන්නේ ලෝක ටෙස්ට් තරගාවලියේ තරගයක් ලෙසින් ද මෙම තරගය වර්ගීකරණය වන නිසා. දැනටමත් තරගාවලිය 1-0ක් ලෙසින් ඉදිරියට පිවිස සිටින ඉන්දීය කණ්ඩායම, මේ වන විට මෙම තරගයෙන් ද තමන් ජය ගනු ඇතැයි අනාවැකි පළ කර තිබේ. බහුතරයක් වූ විචාරකයන්ගේ ද මතය වන්නේ එයයි.

එහෙත් ශ්‍රී ලාංකීය අපගේ බලාපොරොත්තු වන්නේ මෙම තරගය ඔවුන් ගෞරවනීය ලෙසින් අවසන් කරනු ඇත කියායි.

ඊට වඩාත් හේතු වන්නේ ශ්‍රී ලංකාව මෙම තරගයේ දී තම ගෞරවය ආරක්ෂා කර ගැනීමට උපරිම වෙහෙසක් ගනු ඇතැයි යන විශ්වාසයයි. අනෙක් අතට මෙම තරගයේ ගෞරවනීය අවසානයක් බලාපොරොත්තු වීමට තවත් හේතුවක් වන්නේ තම සහෘද සුරංග ලක්මාල්ගේ සමුගැන්මේ ටෙස්ට් තරග සාදය ද මෙය වන නිසායි.

එය ගෞරවනීය ලෙස සැමරීමට නම් සහ  සුරංග ලක්මාල්ට ගෞරවනීය සමු ගැනීමක් ලබා දීමට නම් ඔවුන් මේ තරගයේ දී වඩාත් සක්‍රීය විය යුතුයි. එබැවින් මෙහි සුළු හෝ වරදක් සිදු නොවීමට ඔවුන් වගබලා ගන්නවා ඇතැයි අපගේ විශ්වාසයයි.

තරගයේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<